Pages

Showing posts with label දේශීයකරණය. Show all posts
Showing posts with label දේශීයකරණය. Show all posts

Tuesday, January 17, 2012

සය වසක් තිස්සේ මගෙ තනියට සිටි මගේ උයන ... නඳුන් උයන ....


අද නදුන් උයනට සුවිශේෂී දවසක්. ඒ වගේම නදුන්ටත් සුවිශේෂී දවසක්... 
ඒකට හේතුව මොකක්ද කියල දන්නවද? මෙන්න මේක තමයි හේතුව.... 


කට්ටිය හොයාගත්තද හේතුව... ?  

හේතුව තමයි මම හා හා පුරා කියල බ්ලොග් සටහනක් ලියල අද වෙද්දි අවුරුදු 6 ක්. 

මේ බ්ලොග් සටහන ඇත්තටම දැක්කහම අද නම් ලැජ්ජයිත් එක්ක..ලියල තියන වචන තුන හතරවත්  හරියට ලියල නෑ. ව්‍යාකරණ සහ භාෂා භාවිතයත් වැරදියි. ඒත් එදා වැරදියට හරි ආරම්භකරපු දේ ගැන අද ආඩම්බරයි. 

මම මේ සබැඳිය මීට ටික කාලෙකට ඉස්සෙල්ලත් නදුන් උයනේ දැම්ම.. ඒ මාව සිංහල බ්ලොග් කියවනයෙන් ගලවා තැබූ කාලයේ. දැන් නැවතත් සිංහල බ්ලොග් කියවනයට නදුන් උයන එක්වෙලා. මගේ බ්ලොග් කෙරුවාව ගැන විස්තර ටිකක් , ඔය ඉහලින්කියල තියන ලිපියෙත් තියෙනව. 

සිංහල බ්ලොග් අවකාශයේ මහා දැවැන්තයෙක් නොවුනත්, මේ අවුරුදු 6 ටම ලිපි මහා ගොඩක් ලියල නැති උනත් අදටත් මම සංතෝෂ වෙනව මගේම කියල බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න පුලුවන් වීම ගැන.
මගේ පෙර ලිපියේ ලියල තියනව වගේම මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ බ්ලොගර් අඩවියෙන් නෙවෙයි. ඒ කාලේ සමාජ ජාලකරණ අඩවි ප්‍රචලිත වුනු මුල් යුගය. මූණු පොතත් වැඩිය ජනප්‍රිය නෑ. ඒ කාලේ තිබ්බේ හායි 5 තමයි හැම තැනම.. ඔය අතරේ මම හා හා පුරා කියල සෙට් උනේ මල්ටිප්ලයි (www.multiply.com) කියන ජාලයට. ඒකෙන් බ්ලොග් ලියන්න, පොටෝ ඇල්බම් හදන්න, සින්දු, වීඩියෝ අප්ලෝඩ් කරන්න ඔය හැම දේම තිබුන. ඉතින් මම හා හා පුරාම මගේ අඩවියට දාපු නම තමයි "නදුන් උයන". ඒ දවස් වල සරසවියේ පරිගණක වල සිංහලත් නෑ. සිංහල යුනිකෝඩ් උනත් වැඩිය ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ. ඒ මේ සියලු කාරණා නිසාවෙන් තමයි මමත් නදුන් උයන සුද්දගේ බාසාවෙන්ම කොරගෙන ගියේ. 
ඔය අතරෙ මම සිංහලෙන් පලකරපු පලවෙනි ලිපිය තමයි මෙ...

" සටන් විරාමය සමඟ ගිය ගමනක අවසානය ".. මේක ඇවිල්ල ලියුවෙ නම් මම නෙවේ.

මම නදුන් උයනට එක් කරපු පලවෙනි සිංහල ලිපිය තමයි මේ.

( http://somarathne.multiply.com/journal/item/83/83 )

ඊ මේල් තුලදී මවු බස භාවිතය ජනප්‍රිය කරවන්න තමයි ඒ ලිපිය ලියුවේ. ඔන්න ඔහොම පටන් ගත්ත නදුන් උයන බොහෝ හැල හැප්පීම් මැද්දේ මේ ඔයාල කියවන තැන දක්වා ආව.. ඔය අතරේ පහලින් තියෙන්නේ සිද්ද වෙච්ච දේවල් කීපයක්. 

