Pages

Sunday, January 15, 2012

ගිනිගෙන දැවෙන ගෙන්දගම් පොලොවක පය ගැසුවෙමි......... (1 කොටස )

කාලාන්තරයකට පස්සේ ආයෙත් බ්ලොග් එකක් ලියන්නයි හදන්නෙ.. 
පහුගිය කාලේ ඇත්තටම මම බ්ලොග් ලියලම නෑනේ කියල මතක් උනේ පිනිබිඳු නංගි ඇවිල්ල ඊයේ හවස කොමෙන්ටුවකුත් දාල ගියාට පස්සේ තමයි.. හරියටම මාස දෙකකින් ලියලම නෑ.. 

ලියන්න දේවල් නම් ගොඩාක් තියනව.. ලියා ගන්න වෙලාවක් නැතුව තමයි හිටියේ.. මේ පැත්තේ යන එන කවුරුත් දන්නවනේ මම මේ ටිකේ ගොඩක්ම ලියුවේ කෙන්යාවේ චාරිකා සටහන් කියල..

අදත් ලියන්න යන්නේ කෙන්යාවේදී පලමු වරට ලබාපු අත්දැකීමක් ගැන.... 

මේ වතාවේ අපි ගියේ ගෙන්දගම් පොලොව සොයාගෙන.. 
ඔව් ඔව්.. ගෙන්දගම් පොලොව හොයාගෙන තමයි... 1995 අවුරුද්දේ ගමේ ඉස්කෝලේ ඉඳල, කොළඹ ආපු කතාව නෙවේ මේ කියන්න යන්නේ... ඇත්තටම ගෙන්දගම් පොලොව හොයාගෙන කෙන්යාවේ "නරකාදියේ දොරටුව" හෙවත් "හෙල්ස් ගේට්" සොයාගෙන ගිය ගමන ගැන කියන්න තමයි සූදානම් වෙන්නේ.. 

ඔන්න මේ වතාවෙත් අපේ ගමනට තුන් දෙනයි... මමයි, මගේ සගයා හර්ෂයිමගේ සරසවි මිතුරෙක් වන දුලීපයි තමයි ගමනට ලැහැස්ති උනේ... ඔන්න අපි උදේ පාන්දරම ගමන පිටත් උනා...  

ඔන්න අපි පිටත් වෙලා ගමනෙන් බාගයක් දුර ආවහම මම නිකමට වගේ මගේ සාක්කු දෙක අතගාල බැලුව... එතකොට තමයි මට දෙලොව රත් උනේ... හුටා.. පාස්පෝට් එක අරන් ඇවිල්ල නෑනේ.. දැන් ඉතින් මක්කැයි කොරන්නේ.. ඒ වෙද්දිත් අපි නවාතැනේ සිට කිලෝමීටර් 100 ක් විතර දුර ගිහින් තිබුනේ... ඒත් මොනව කරන්නද, හරව ගත්ත වාහනේ.. ආපහු ආව පැයක් විතර... ඔන්න ඉතින් පටන් ගත්ත තැනම බාදාවයි.. :(  ඒත් ඉතින් අපි සැලෙයි... පාස්පෝට් එක සාක්කුවෙ ඔබාගත්ත මම ආයෙත් දුවල දුවල ගිහින් වාහනේට නැග්ග... ඔන්න දැන් අපි දෙවෙනි පාරටත් යන්න පිටත් උනා....

ඔන්න ඉතින් අපි යනවා.. යනවා... ඔහේ යනව... මෙහෙත් අධිවේගී මාර්ග තියනව හොඳේ.. :) දැන් ඔන්න ටික දුරක් යද්දි මෙන්න හම්බුනා යාලුවො සෙට් එකක්..



හොඳට දැකල පුරුදුයි වගේ... ඔයාලත් මුන්ව හොඳට අඳුනනව නේද?
මහ පාර අයිනේ තණකොළ කන බූරු රන්චුව නම් ඇත්තටම අපූරුයි.. 
මුන් ටික දැක්ක විතරයි, උදේ පාන්දරම අර පාස්පෝට් එකක් හන්ද මස්ත බාල්දු වෙලා තිබ්බ දවසට මරු ගැම්මක් ආව :) අපි අපේ යාලුවෝ ටිකට බායි කියල ඉදිරියටම ඇදුනා... 

ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අපි ආව කියමුකො "නරකාදියේ දොරටුවේ", දොරටුව ළඟට.. . ඔන්න ඉතින් "නරකාදියේ දොරටුව" කියල නිකම් බෑ.. ඒකට යන්නත් ටිකට් ගන්න ඕනේ සල්ලි දීල .. සංචාරකයින්ට ඉතින් කොහොමත් ගාන වැඩියිනේ.. :( ඔන්න දැන් අපි ටිකට් එහෙම අරන් එහෙ මෙහෙ බලද්දි මෙන්න තියනව බයිසිකල් මහ ගොඩක් .... 

බලපුවහම මේකයි සීන් එක... මේ වනෝද්‍යානය ඇතුලේ අපිට බයිසිකලෙන් යන්න පුලුවන්ලු... ඒක දැන ගත්ත විතරයි, තුන් දෙනාම එක පයින් කැමති උනා බයිසිකලේ කැලේ බලන්න යන්න...


මේ බලන්නකෝ අපි බයිසිකල් වලින් වනෝද්‍යානය මැද්දෙන් ගිය හැටි. පින්තූරෙ නම් ඉන්නේ මම නෙවෙයි.. මගේ සගයා.. 
ඔය දකුණු පැත්තෙන් පේන්නේ මහා ගල් පර්වතයක්... හැබැයි ඒ පරිසරය නම් හරිම අපූරුයි.. අපි ඔන්න බයිසිකල් වලින් යද්දි කැලේ ඉන්න මුවෝ.. ජිරාෆ් ල, අපි දිහා බලන් ඉන්නව, හරියට අමුතු සත්තු ටිකක් ඇවිල්ල වගේ.. :) ඒ මදිවට වල් ඌරෝ, මහ විශාල කුරුල්ලෝ.. එකී මෙකී සත්තු ගොඩක් මේ බයිසිකල් සවාරියේදි දැක ගත්ත...     


ඉස්සර රූපවාහිනියේ සැරිසර වැඩ සටහනේ බයිසිකල් වලින් යන චාරිකා ගැන බලල තිබුනට පලමු වරට බයිසිකලේකින් ගිහින් සත්තු බැලුවේ එදා තමයි. හුලං පාරත් කාගෙන ඉස්සරහට යද්දි දැනෙන සනීපේ නම් කියල නිම කරන්න බෑ..ඔන්න ඉතින් අපි ගමනේ බාගයක් විතර යද්දි තමයි අපිට දෙවියෝ එවපු දෙවෙනි තෑග්ග හම්බ උනේ... 

අපේ මිතුරා හර්ශගේ බයිසිකලේ හැන්ඩ්ල් එක බුරුල් වෙලා හොඳටම.... මොකෝ දැන් ඉතින් කැලේ මැද්දේ වින්කලයක් තියනව කියලයෑ.. කැඩිච්ච එකාව මග දාල අපි බයිසිකල් වලින්ම යන්නයෑ.. ඔන්න ඉතින් දැන් තුන් දෙනත් එක්කම පයින් යනව... නිකන්ම පයින් යනව නම් කමක් නෑ.. අර බර - මවුන්ටන් බයිසිකලුත් තල්ලු කොරගෙනම.... 

ඔන්න අපි දැන් ළඟා උනේ නරකාදියට යන පාරේ හොඳම තැනකට.. මෙතන ඉඳල මග පෙන්වන්නෙක් එක්කල යන්න තියෙන්නේ පයින්ම තමයි..

ඇත්තටම අපි මේ යන්නේ අවුරුදු දහස් ගනණකට ඉහතදී අතිශය සක්‍රීය වුනු, ගිණිකන්දක් සොයාගෙන... එදා මහ පොලොවෙන් බුර බුරා නැගපු ලාවා ගලාගිය මාර්ගය ඔස්සේ තමයි අපි යන්න බලා පොරොත්තුව.. අදටත් නිහඬ ගිනි කන්දක් විදිහට තමයි මේ අපි යන "හෙල්ස් ගේට් ජාතික වනෝද්‍යානය" අවට ප්‍රදේශය නම් කරල තියෙන්නේ... 

