Pages

Sunday, October 30, 2011

තවත් [ආලවන්ත] රජෙක් මහ වනයක් මැදදී හමුවුනෙමි... !!!


පසුගිය ලිපියෙන් මම ලියුවේ කෙන්යාවේ නකුරු ජාතික වනෝද්‍යානයේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලන් නරඹපු හැටි නේ. කට්ටිය ගොඩ දෙනෙක් ප්‍රතිචාරත් දක්වල තිබුන එක ගැන සංතෝසයි. මම එදා ඒ චාරිකාවේ සම්පූර්ණ විස්තරය ලියුවේ නැති වග ඔයාල දන්නවනේ. ඔන්න අද හදන්නේ ඒ චාරිකාවේ ඉතුරු විස්තර ටික ලියන්න. 

අන්තිමට අපි කතා කලේ කැලේ යාලුවො දෙන්නෙක් ගෝරියක් දාගත්ත හැටි නේ. මෙන්න ඉතින් ගෝරියේ අලුත්ම දර්ශන :)


බලන්නකෝ ඉතින් එකෙක්ගේ අනක් අස්සට අනිකගේ අනක් පටලවගෙන කරන ගෝරිය.අපේ ඇස් එකම තැනකට රඳවාගෙන වි. 15ක් විතර තියන් ඉන්න මේ යාලුවො දෙන්නට පුලුවන් උනා.වන සත්තු වගේ මිනිස්සු ගෝරි දාගන්නව ඇස් දෙකට දැකල තිබුනට, වන සත්තු දෙන්නෙක් මෙහෙම මුහුනට මුහුන කරන පයිට් එකක් දැකපු පළමු වතාව තමයි මේ. හැබැයි ඉතින් මෙයාලත් නියම ශිල්පීය ක්‍රමේටම වැඩේ දෙනව වගේ තමයි පේන්නේ...  
ගහ මරාගන්න තැන් වල වැඩිය ගැවසෙන්න හොඳ නෑ කියල තියන හන්ද ඔන්න අපි තව ටිකක් ඉස්සරහට සේන්දු උනා... අපේ මාර්ගය වැටිල තියෙන්නේ නකුරු ජලාශය වම් අත පැත්තෙන් පෙනෙන නොපෙනෙන දුරින්... දකුණු අත පැත්තෙන් වනන්තරය තමයි. වනන්තරය කියුවට මේක හරියට සිංහරාජේ වගේ ඝන වනාන්තරයක් නොවෙයි. මේ පින්තූර වලිනුත් ඔයාලට ඒක තේරෙනවනේ... මෙන්න ටිකක් දුර යද්දි වම් අත පැත්තෙන් පේනව ටිකක් දැකල පුරුදු මූනු ටිකක්... අහ්හ් .. බලපුවහම මේ මී හරක් නේ... අර ඉංගිරිසියෙන් කියන්නේ "බෆලෝ" කියල මෙයාලටනේ... 


මෙතන ලස්සන වැඩේ කියන්නේ අපි අනිත් සත්තු දැකපු හැටියම පුදුම වෙලා වගේ බලන් ඉන්න බව අපේ රියදුරු මහත්තයට මේ වෙද්දිත් අවබෝධ වෙලා තිබුනේ... දැන් අර මී හරක් ටික දැක්කට පස්සේ අපි කිසි සද්දයක් නෑ..මෑන්ටත් ෆුල් අවුල්. අපි කුලු- මී හරක් ටික දැකල නෑ කියල හිතපු රියදුරු මහත්තය අපිට උන් ටික පෙන්නන්න මාරම ට්‍රය් එකක් දෙනව... අපිටත් ඉතින් අර නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියුව වගේ මේ මී හරක් රන්චුව දිහා මැජික් බලනව වගේ බලන් හිටියේ නෑ... 
ඒත් එක පාරටම අපි ඔක්කොගෙම ඇස් නතර උනේ කුලු- මී හරක් අතරේ ඉන්න ටිකක් අමුතු විදිහේ යාළුවෙක් ළඟ.. කට්ටියට පුලුවන්ද බලන්න මෙයාව අඳුරගන්න... අනිත් අයට වඩා පොඩ්ඩක් අලු පාටට හුරු හමක් තිබුන නිසාවෙන් මෙයාව ලේසියෙන්ම හඳුනගන්න අපිට පුලුවන් උනා... ඔන්න මී හරක් ගොඩේ ඉන්න එක්කෙනාව අඳුරගන්න බැරි අයට තමයි මේ සමීප රූපය...  