1. මගේ සරසවි ජීවිතයේ විශේෂ සිදුවීම් බොහොමයක් පරන නදුන් උයනේ සටහන්ව තිබීම
5. මේ අතරේ පලමුබ්ලොග් මැරතනයට සහභාගී වීමේ අරමුනින් මම බ්ලොගර් හරහා අලුත් නදුන් උයනක් පිහිටවීම.
6. පලමු බ්ලොග් මැරතනයට සහභාගී වීම
7. ඔය අතරේ බ්ලොග් අඩවියේ ආර්. එස්. එස්. වල සිදුවූ දෝශයක් නිසා, බ්ලොග් ලිපි සිංහල බ්ලොග් කියවනයෙන් ප්‍රසිද්ධ නොවීම.
9. ආදර ලෝකේ සැරි සරන්නට ගොස් බ්ලොග් අඩවියක් තිබුනාදැයිත් අමතක වීම. ඊට දඩුවමක් ලෙස සිංහල බ්ලොග් කියවනයෙන් නදුන් උයන නෙරපීම.
10. බ්ලොග් ලියන්නටම සිංහල යතුරු පුවරුවක් මිලට ගැනීම. 
11.යලිත් ලියන්නට පටන් ගත්තත් මාස 6 ක ඉන්දියානු ජීවිතයේදී එකම බ්ලොග් සටහනක් වත් ලියන්නට නොහැකි වීම.
13.ඉන්දියානු ජීවිතය ගැන ලිපි කීපයක් හෝ පළකිරීම
15. අලුත් නඳුන් උයනේ ලිපි 30 ක් පමණ ලියා හිට්ස් 5500 ක් සහ, ලියාපදිංචි කියවන්නන් 50ක් පසුකර යෑම.       
 
 මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ දිනපතාම පාහේ ගියපු බ්ලොග් අඩවියක් තමයි, ඒ කාලේ ප්‍රභාත් සිරිසේන අය්යගේ (අද යෝගානන්ද හිමියන් ) "නිදහස්" බ්ලොග් අඩවිය. ඊට අමතරව වරුණ කණිෂ්ක සොයුරාගේ "නිදහස්අදහස්" බ්ලොග් අඩවියත් ගොඩක් දුරට කියෙව්ව. වරුණ තමයි මට මුලින්ම බ්ලොග් මැරතන් එක ගැනත් කියුවේ. ඔය අතරේ සුපුන් සුදාරක, ප්‍රවීන් ඉන්ද්‍රනාම,ශාකුන්තල වගේ නම් ඒ කාලේ බ්ලොග් කරුවන් අතර ජනප්‍රිය වෙලා තිබුනා.
මෑත කාලයේ නම් මගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර ගනනින්  මම ඉහලට ගිහින් තිබුනා. වෙනදට එක්කෙනෙක්, දෙන්නෙක් එන ලිපි වලට ප්‍රතිචාර 10 - 20 ක් වැටෙනකොට ඇත්තටම සතුටු හිතුනා.(ඉස්සර මට හිට් 250 ක් එකතු කරගන්න දවස් 250ක් ගියා මුල්ම කාලෙදි )  මෑත කාලයේදී ගොඩක් ප්‍රතිචාර දක්වපු අය අතරේ මදුරංග , හිස් අහසේ සඳරු,  නදී , නිසූපා, පිනිබිඳු, රත්තරන් මාලුවා සහ තවත් බොහෝ අය හිටියා. ඔය අතරේ චාන්දි අක්ක මගේ කෙන්යා සටහන් වලට ඇගේ ප්‍රතිචාර හරහා ලොකු වටිනාකමක් ලබා දුන්නා. නම් ගම් අමතක වෙච්ච අය ඉන්නව නම් සමා වෙන්න හොන්දේ.        

ඔය අතරේ සමහරු මූනු පොතේ හෝ මග තොටදි හමු උනහමත් "අපි උඹේ නදුන් උයන කියවනව.. ලඟදි මුකුත් ලියුවෙ නෑ නේද?" කියලත් අහන්න පටන් ගත්ත. ඇත්තටම හරිම සන්තෝසයි එහෙම දෙයක් ඇහෙද්දි.  ඉතින් මේ හැමෝටම බොහොමත්ම ස්තූති කරන්න මේක තමයි හොඳම වෙලාව.. මට උදවු කරපු, මගේ ලිපි කියවාපු, ඒවායින් කිසියම්ම හෝ වින්දනයක් ලබපු හෝ දැනුමක් එකතු කරගත් සියලු දෙනාටම ස්තූතියි. පසුගිය වසර 6 පුරාවටම නඳුන් උයනේ හිටපු හැමෝටම මම ආරාධනා කරනව, මගෙත් එක්ක ඉදිරියටත් ඉන්න කියල.. 