ඔන්න අපිට ලැබුනා මගපෙන්වන්නෙක්.. ලැබුන කියුවට අපි ඉතින් සල්ලි ගෙවල එහෙම එක්කෙනෙක්ගේ සේවය ලබා ගන්න ඕනේ... මේ මග පෙන්වන්නන්ගේ තවත් විශේෂයක් තියෙන්නේ, මෙයාල "කෙන්යා වනජීවී අධිකාරියේ" සේවකයෝ නෙවෙයි. මොවුන් මේ ගිනි කන්ද අවට පාරම්පරික පදිංචි කරුවන් වන "මසෙයි" ජන කොට්ඨාසයට අයත් උදවිය. මෙයාලගේ සංගමයක් මගින් තමයි මේ වනයේ උපදේශන සේවාවන් කරන්නේ. සංචාරක කර්මාන්තයේ සංකල්පයක් විදිහට ඒක නම් ඉතා ඉහලින් අගය කල යුතු වැඩ පිලිවෙලක්.

ඔන්න අපි අයෙමත් එමුකෝ කතාවට... ඔන්න අපි කෙමෙන් කෙමෙන් ඉස්සරහට යනව.. ඔය අතරේ ඇස් දෙකට පේන්නේ නම් ඇස් අදහාගන්නටත් බැරි තරමේ දසුන්... විස්තර කරන්න ඉස්සෙල්ල ඔයාලත් බලලම ඉන්නකෝ....



හිතා ගන්න පුලුවන්ද මොකක්ද මේ කියල... මේ අර මම උඩින් ලියල තියන අධිවේගී පාරක් නම් නොවෙයි. මීට අවුරුදු දහස් ගනනකට පෙර මේ පාරේ අධි වේගයෙන් ගලා ගිහින් තියෙන්නේ "ලාවා.." ඒ කියන්නේ පොලොව ඇතුලේ ගිනියම් වූ පාෂාන දියරයක් විදිහට තමයි මේ පාරේ අධි වේගයෙන් ගලා ගිහින් තියෙන්නේ. පේනව නේද නයා ගියා වගේ වංගු දාගෙන පොලොව හාරගෙන ගිහින් තියන හැටි.. මේ විදිහට හෑරිලා තියන කානුව අපිට හිතන්නත් බැරි තරම් ගැඹුරුයි.. දැන් මේ අපි ගමන් කරන්නේ මේ කාණුව දිගේ... අපේ අරමුණ ලාවා ගලන්න පටන් ගත්ත තැන සොයා ගන්න එක :) .

මේ ලාවා ගලපු මගේ ගැඹුර හිතා ගන්න ඔන්න ඔය පහලින් තියන පින්තූරේ බලන්නකෝ.. සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රමානයයි, ලාවා මගේ උසයි පේනව නේද? (ඔතන ඉස්සරහින් ඉන්නේ මම. මම ඉතින් සාමාන්‍ය මනුස්ස ප්‍රමාණයට වඩා පුන්චි උනාට, පිටි පස්සෙන් ඉන්න මගේ මිතුරා අඩි 6 ක් විතර උසයි ).


ලාව ගලල තියෙන්නෙත් හරියට ගඟක් ගලනව වගේ තමයි.. සමහර තැන් වලින් විශාල ගැටි පිහිටල තියනව.. හරියට ගඟක් ගලද්දි දිය ඇලි හැදෙනව වගේ..අපි ඔය නගින්න හදන්නේත් ඒ වගේ පොඩි කඳු ගැටයක් තමයි. 

අපිට හිටපු මග පෙන්වන්නා නම් අපිට දුන්නේ පුදුම සහයක්.. මේ වගේ සමහර දුෂ්කර තැන් වලදි ඔහු අපිව අපේ සපත්තු වලින් විතරක් ඔසවාගෙන අපිව ඉහලට එසෙව්වා.. සමහර ගැඹුරු ආගාධ වලට බහිද්දිත් ඒ වගේ තමයි. එයා මුලින් බැහැල අපිව පහලට ගන්නේ අපේ සපත්තු ඔහුගේ අත්ල මත තබාගන්න කියල, අපිව සම්පූර්ණයෙන්ම ඔසවාගෙන.. ඒ වගේ ඇඩ්වෙන්චර් වැඩ රූපවාහිනියෙන් දැකල තිබුනට, අත් විඳල තිබුනේ නෑනේ.. දැන් ඉතින් අපිත් ෆුල් ඇඩ්වෙන්චරස් විදිහට ඉස්සරහටම ඇදෙනව..