 අපි මෙයා දිහා විශේෂයෙන් බලන් ඉන්න බව තේරුම් ගත්ත "රයිනෝ" යාලුව ආවනේ අපිව හොයාගෙන.. අම්මෝ ළඟට එද්දි තමයි මෙයාගේ ප්‍රමාණය ගැන අවබෝධයක් ඇති උනේ. දෙහිවල සත්තු වත්තෙදි ඉස්සර දැකල තිබුනට මූ ගැන ලොකු මතකයක් තිබුනේ නෑ.මෙයාගේ ප්‍රමාණය තීරණය කරන්න ඔය ළඟ තියන වෑන් එකත් උදව්වට ගන්නකෝ. කොහොම හැරි මෙයාට වාසනාව තිබුනා නඳුන් උයනේ මූන දාගන්න... (එහෙමත් එක්කෙනෙක් ට තමයි ඒ වාසනාව උදා වෙන්නේ.. ) තව දෙයක් ... රයිනෝ කියන සතාගේ විනාශයට හේතු වෙලා තියෙන්නේ උගේ අඟ ලු... අර හැකියාව වැඩි කරන බේත් හදන්න මූව මරල අඟ ගන්නව කියන්නේ... තව ටික කාලෙකින් අපිට මූව දකින්න වෙන්නේ වහලේ තියන ඇස්බැස්ටස් සීට් එකෙ විතරක් වෙයිද දන්නේ නෑ..  


මේ බලන්නකෝ මෙයා... මෙයා කරන්නේ බොරදියේ මාළු බාන එකනේ.. මේ පුංචි වතුර පාරෙත් මාලු පැට්ටෙක් එහෙම ඉන්නවද කියල තමයි මෙයා බලන් ඉන්නේ.. සුදු ඇඳගෙන මාලු බාන කොක් හාමිලට වඩා, මේ කොක් හාමි එක අතකට හොඳයි.. මොකද එයා කළු කොකෙක් බව දකින හැමෝටම තේරෙනවනේ... බලන්නකෝ මුගේ හොටේ පාට ... හරියට පින්සලකින් පාට ගාල වගේ...     

 මේ යාළුවත් අපේ සයන්තන් ගේ කැමරාවේ සටහන් උනේ, ඌ උදේම නාල ඇවිත් අව්ව තපින කොට.. මේ කොයි කොකාගෙත් තියන විශේෂය තමයි මුන්ගේ හොට අති විශාල වීම. තමුන්ගේ තරමට වඩා විශාල කටවල් මිනිස්සුන්ට ලැබිල නැති එක ගැන නම් හරිම සන්තෝසයි.. :)  
 
 
ඔන්න අපි තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට මුන ගැසුන ලස්සනම ලස්සන කුරුලු රංචුවක්. රංචුවක් කියුවට මෙතන වැඩිය හිටියේ නෑ. ඒත් මුන්ගෙ මොකක්දෝ අමුතු අහිංසක ගතියක් සැඟවිලා තියනව කියල අපිට හිතුනා.. මෙයාල අර කොක් හාමිල වගේ වේගයෙන් ඉගිල්ලෙන්නෙ එහෙම නෑ.. හෙමින් සැරේ ඇවිදගෙන ඉස්සරහට යනව... පින්තූරෙට ගන්න උනත් ඉතින් ලොකු අමාරුවක් උනේ නෑ.. [අනිත් අය ඉතින් කැමරාව අටව ගන්නකොට ඉගිල්ලිලා ඉවරයි නේ... ]


කොහොමද මෙයා.. ස්වභාවධර්මය මේ තරම් ලස්සන නිර්මාණ කරල තියනවද කියලත් හිතෙනව... මෙයා කුකුළ් පවුලට අයත් පක්ෂියෙක් කියල තේරුනේ මෙයාගේ කරමළේ නිසා තමයි. බළන්නකො මෙයාට ලොකු ආඩම්බරයක් එක් කරළ තියන ඔටුන්න...ඒ වගේම මුගේ ශරීරය පුරාවටම තියන පාට ගණන..කළු පාට, සුදු පාට, තැඹිලි පාට, කහ පාට, ක්‍රීම් පාට, දුඹුරු පාට.... හප්පේ... පාට කීයක නම් සංයෝගයක් ද?