මම නිතරම ලිපි ලියන්නෙක් නොවීම මගේ ලොකු අඩු පාඩුවක්. නමුත් අධික කාර්ය බහුලත්වය නිසා සතියකට එක ලිපියක් ලියනව කියන එකත් ලොකු අභියෝගයක් මට නම්. මම විවේකීව ඉන්න වෙලාවට බ්ලොග් අඩවි බොහොමයක් කියෙව්වත් කොමෙන්ටුවක් දමන්නේ නැතුව යනව ගොඩක් වෙලාවට. ඒකත් මගෙන් බ්ලොග් සමාජයට වෙන වැරැද්දක්. සමහර විට ඒ හන්දම වෙන්න ඇති මගේ ලිපි වලටත් කොමෙන්ටු අඩු වෙනව ඇත්තේ. නමුත් කොමෙන්ටු දැම්මේ නැති උනාට ඒ බ්ලොග් අඩවි වලින් ලබා ගන්නා දැනුම මෙන්ම ආශ්වාදයත් ඉහලයි. ඒ නිසා සියලු සිංහල බ්ලොග් කරුවන්ට ඒ වෙනුවෙන් ස්තූති කරන්නත් මේක අවස්තාවක් කරගන්න කැමතියි. 

ඔය හැම දෙනා අතරෙම, නඳුන් උයනට හොරෙන් හොරෙන් එන මාල ගිරවියෙකුත්, මට ලොකු සහයක් දෙනව මේ බ්ලොග් කෙරුවාව කොරගෙන යන්න.ඒ මාල ගිරවි බ්ලොග් ලියන්නේ නැති උනාට මට දෙන සහයෝගය නම් කියන්නම ඕනේ.   

ඉතින් එහෙනම් ස්තූතියි හැම දෙනාටම . .....!!!
       



   



    


Friday, July 31, 2009

අතිශයින්ම දෙමව්පියන්ට පමණයි.... !!! දෙමව්පියන් වන්නට සිටින අයද බැලුවාට කම් නැත.....

මේ දිනවල බොහෝ සෙයින් කතිකා වන්නේ ළමා පරපුරට අනවශ්‍ය දේ අළුත් තාක්ෂණයත් සමඟ ඇවිත් ඇති බවකි. නමුත් අපි දන්නා විදිහට නම් තාක්ෂණය අනවශ්‍ය දේ පාලනයට ද තාක්ෂණය දස්සය.

අද මම මේ කියන්නට යන්නේ වින්ඩෝස් විස්ටා ඔස්සේ තම දරුවා වෙනුවෙන් විශේෂයෙන් පාලනය කරන ලද පරිශීලක ගිණුමක් සකස් කරගන්නේ කෙසේද කියායි. මෙම පහසුකම තාක්ෂණය සමඟ වැඩ කරන බොහෝ දෙනා දන්නවා ඇති. නමුත් නොදන්නා අයට කියා දීම තුලින් පරිගණකයට නිරපරාදේ බැනුම් අහන්නට නොවනු ඇත.

[මා ලිනක්ස් / උබුන්ටු/ ෆෙඩෝරා ආදී කොට ඇති නිදහස් මෘදුකාංග - මෙහෙයුම් පද්ධති සමඟ වැඩි දුර වැඩ කර නොමැති නිසා (සිංහලෙන් ද ඇතැයි පැවසෙන) එම මෙහෙයුම් පද්ධති තුලද මෙවැනි අතිශය සරල මාපිය පාලකයක් ඇත්නම් එහි පිහිටුම් සකස් කර ගන්නා ආකාරය ද පහතින් දක්වන මෙන් මෙම සටහන කියවන නිදහස් මෘදුකාංග - මෙහෙයුම් පද්ධති භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටිමි. ]

පියවර 1:

විස්ටා මෙහෙයුම් පද්ධතියේ පාලක පුවරුව වෙත යන්න.

පියවර 2:
පරිශීලක ගිණුම් හා පවුලේ සුරක්ෂිතතාව යටතේ ඇති “ඕනෑම පරිශීලකයකු සඳහා මාපිය පාලක සිටුවන්න” තෝරා ගන්න. (මෙහිදී අමතර අවසර ලබා දීමක් අවශ්‍ය වීමට පුළුවන. )
පියවර3:
දැන් ඔබට ලැබෙන්නේ පහත පරිදි තිරයකි.


ඔබේ දරුවා වෙත වෙනම පරිශීලක ගිණුමක් තිබීම මෙහිදී අවශ්‍ය වේ. එම පරිශීලක ගිණුම පරිපාලක මට්ටමේ ගිණුමක් නොවිය යුතු අතර සම්මත මට්ටමේ ගිණුමක් විය හැකිය. දරුවා වෙනුවෙන් වෙනම ගිණුමක් නැත්නම් “නව පරිශීලක ගිණුමක් තනන්න” ඔස්සේ දරුවා වෙනුවෙන් නව ගිණුමක් අරඹන්න. ඒ සඳහා පහත තිරය ඔබට ලැබේවි. මෙහි ගිණුම් නාමය දී ගිණුම තනන්න.


මෙහිදී මවිසින් දුන් නම : “පොඩි පුතා”

පියවර 4:
දැන් ඔබට මීළඟ තිරය ඔස්සේ මාපිය පාලකයේ සිටුවම සකසන්නට පුළුවන්.