මේ පහලින් තියන ඡායාරූපය අසලින් තමයි ලාවා ගලායන්න පටන් ගත් ස්ථානය තිබුනේ. එතැන සිට දෙපැත්තටම විශාල කාණු හාරාගෙන තමයි ලාවා ගලා ගොස් තිබෙන්නේ.

 
 
අපි කොච්චර උනන්දුවෙන් ඉදිරියට ගියත් අපේ නාසයට නම් දැනුනේ මහා අපුලක්. මොකද අපි මේ ඇවිද යන්නේ ඇත්තම ගෙන්දගම් පොලොවක නිසා. මේ ප්‍රදේශය පුරාවටම, පාෂානගත සල්ෆර් හෙවත් ගෙන්දගම් පැතිරිලා තියෙන්නේ.. සමහර තැන් වලදි හුස්ම ගන්නත් අපහසු වන් තරමටම සල්ෆර් ගඳ නහයට දැනෙන්න ගත්තා... 

අපි තවත් ඉදිරියට ගියා... අපි යන්නේ මේ ලාවා ගිය මගේ එක කොණක් සොයාගෙන.. කොටින්ම කියනව නම් දෙපැත්තට ගලපු ලාවා මාර්ගය, එක් පැත්තකදී, විශාල බාධාවකට අසු වෙලා එතනින් ඉදිරියට කාණුව හෑරිලා නෑ.. ඔය විදිහට ගලා ගිය පාරේ ලාවා සුලියක් වගේ කැරකිලා මහා කුහරයක් හැදිල තියනවා.. ඒ තමයි මේ..

  
මෙතනට කියන්නේ "යක්ෂයාගේ නිදි යහන" කියල.. තේරෙන බසින් කියන්නේ "ඩෙවිල්ස් බෙඩ් රූම්" කියල. :) 

ඔන්න ඔතනින් ලාවා ගිය මග මෙන්ම , අපි ගිය මගත් නතර උනා.. එදා ලාවා මාර්ගය ආපසු හැරුනා වගේම අපිත් ආපසු හැරුනේ මේ පැරණි ගිනි කන්දේ අදටත් සක්‍රීය කොටසක් වෙත පය තැබීමේ අරමුණ ඇතිව..   

මේ වෙද්දි නම් අපි කට්ටියට ටිකක් ඇති වෙලා තිබුනේ, මහන්සියටම... නමුත් අපි සැලෙයි.. 

අපි හැමෝම හිටියේ නටන උනු වතුර එන උනු වතුර ලිං බලන්න, පොලොවෙන් දුම් දාන හැටි බලන්න, පොලොව යට මහ ගල් දියවෙලා පොලව මතු පිට "ජොබ ජොබ" ගගා නටන හැටි බලන නොතිත් ආශාවෙන්...

ඔන්න ඉතින් ඒ ටික නදුන් උයනට එන්නේ මීළඟ ලිපියෙන් තමයි.. මොකද මෙගා නාට්ටියක් ලියන්න බඩු තියෙද්දි එක දවසින් ඉවර කරන්න බෑනේ... 

ඔන්න එහෙනම් මීළඟ ලිපියකින් ළඟදිම ඉතුරු විස්තර ටික බලාපොරොත්තු වන්න..

[පහුගිය කලයේ මම නිතර යන එන බ්ලොග් වලටවත් කොමෙන්ටුවක් දාල යන්න බැරි වීම ගැනත් කණගාටු වෙනව...  ] 

18 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

Anonymous said...

elaz hoda lipiyak

Aza said...

sira storya.......

හරී said...

ලස්සන විස්තරයක්...