මෙයාව නම් කට්ටිය අඳුරනව නේද? මේත් බැබුන් පවුලේ යාලුවෙක්... මූගේ කටත් පොඩ්ඩක් කොකෙක් වගේ ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ.. ඒ කියන්නේ හොම්බ ටිකක් ඉස්සරහට ඇවිල්ල ... ඒ වගේම පුන්චි ඇස් දෙකේ තියන තියුණු බැල්ම.. !!! මූ නිකන් අපි දිහා බලන් හිටියේ හරියට නෑදෑවරිගය දිහා බලනව වගේනේ...

මෙච්චර වෙලා අපි කොච්චර නොදැකපු සත්තු දැක්කත් අපේ සිතේ පොඩි දුකක් තිබුණා.. අපි විශේෂ පුද්ගලයෙක් මුළු කැළය පුරාවටම හෙව්ව... එයාව දකින කන් අපේ ඇස් වලට නිවනක් නොලැබෙන වගත්, අපේ හිත් වලට සැනසීමක් නැති වගත් අපිට හොඳටම අවබෝධ වෙලා තිබුනේ... අපි හෙව්වේ වෙන කාවවත් නෙවෙයි. කැළේ රජාව.. රජා උනත් කූඩු වෙලා ඉන්න රජෙක් නෙවෙයි අපි හෙව්වෙ.. සැබැවින්ම කැලේ නිදහස අත් විඳින කැලේට ඇත්තටම රජෙක් වගේ හයි - කම් පාන ඇත්තම රජෙක්... මෙන්න අපි ඉස්සරහට යද්දි රජා ඉන්නව... අපි යන පාරේ ඉඳන් මීටර් 2-3ක් වගේ ළඟට ඇවිත්... මෙන්න අපි දැකපු කැලේ රජා...     


බලන්නකෝ මෙයා රජා වගේ ඉන්න හැටි.. තේජාන්විත පෙනුම.. !!! [හැබැයි ඉතින් මූන පුරාම මැස්සො වහල හිටියේ ...] මෙයා අපිට දිවත් දික් කළා නෙව.. !!! අපි මෙයාව දකිද්දි මෙයා හිටියේ තණකොළ ගොල්ලේ හොඳ නින්දක් දාගෙන.. අපිව දැකලද නැත්නම් වෙන හේතුවකටද මන්ද ඔය විදිහට අපි දිහා බලන්න පටන් ගත්ත..මෙයා ඉන්නේ අපිට ගොඩක් ළඟින්ම හන්ද අපි අපේ රියදුරු මහත්තයටත් කියුව, කෝකටත් වාහනේ ස්ටාර්ට් එකේම තියා ගන්න කියල. කියන්න බෑනේ කොයි වෙලාවේ මෙයාට සිංහ[ල] මස් කන්න හිතෙයිද කියල..  
ඉතින් අපි ඔහොම ටික වෙලාවක් බලා ඉන්නකොට අපිට තේරෙනව, මේ සිංහයාට කකුල් 6 ක් විතර තියන බවක්.. අපිත් තව ටිකක් හොඳට බැලුව.. දෙන දෙය්යො ගෙදරටම ගෙනත් දෙනව කියන්නේ මේකනේ... මෙතන එකෙක් විතරක් නෙවේ.. ඔය උඩින් ඉන්න තරුණ සිංහයගේ "සිංහ කෑල්ලත් " මෙතනම දොයි. 


අපි දිහා ටිකක් ආඩම්බරයෙන් බලන් හිටපු මේ සිංහයා තව මොහොතකින් හිටපු විදිහ තමයි මේ... බලන්න රජා උනත් තමුන්ගේ ප්‍රියාවියට දක්වන ආදරය... ආදරයට සීම මායිම් නෑ.. සත්තු මිනිස්සු කියල නෑ.. හරිම සංවේදී දර්ශනයක්...තමුන්ගේ ආදරවන්තියට මොන තරම් රැකවරණයක් දෙනව ඇතිද? මේ වගේ සිංහ ආදරේ ලබන "සිංහ කෑල්ල" ත් ගොඩක් වාසනාවන්තයි  කියල මට හිතුන.