පළමු ව මාපිය පාලක කොටසේ “මත, වර්තමාන සිටුවම් බලපවත්වන්න යන්න තෝරා ගන්න. (මෙහිදී වර්තමාන සිටුවම් යනු දැනට පරිගණකයේ පවතින මාපිය පාලක සිටුවමයි. එහි සාරාංශ විස්තරයක් දකුණු පසින් දැක ගත හැකියි. )

මීළඟට ක්‍රියාකාරකම් වාර්තාකරණය සඳහා ද අදාළ සිටුවම තෝර ගන්න. මෙම සැකසුම හරහා ඔබට පහත පරිදි අදාල ගිණුමේ ක්‍රියාකාරකම් වාර්තාවක් දැකගැනීමට පුළුවන. පිවිසි වෙබ් අඩවි, යෙදුම්, ක්‍රීඩා, ඊ තැපෑල, ක්ෂණික පණිවිඩ සහ මාධ්‍ය භාවිතයන් පිළිබඳ වාර්තාවක් මෙහිදී ලැබේ.


පියවර 5:
දැන් ඔබට තිබෙන්නේ අවශ්‍ය පරිදි මාපිය පාලක සිටුවම් සකස් කිරීමයි. මෙහිදී මූලික අංශ 4 ක් ඔස්සේ ඔබේ දරුවාගේ පරිගණක ක්‍රියාකාරකම් සීමා කළ හැක.

1.Windows Vista වෙබ් පෙරහන:


මෙම තිරය ඔස්සේ ඔබේ දරුවා වෙනුවෙන් සිදුකරනු ලබන පාලනයන් ඔබේ කැමැත්ත පරිදි සිදු කරන්න.

මෙහි “නිශ්චිත වෙබ් අඩවි වලට ඉඩ දෙන්න සහ අවුරන්න” යන කොටස යටතේ ඇති “ඉඩ දුන් සහ අවුරන ලද ලැයිස්තුව සංස්කරණය කරන්න” නම් සබැඳියට ගිය විට වෙබ් අඩවි වල ලිපින ඔස්සේ සීමාවන් පැනවීමට හැකිය.

ඊට පහලින් ඇති කොටස ඔස්සේ වෙබ් පිටුවල අන්තර්ගතය අනුව සීමා කිරීම් සිදුකළ හැකිය. මෙහිදී වැඩි, මධ්‍යම සහ කිසිත් නැත යන මට්ටම් වලට අමතරව අපට අවශ්‍ය පරිදි සකස් කළ හැකි “අභිමත” නම් වූ විකල්පය ද අප සතුයි.

මෙලෙස සැකසීමෙන් පසු “හරි” බොත්තම ක්ලික් කරන්න

2. කාල සීමා


මෙමගින් දරුවා පරිගණකය භාවිත කරන පැය ගණන සීමා කළ හැකිය. අදාල කොටු මත ක්ලික් කිරීමෙන් එම කාලය තුල අදාල ගිණුම ඔස්සේ පරිගණකයට ඇතුළු වීම වළකයි.


3.ක්‍රීඩා
පරිගණක ක්‍රීඩා සම්බන්ධ පාලනය කිරීම් මේ ඔස්සේ කළ හැක. මෙහිදී පරිගණකයේ ස්ථාපිත ක්‍රීඩාවන්ගේ නම් හරහාද මෙම පාලනය සිදු කළ හැකිය.


4. නිශ්චිත ක්‍රම ලේඛ ඉඩදීම සහ අවුරා දැමීම
මේ හරහා දරුවාට අවසර ඇති පරිගණක වැඩසටහන් තෝරාගන්න.

ඔබේ දරුවා වෙනුවෙන් සකස් කළ මාපිය පාලකය දැන් සකස් කර අවසන්.

පියවර 6:

දැන් නව ගිණුම හරහා පරිගණකය පුරන්න. මෙහිදී දරුවාගේ ගිණුම වෙනුවෙන් රහස් පදයක් ද ඇතුල් කරන්න.

සැ:යු: ඔබේ පරිපාලක ගිණුමේ රහස් පදය දරුවා වෙතට ලැබෙන්නට සැලැස්වීමෙන් වළකින්න.

මෙම ලිපිය සකසන්නට මූලික හේතුව වූයේ නවීන තාක්ෂණය දරුවන් වෙත නුසුදුසු බව පවසමින් මේ දිනවල පවතින මහා ඝෝෂාවයි. නමුත් පරිගණකය පාලනය සඳහාද මේ අයුරින් විවිධ ක්‍රම හඳුන්වා දී තිබේ. එය එසේ වුවද මේ ආකාරයේ කුමන පාලන විධි හඳුන්වා දුන්නත් ඒවා අතික්‍රමණය කිරීමට ක්‍රම දින දින සොයා ගැනේ. එබැවින් ඔබේ දරුවා පරිගණකය භාවිත කරන අයුරු මෙන්ම දරුවා පිළිබඳ වද විමසිල්ලෙන් සිටීම ඔබේ වගකීමයි.