අයියෙ බයිසිකල් වල යද්දී තියෙන ආරක්ෂාව අඩුයිනෙ..නපුරු සත්තු එහෙම පැන්නොත්.........

amila chathuranga said...

නකල්ස් වල එක්තරා කොටසක තියනෙව ගමේ අයම ගයිඩ් කරන තැනක්..ඒ මිනිස්සු හරි හොඳයි..ඒක තමා සාර්ථකම ක්‍රමවේදය..නැත්තං මෙහෙන් යන පුස් ඌරො පාරවල් දන්න එකක්යැ...හරියට..ඒ මිනිස්සු තිතට හැමදේම දන්නව...ගහ කොලද සතා සීපාවද..සර්පයොද..තව මල් ගස්ද ඔක්කොම..

Dinesh said...

අපූරුයි.. සටහන බොහොම අපූරුවට ලියාලා තියෙනවා සහෝදරයා...

ගීතක - ඇත්ත කතා...!!! said...

බොහොම ආස හිතෙන පින්තූර කතාවක්! :)

නිසුපා said...

අනේ ඉරිසියාවේ බෑ අනේ...
අපිටත් මෙහෙම යන්න ඇත්නම්.වෙලාවට ෆොටෝ ටිකක් හරි බලන්න හම්ව් වෙන්නෙ.

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

ලියමු ලියමු. අපි ආසාවෙන් කියවනවා

පිණිබිඳු... said...

පින්තූර දැක්කම නම් මාර ආසයි. ඒක නෙමෙයි මොකද අර බූරුවො සෙට් එක නහයට කරාඹු දාගෙන ඉන්නෙ. ඒ පැත්තෙ අලුත් ඉස්ටයිල් එකද

නදුන් උයන said...

@Anonymous :

ස්තූතියි ප්‍රතිචාරයට...

නදුන් උයන said...

@Aza:
ස්තූතියි ඔබටත් ...

නදුන් උයන said...

@හරී:
මේ වනයේ වැඩිය දරුණු සත්තු නෑ.. ලොකු සත්තු හිටියේ සීබ්‍රා සහ ජිරාෆ් විතරයි.. උන් එකෙක් වත් හරක්මස් කන්නේ නෑ කියල දන්න හන්ද බය නැතුව ගියා :)

නදුන් උයන said...

@amila chathuranga:
ඇත්තටම ඒක ගොඩක් හොඳ සංකල්පයක්.. ලංකාවෙත් ඇති කරන්න වටින ක්‍රමවේදයක්.. කොහෙද ඉතින් අපේ රාජ්‍ය ආයතන හදන්නේ ඒවායිනුත් තමුන්ට හම්බුකොර ගන්න මිසක්, අර ගමේ මිනිස්සුන්ට පොඩියට හරි සලකන්නනෙවෙයි නේ..

නදුන් උයන said...

@Dinesh:
නඳුන් උයනට ගොඩ බැස්සට ස්තූතියි..

නදුන් උයන said...

@ගීතක - ඇත්ත කතා...!!!

කියවද්දි ආසාවක් හිතුනනම් මට සතුටුයි... දෙවෙනි කොටසත් ලඟදීම දාන්නම්.

නදුන් උයන said...

@නිසුපා:
හප්පේ... මේ ගෑල්ලමයින්ගේ හැටි ඔහොම්මමයි... ඊරිසියාව.. ඊරිසියාව.. :)
[විහිලුවට හොඳේ ]

ඉතුරු ටිකත් දාන්නම් කෝ ලඟදිම

නදුන් උයන said...

@පෙදරේරුවා නොහොත් මේසන් බාස්:
බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට... සහ දිරි ගැන්වීමට

නදුන් උයන said...

@පිණිබිඳු... :

ඔන්න ඔයා කියුව හන්දමයි මේක ලියන්න හිතුනේ...

නහයට කරාබු දාගෙන ඉන්නේ මම හිතන්නේ අර හරකුන්ගේ නහය විදිනව වගේ සීන් එකක් කරලද දන්නේ නෑ.. [කොහොමත් ඉතින් නහයට කරාබු දාන අයයි මෙයාලයි අතර වැඩි වෙනසක් මට නම් පේන්නේ නෑ...]

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...