විනාඩි 10 කින් විතර මේ ආදරේ කූටප්‍රාප්තියට ලන් උනා... මෙන්න සිංහ දේනුව උඩු බෙලි අතට වැතිරිලා.. හෙමින් සැරේ තම ආදර වන්තිය ළඟට කිට්ටු වෙච්ච සිංහයා ආදරෙන් සිය ආදර වන්තියව ලෙව කන්න පටන් ගත්ත... ටික වෙලාවකින් දෙන්නගෙම මූනු දෙක එක ළඟ...මුවට මුව තියල දෙන්නම සිප ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ... [ඔන්න ඉතින් ඉතුරු ටික කොටු කොටු.... ] 

මේ ආදර රැඟුම් කොච්චර වෙලා තිබුනද කියන්නවත් අපිට මතක නෑ.. මොකද අපේ සිහිය තිබ්බේ මෙයාල ගැනම විතරයි. ඔන්න ටික වෙලාවකට පස්සේ අපේ තරුණ සිංහය හෙමින් සැරේ කැලේ පැත්තට ටික දුරක් ඇවිදගෙන ගියා මෙන්න මේ විදිහට..  


ඊට පස්සේ ආයෙත් අපිට වැඩිය නොපෙනෙන විදිහට තණකොළ ගොල්ලේ නිදාගත්ත.. ඔන්න ඔහොමයි අපි සිංහයො බැලුවේ.. හැබැයි මේ අත් දැකීමත් කවදාවත්ම අමතක වෙන එකක් නම් නෑ..


ඔය උඩින් තියන ඡායාරූපය ගත්තේ මේ කැලේම තියන පොඩි කඳු ගැටයක් උඩ ඉඳල. මෙතනට පේනව අපි දවසම ගත කරපු නකුරු ජාතික වනෝද්‍යානයම.. නකුරු ජලාෂයත් ඔයාලට පේනව ඇතිනේ...  අපි ගිය මාර්ගය නම් පැහැදිලිවම පේනව.. මෙතන තමයි ඉතින් අපේ අවසාන දැක්ම.. ඊට පස්සේ අපි යලිත් ප්‍රධාන දොරටුව දෙසට ගියේ අපේ ගමනාන්තයත් සනිටුහන් කරමින්.. 
අහ්හ් ඔය අතරේ දැන් වෙලාවත් 3 පහු වෙලා. උදේට කන්න කියල තෙල් දාල හදාගෙන ආපු කඩල එක මතක් උනේ ඒ වෙලාවෙදි. සත්තු දැකපු හන්ද අපිට බඩ ගින්නක් ආවෙම නෑනේ.. ඔන්න ඉතින් එන අතර මගදි 'පික්-නික්' පිටියක් ළඟට ඇවිල්ල අපි කඩලත් කාල එන්න පිටත් උනා..කොහොම හරි ආපසු ප්‍රධාන දොරටුවෙන් පිට වෙනකොට වෙලාව 4 ට විතර ඇති... 
සර්ව සම්පූර්ණ වන චාරිකාවක් අවසන් උනේ ඔන්න ඔය විදිහටයි.. 
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව... 
ඔන්න අපි ආපහු එද්දි අපිට වෙච්ච දේ... මෙහේ තියනව බඩ ඉරිඟු ග්‍රිල් කරල බැදපු කරල් පාරේ විකුනන්න. අර අනුරාධපුරේ යද්දි අපේ රටෙත් තියෙන්නේ තම්බල විකුනන්න.. අන්න ඒ වගේ. ඔන්න අපි කට්ටියටත් ඕනේ උනා ඕකක රස බලන්න.. අපි ඔන්න නැවැත්තුව වාහනේ එහෙම විකුණන තැනක.. වෙච්ච දේ ඔයාලම බලාගන්නකෝ.. 