මෙම ලිපියේ කරුණු මුද්‍රණය කරගැනීමට හෝ කිසිවෙකුට යැවීමට අවශ්‍ය නම් මෙම ගොනුව බාගත කරගන්න.

Thursday, July 23, 2009

දැන් ඉතින් ශුද්ධ සිංහලෙන්ම ලියන්න .... තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව ගැනයි මේ....

අපි සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරන් දැන් කොච්චර කල්ද? ඇත්තම කියනව නම් අපිට තාමත් බෑනෙ ඉංග්‍රීසි වචන 2 - 3 ක් දාන්නෙ නැතිව බ්ලොග් එක ලියන්න. හුඟක් වෙලාවට මේකට හේතුව වෙන්නේ අපි භාවිත කරන වචන (විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී) බොහොමයකට නිවැරදි සිංහල වචන මොනවාද කියා අපි දන්නේ නැති කම. නැතහොත් අපි දන්න වචනෙ අනිත් අය දනීද දන්නෙ නෑ කියන සැකය. ඔය අනම් මනම් හේතු කොච්චර තිබ්බත් අපි තනිකර සිංහලෙන්ම බ්ලොග් සටහනක් ලියන්න උත්සාහ කරල නෑනෙ.

අපි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී සිංහලෙන් ලියන ලිපියක පහත ආකාරයේ කොටසක් දැක්කොත් අපිට මහ පුදුමයක් නොවෙයිනෙ.
"එම software එක දැන් ඔබේ Computer 1 ට install කරගන්න.ඉන් පසු ඔබේ Computer 1 restart කරන්න. දැන් ඔබේ user account එකෙන් log වෙන්න."

නමුත් මේ වගේ වාක්‍යයක් ඔබ ඉංග්‍රීසි බසින් කවදාවත් ලියනවාද?
"I wanted to go to කඩය in the morning. But I didn't have ඇතිවෙන්න සල්ලි to buy that පොත. Any way my parents පොරොන්දු වුණා to buy that පොත"

අපි කෙසේ වත් එවැනි වාක්‍යයක් ලියන්නේ නෑනේ. "කඩය, ඇතිවෙන්න සල්ලි,පොත,පොරොන්දු වුණා" කියන වචන වලට ඉංග්‍රීසි වචන දන්නෙ නැහැයි කියලා අපි ඒ විදිහට ලියන්නෙ නෑනෙ. හරි විදිහට ඉංග්‍රීසියෙන්ම ලියන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් මෙහි මුලින් ඇති අපි සිංහල වාක්‍යය ගැන මීට වඩා සැලකිල්ලෙන් ලියන්න ඕනෙ කියලයි මට හිතෙන්නේ.

හරි.. දැන් මට ශුද්ධ සිංහලෙන්ම ලියන්න ඕනෙ කියමුකෝ. දැන් මම සිංහලෙන් කියන වචනය දන්න නැති වචන ටික තෝර ගනිමු. " software ,Computer ,install ,restart ,user account ,log" මේවට කියන සිංහල වචන මොනවද? දෙයියො තමා දන්නෙ කියල ඔබට හිතෙන්න පුළුවන්. අපේ මේ ගැටළුවට දැන් විසඳුමක් තියෙනවා.

ඉතා මෑතදී නිකුත් වූ වින්ඩෝස් විස්ටා සහ ඔෆිස් 2007 සිංහල අතුරු මුහුණත් හි භාවිත වන වචන ඇසුරින් සකස් කළ "තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව" අපට දැන් ලොකු සේවයක් කරාවි. අපි භාවිත කරන ඉංග්‍රීසි වචනයට අදාලව සිංහල වචනය හොයා ගන්න මේ පොත් පිංච හරහා හරිම ලේසියි. ඉංග්‍රීසි අකුරු අනුපිළිවෙළට සකස් කර ඇති පොත් පිංච පිටු 67කින් යුක්තයි.

මෙහි සඳහන් වචන කීපයක් මේ...
access -ප්‍රවේශය / ප්‍රවේශ වන්න
baseline - පාද රේඛාව
check box - සලකුණු කොටුව
gadget - මෙවලම
mouse - මූසිකය
scroll -රෝල් කරන්න
worksheet - වැඩපත

මේ වචන අපි ටික කළක් භාවිත කරන කොට අපිට ඉබේම පුරුදු වෙයි. මොනව උනත් මේ පොත් පිංච නම් ඉතාමත්ම වටිනව.