හරියටම වෙළෙන්දො 9ක් ඇවිල්ල අපිට එල්ල කලේ නැතෑ.. බඩ ඉරිඟු රොකට් ප්‍රහාරයක්.. වීදුරුව ඇරල තිබ්බ ඉස්සරහ හිටපු අයට වෙච්ච දේ හිතා ගන්න පුලුවන් නේද

අදත් මගේ බ්ලොග් සටහනට ඡායාරූප අනුග්‍රහය අපේ ගමන් සගයින් වුනු සයන්තන් සහ හර්ෂගෙන්.

නකුරු චාරිකාව ඉවර උනාට කෙන්යාවේ විස්තර ඉවර නෑ.. වසර දහස් ගනනකට ඈතදී ඇතිවූ ගිනි කන්දක් බලන්න ගොස් - ඇත්තටම ගෙන්දගම් පොලොවේ පය ගැසූ විස්තරයත් ළඟදීම බලාපොරොත්තු වෙන්න ...        
  

17 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

සංකල්ප said...

ලස්සන ෆොටෝ ටික. අර විදිහට රයිනෝසිරස් කෙනෙක් දකින්න තියෙනවනම් මරු නේ.

Test Profile said...

සත්තු අයියලට බය වුනේ නැද්ද? ලස්සන ගමනක්....!

පන්සල් හංදිය said...

රයි‍නෝ නම් මරු ......
මේ පෝස්ට් එක සිංහයා දැක්කොත් විලි ලැජ්ජාවෙ පණ යයි ....

නදී said...

අර කොන්ඩෙ මලක් ගහගන ඉන්න කෙනා නම් ගොඩක් ලස්සනයි.අම්බෝ රයිනෝගෙ සයිස් එක.

සිංහ කපල් එක නම් ගොඩක් ෆ්‍රී එකේ ඉන්නව වගේ බලන්නකො නේද?

ඔව් තමයි බඩ ඉරිගු දලුවා කඩපු ගමන් පුච්චලා ලුනු දාල රහායි,පොල්කෑල්ලක් එක්ක කෑවනම් මරු.

ගලයා said...

ඔක්කොමත් හරි සේයාරූ ටිකත් හරි බොහෝම ලස්සනයි.......මම එක පාරක් ඒ ටික විතරක් බලාගෙන ගියා...බඩ ඉරිඟු ටික නම් පංකාදු පහට තියෙන්න ඇති..අපෙ ගමෙත් බඩ ඉරිඟු කඩන කාලෙට අපිත් ඔය එක එක සෙප්පඩ විජ්ජා දාලා ඉරිඟු කනවා....මොන තරම් පිං කරන්න ඔනේද මෙ වගෙ සත්තු ටිකක් ඇස් පනාපිට දකින්න....ෂිහ් මටත් ඔය පින තිබ්බනම්..මේක ගැන මම ලියන්න ගත්තොත් ලිපියක්ම ලියන්න වෙනවා..
ඒක නිසා ඔන්න නැවතුනා...
අපූරු ලිපිය...විශේෂයෙන් සේයාරූ ටික,.....

දුකා said...

නියමයි අප්පා . . .මැක්සා

Anonymous said...

අන්තිම පින්තුරේ තමයි මට නම් හොදම එක.
හී හී .... :-)

Chandi said...

අර සිංහ ධේනුව ගෙ වාසනාවන්තකම ගැන කියපු කතාව නම් මරු. ඔයාට තාම එහෙම වාසනාවන්තියක් නැතිද? කියල ඇහුවට කමක් නැහැ නේද මල්ලි. අප්‍රිකාවට සුවිශේෂ කුරුල්ලො කීප දෙනෙක් ගෙ ලස්සන පින්තූර ටිකක් දැක්ක මෙතන. ඒ වගේම රයිනෝ සිරස් දැන් බොහෝ අප්‍රිකානු වනෝද්‍යාන වලින් වඳවෙලා යනව මිනිසුන් ගේ කෑදරකම් නිසාම. රයිනෝ ගෙ අඟ ගන්න තමයි උන්ව ඝාතනය කරන්නෙ. අලින් ගෙ දළ වගේ තුන් හතර ගුනයක් මේ අඟ වල් වටිනවා. මේවා භාවිතා කරල තිරිහන් වෙන්න බෙහෙතක් විච් ඩොක්ටස්ලා (witch doctor) හදනවා කියල සැම්බියන් අය කියනවා. අර අන්තිම පින්තූරෙ තියෙන බඩ ඉරිඟු කරල් අප්‍රිකානු ගම්බඳ පාරවල් වල සුලබ දර්ශණයක්. තව කාලෙක එහේ තියෙනවා බෝල හතු වගයක් ඒවත් මේවගේ විකුනනවා. කෙනයාවේ කිලමන්ජාරො කන්ද බලන්න යන්න. ඒක මුලින්ම අහසේසිට නැරඹුවේ මම අවුරුදු 13 දී. ඒ කියන්නෙ 1975 දී. තාම ඒ සොඳුරු දසුන මට හොඳට මතකයි. හරියට ආසාවෙන් කියවනවා මේ ලිපිපෙල. ගොඩාක් ස්තූතියි මල්ලි ඔයාට, ඔයාගෙ වටිනා කාලය යොදාගෙන මේ වගේ දැනුවත් කිරීම් කරනවාට.

නදුන් උයන said...

මධුරංග : ස්තූතියි... රයිනෝ කෙනෙක් මෙච්චර ලඟට මමත් දැක්කේ එදා තමයි...

නදුන් උයන said...

@Prasanna:
සත්තු මොකට අපිට බය වෙනවද? කැලේ කියන්නේ උන්ගේ රාජ්‍යනේ...

නදුන් උයන said...

@පන්සල් හංදිය:
සිංහයාට එලිපිට ලව් කරන්න හොඳ නම් අපි ලියුවහම මොකෝ....

නදුන් උයන said...

@නදී :
මමත් කුරුලු පින්තූර වලින් ආසම ඡායාරූපය තමයි ඒ..
මම නම් ලංකාවෙදි බඩ ඉරිඟු තම්බල මිසක් පුච්චල කාල නෑ නදී. ඔය පැත්තේ ආවොත් හදල දෙනවද? ...

නදුන් උයන said...

@ගලයා :
පින්තූර නම් ගත්තේ අපේ ගමන් සගයින් වන, සයන්තන් සහ හර්ෂ. මම කැමරාව අරන් ගියේ නැත්තේ ඇස් දෙකෙන්ම සත්තු දකින්න ආසාවට.. !!!
මටත් හිතුනා ගොඩක් පින් කරල තියෙනව කියල.. ඒත් ඉතින් මේ කෙන්යාවේ සුන්දර සටහන් විතරයිනේ..
ස්තූතියි දිරිගැන්වීමට....

නදුන් උයන said...

@දුකා:
ස්තූතියි සටහනට , - සහ දිරි ගැන්වීමට...

නදුන් උයන said...

@ඇනො:
ඔව්, ඒ වගේ අත් දැකීමකුත් ලබපු පලවෙනි පාර තමයි ඒ.. ගමන සර්ව සම්පූර්ණ කරන්න ඒ සිද්දියත් ගොඩක් උදව් උනා...

නදුන් උයන said...

@චාන්දි:
කෙන්යාව ගැන ලියන හැම විස්තරේටම අක්කගේ සටහනක් ලැබෙන එක මට ගොඩාක් සතුටක්... ඒ වගේම ලොකු හය්යක්... ලබාදීල තියන විස්තරත් ගොඩක් වටිනවා.. ස්තූතියි ඒ වෙනුවෙන්.;
"බෝල හතු" නම් කාල නෑ.. තව ඉස්සරහට තව විස්තර ගොඩක් ගේන්න තමයි අදහස...

අර මුලින්ම අහල තියන ප්‍රශ්නෙට නම් හරිම උත්තරයක් දෙන්නේ කොහොමද? මාස ගානකින් ලන් වෙලා කතා කරන්නවත් බැරි වෙනව නම්, එයත් මමත් සිංහ ජෝඩුව වගේ වාසනාවන්තයෝ නෙමෙයි නේද අක්කේ..

kavikaari said...

අදයි ආවෙ මේ පැත්තෙ කොහොම අතෑරුනද මංදා මේක. මම ආසම ඝනයෙ බ්ලොග් එකක්. සංචාර ගැන මම උනන්දුයි. අප්‍රිකාව බලන්ටත් ආසයි. ලස්සන පිංතූර ටික

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...