මේ අයුරින් හෙල බස එක්ක හැප්පුණු ව්‍යාපෘතිය පිටුපස බොහෝ දෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා ලෙස සැලකෙන දිවංගත මහාචාර්ය වී කේ සමරනායක මැතිදුන්ද මේ පසුපස ඉඳල තියනව. ඊට අමතරව මහාචාර්ය ජේ බී දිසානායක මහතා ප්‍රමුඛ සිංහල භාෂා විශාරදයින්, ආචාර්ය රුවන් වීරසිංහ මහතා ප්‍රමුඛ කොළඹ සරසවිය, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ප්‍රමුඛ මොරටු සරසවිය, රෙෂාන් දේවපුර මහතා ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, සයන්ස් ලෑන්ඩ් කෝපරේෂන් ආයතනය සමඟින් එකතු පහදු වෙලා මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගම තමයි මෙම පොත් පිංච ප්‍රකාශයට පත් කරල තියෙන්නේ. ඉතින් මේ හැමෝටම ස්තූතියි.

මයික්‍රොසො‍ෆ්ට් ශ්‍රී ලංකා ආයතනයේ "ගමට IT" වැඩසටහන යටතේ තමයි මෙම පොත් පිංච එලි දැකල තියෙන්නේ. අන්තිම පිටුවේ මිලකුත් සටහන් වෙනව. ඒත් මේක පොත් කඩවල් වල නම් මම දැක්කෙ නෑ. නමුත් මයික්‍රොසොෆ්ට් ආයතනය නොමිලේම බෙදනව කියලයි දැනගත්තෙ. (මට නම් නොමිලේම ලැබුනේ අද පැවති .Net පරිශීලක සමාජයේ රැස්වීමේදී.)

දැන් ඉතින් ශුද්ධ සිංහලෙන්ම ලියන්න බැරියැයි... ඕන තරම් .....


Sunday, July 12, 2009

සිංහලෙන් ඔෆිස් හෙවත් පරිගණක සිංහල කරණයේ යෝධ පිම්ම ....

මගේ මුල් ලිපියෙන් මම කතා කළානේ. විස්ටා මෙහෙයුම් පද්ධතියේ සිංහල අතුරු මුහුණත ගැන. දැන් කතා කරන්නේ ඔෆිස් 2007 සිංහල අතුරු මුහුණත ගැන. මෙම අතුරු මුහුණත දැනට ක්‍රියාකාරී වන්නේ වර්ඩ් - එක්සෙල් - පවර් පොයින්ට් සහ අවුට්ලුක් යන මෘදුකාංග සඳහා පමණයි.

දැන් ඉතින් කතා මදෑ. බලන්නකෝ මේ මෙනු ටිකට වෙලා තියන දේ.

බොහෝ දුරට සිංහල වචන වලට පරිවර්තනය වෙලා. Home වෙනුවට මුල් පිට!. Insert වෙනුවට ඇතුල් කරන්න! Header වෙනුවට ශීර්ෂකය! Footer වෙනුවට පාදකය! සිංහල භාවිතාවේ වරදක් නම් නෑ. පුරුදු වෙනකොට හරියයි. හැබැයි “පිටු පිරිසැලසුම” කිව්වහම ටිකක් තේරෙනව මදිද මන්ද? ඒ මොනව උනත් ටූල් ටිප් එකෙන් දෙන උදව්වත් සිංහලෙන් ම දෙන එක නම් හොඳයි. විශේෂයෙන්ම අපිත් ඉතිං ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තට තවමත් ඉංග්‍රීසි හැකියාව අවම පිරිසක් ඉන්නවානේ. ඒක හන්දා සිංහල උපදෙස් හුඟක් වටිනව කියලයි මට හිතෙන්නේ.

මෙහි තියන තවත් විශේෂයක් තමයි සංවාද කොටු සහ විසාඩ් පවා සිංහලෙන් ඉදිරිපත් කර තිබීම. මීට පෙර Mail Merge කරන්නනම් ඒ ගැන දැනන් ඉන්නම ඔනේ. ඒත් දැන් තේරෙන සිංහලෙන් මේ කියල තියෙන්නේ කරන විදිහ

ඒ විතරක් නොවෙයි. දැන් දිය සලකුණු හෙවත් water mark වුනත් සිංහලෙන් තියනවා. සිංහල ශබ්ද කෝෂයත් ඉතා වටිනවා. හැබැයි වචන ගොඩක්ම අඩුයි. නමුත් දීල තියන වචන ටිකත් මදැයි. “ පිලිබඳ ” කියල යතුරු ලියනය කළහම මෙන්න යටින් රතු ඉරක් වැටෙනව. ඒක මතට ගියහම මෙන්න “ල” මූර්ධජ වෙන්න ඕනෙලු. නණ ලළ බේදය මතක් වුනේ එතකොට.




අවුට්ලුක් මෘදුකාංගය සමගින් අත්දැකීමත් හරිම අමුතුයි. තැපෑල - දිනදසුන - කාර්යයන් - හමුවීම් මේව නම් ඉතිං අමුතු වචන නොවෙයි නේ. මේ හැම දෙයකම තියෙන්නේ සිංහල පරිශීලකයෙක් වෙනුවෙන් දී ඇති සහයෝගයක් තමයි.

මට නම් තේරෙන විදිහට මෙය පරිගණක සිංහල කරණයේ යෝධ පිම්මක් වේවි.
මෙම භාෂා අතුරු මුහුණත. XP මත වුවත් ඔෆිස් 2007 වෙත මෙම අතුරු මුහුණත ස්ථාපනය කළ හැකියි.

මෙන්න සබැදුම : http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx

ඔබේ අත්දැකීම ගැනත් පහතින් ලියන්න ආරාධනා කරනවා.

විස්ටා - ඔෆිස් 2007 දැන් සිංහලෙන් ....

මීට වසර ගණනාවකට ඉහතදී පරිගණකය හැඳින්වූයේ සමාජයේ ඉහල පෙලේ පුද්ගලයින් භාවිත කරන සුඛෝපභෝගී - ඉහල පැලැන්තියේ තාක්ෂණික මෙවලමක් ලෙසයි. නමුත් අද වන විට ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පරිගණකය සාමාන්යල ජනතාව අතරට ගිහින් අවසානයි. තවත් නොබෝ කලකින්ම සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙසට පරිගණකය සඳහන් වීම අපි කාටත් වැලැක්විය නොහැකියි. පරිගණකයේ උපත ඇමෙරිකාවේදී සිදු වුවත් මුළු ලෝකයේම විද්‍යාඥයින්, තාක්ෂණිකඥයින් , උගතුන් පරිගණක තාක්ෂණයේ දියුණුවට කර ඇති මෙහෙය අති විශාලයි. මුල් කාලයේදී පරිගණකය හැසිරවූයේත්, අපගේ අවශ්‍යතා ඉටු කරගත්තේත් ඊටම ආවේණික භාෂා වලින්. පසුකාලයේදී පරිගණකය හැසිරවීම මෙන්ම අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අප එදිනෙදා භාවිත කරන භාෂාවන් යොදා ගැනීම ඇරඹුණා. නමුත් මුල්වරට බොහෝ පරිගණක පරිශීලකයන් අතර ජනප්‍රිය වූයේ ඉංග්‍රීසි බසයි.

ඒ සියල්ල පරිගණකය හා බැඳුණු අතීත කතා. අද වන විට පරිගණක තාක්ෂණය මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී අවසානයි. ඒ කෙසේ වෙතත් ලෝකය පුරා පරිගණකය හා තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත වෙද්දී යම් යම් ගැට‍ළු ද පැණ නැගුණා. ඉන් එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ මුළු ලෝකයේ ජනගහණයෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සේ වැඩ කිරීම‍ට නොහැකි වීම. ඒ නිසාවෙන්ම පරිගණක භාවිතය අත හරින්නට තරම් ජනතාව පසුබට වූයේ නෑ. ඒ වෙනුවෙන් විසඳුම් සොයා ගියා. “ දේශීය කරණය” නම් වූ සංකල්පය පරිගණකය වෙතටත් ළඟාවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටයි.

මෙසේ තාක්ෂණය ඉදිරියට යද්දී අපේ රටේ අපේ බස - සිංහල භාෂාවත් මග නැවතුනේ නෑ. විවිධ ක්‍රම හරහා සිංහල බසින් පරිගණකය මගින් වැඩ කරගැනීම ඇරඹුණා. තමුන්ගෙ මවු භාෂාවෙන් තමුන්ගෙ වැඩ කරගන්නව කියන්නෙ සැබැවින්ම වාසනාවක්. මෙහිදී සිංහල යුනිකේත ක්‍රමයේ හඳුන්වා දීම ඉතා වැදගත් සංධිස්ථානයක් කියලයි මට හිතෙන්නේ. ඊට පසු විවිධ මෘදුකාංග සිංහලෙන් දේශීයකරණය වෙලා එළියට ආවා. ෆයර්ෆොක්ස් මෙන්ම තන්ඩබර්ඩ් මෘදුකාංග 2 සිංහල බසින් පැමිණීම මෙම සිංහල-දේශීයකරණයේ මීළඟ සංධිස්ථානයයි.

අද වන විට මෙම මාවතේ යෝධ පියවරක් තබන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකිවෙලා තියනවා. ඒ විස්ටා මෙහෙයුම් පද්ධතියත්, ඔෆිස් මෘදුකාංගයත් සඳහා භාෂා අතුරු මුහුණත් හෙවත් Langauge Interface Pack (LIP)හඳුන්වා දීමත් සමඟ. සිංහල බසින් පරිගණක භාවිත කරන්නන් වෙනුවෙන් එළි දැක්වුණු මෙම විස්ටා - ඔෆිස් සිංහල භාෂා අතුරු මුහුණත සැබැවින් ම අපව මවිත කරවනවා කිව්වොත් නිවැරදියි.


“භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් (Language Interface Pack -LIP) යනු, වින්ඩෝස් විස්ටා වැනි යම් මෙහෙයුම් පද්ධතියක හෝ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැනි පරිගණක වැඩසටහනක මුහුණත, භාවිත කරන්නාගේ දේශීය භාෂාවෙන් හැඩ කිරීමට සමත්වන මෘදුකාංගයකි. යම් මූලික භාෂාවක් (සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බස) පදනම් කරගෙන පරිගණකය තුල මෙහෙයුම් පද්ධතියක් හෝ පරිගණක වැඩසටහනක් ස්ථාපනය කළ පසු ඒ මත මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් ස්ථාපනය කිරීමෙන් මුල් මෙහෙයුම් පද්ධතියේ හෝ පරිගණක වැඩසටහනේ වදන් සහ හැඩතල සැලකිය යුතු ලෙස අදාල දේශීය භාෂා‍ව වෙත පරිවර්තනය වීම සිදුවේ. මේ වන විට වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලය සඳහා සිංහල භාෂාව වෙනුවෙන් වූ මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් හඳුන්වා දී තිබේ. මෙය ස්ථාපනය කළ විට ඔබේ පරිගණකයේ සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ මූලික මෙනු, බොත්තම්, උපදෙස් සහ විස්තර සැලකිය යුතු ලෙස සිංහල මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී සිදුවනුයේ මෙම මෘදුකාංග වලදී භාවිත වූ ඉංග්‍රීසි වචන සඳහා සිංහල වදන් පෙලක් මුසු කිරීමයි.” (උපුටනය: මයික්‍රොසොෆ්ට් මූලික හඳුන්වා දීමේ ගොනුවෙනි)"

පළමු වරට මෙවැනි අත්දැකීමක් ලද විට මා පුදුමයට පත්වූයේ මෙහෙයුම් පද්ධතියේ බොහෝ ස්ථාන වල සිංහල වදන් පමණක් ම දුටු නිසාවෙන්. මේ අත්දැකීම කිහිපයක් ඔබත් සමඟ බෙදා ගන්න කැමතියි. මෙන්න විස්ටා පාලක පුවරුව හෙවත් control panel එක:සැබැවින්ම පුදුමාකාරයි නේද?. මෙහිදී මූලික මෙහෙයුම් පද්ධතිය පමණක් නොව ඒ සමඟ සබැඳි මෘදුකාංග සඳහා ද අදාළ පරිවර්තනය සක්‍රීයයි. උදාහරණයක් ලෙස අපිට හුරුපුරුදු Media Player එක දැන් හැඳින්වෙන්නේ “මාධ්‍ය ධාවකය” යන නමින්. Calendar එක දින දසුන වෙලා. Movie Maker සළරූ නිමැවුම් කරු වෙළා. මෙම මෘදුකාංග අභ්‍යන්තරයේදීද මෙනු, බොත්තම්, විස්තර, උපදෙස් බොහෝ දුරට සිංහල බසින් පෙන්නුම් කරනවා.




හැබැයි ඉතින් මෙහි අඩුපාඩු බොහෝ ඇති. නමුත් අඩුපාඩු ගැන කතා කරනවාට වඩා කරල තියන මහා කාර්යය ගැන කතා කරන එක වටිනවා කියල හිතෙන හින්ද මම අඩුපාඩු ගැන මෙතන කතා කරන්න යන්නෙ නෑ. මේ යෝධ කාර්යයට මයික්‍රොසොෆ්ට් සමඟ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ දේශීය භාෂා විශාරදයින් එකතු වෙලා ලබා දීල තියෙන්නේ හොඳ සහයෝගයක්. (අනේ තව කවුරු හරි මීට අමතරව උදව් කළා නම් ඒ අයටත් ස්තුතියි. නැත්නම් ෆයර්ෆොක්ස් පිටවුණු වෙලාවෙ වගේ දැන් මගේ දිහාවට අවි අමෝරාගෙන එයි, මමයි මේක කළේ කියලා.) මේ හැමෝටම ස්තූතියි.

ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම ගැන මීළඟ සටහනේ ලියන්නම්.

මේ අත්දැකීම වියදමකින් තොරවම ලබන්න. මෙන්න සබැඳුම:

වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspx

මයික්රොwසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx

පරිගණකයට ස්ථාපනය කරල බලල අදහසකුත් දක්වන්නකෝ....