අදනම් අප්‍රිකානු
ජීවිතේ ගැන ලියන එක පැත්තකින් තියල කට්ටියටම ලියන්න යන්නේ දුක් බර කතාවක්...
මම
සරසවියෙ හිටපු කාලේ බෝඩිමක හිටපු වග මම ඉස්සර සටහන් වල ලියල තිබුනනේ... ඔන්න මම
පලවෙනි වසරේ මුල් කාලයේ ගෙදර ඉඳන්ම බොරැල්ලේ තිබ්බ අපේ ෆැකල්ටියට ආවට මට එක
සෙමිස්ටර් එකකින්ම ඒ ජීවිතේ එපා උනා... ඔන්න ඉතින් මමත් බෝඩිමක් හෙව්වේ මේ අතරේ
තමයි. අපේ මුලු කොල්ලො කට්ටියම ඒ වෙද්දි හිටියේ බෝඩිම් දෙකක... ඒකෙන් එකක්
"මහ බෝඩිම" කියල තමයි කට්ටියම නම් තියල තිබුනේ. ඔන්න ඉතින් මමත් සෙට්
උනා මහ බෝඩිමට.... මහ බෝඩිමේ කට්ටිය 9 දෙනයි. ඉස් ඉස්සෙල්ලාම මේ බෝඩිම හොයා ගත්තේ අපේ නයන. ඒ
කියන්නේ මම මේ කියන්න යන කතාවේ කතා නායකයා. නයන ඉතින් හා හා පුරා කියල හොයා ගත්ත
බෝඩිමට තමයි අපි කට්ටියම සෙට් උනේ. එකම බැජ් එකේ කොල්ලෝ 9ක් ඉන්න බෝඩිමක වෙන දේවල් ගැන ඉතින් කාටවත්
අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ.. සමහර දාට බැජ් එකේ අනික් උනුත් එන්නේ මහ බෝඩිමට.
අපි කුප්පි දැම්මේත් බෝඩිමේ.. (මොකෝ අපේ ෆැකල්ටියේ ඒ වගේ දේකටවත් ඉඩක් තිබ්බේ
නෑ...) කට්ටිය ප්‍රොජෙක්ට් කරන්න ආවෙත් බෝඩිමට... ඔන්න ඔය විදිහට අපි හැමෝම එකම
පවුලක් කලේ අපේ නයන මුලින්ම හොයා ගත්ත බෝඩිම තමයි... ඔන්න බොරැල්ලෙන් මොරටුවට ආවට
පස්සේත් කට්ටියම එකම බෝඩිමේ.. ඒ කියන්නේ මහ බෝඩිමේ සෙට් එක එකටමයි හිටියේ...
ඔය සෙට් එක
අතරින් නයන කියන්නේ අමුතුම චරිතයක්.... කැම්පස් එන්නත් කලින් නෙට්වර්ක් එකක් සෙට්
කරන හැටි දැනන් හිටපු එකම එකා... නයන සමහර විෂය කරුනු ගැන වැඩිය තකන්නේ නෑ.. විභාග
රිපීට් උනත් ගානක් නෑ.. ඒත් නයන හැම දේම කිසියම්ම වූ ආකාරයකින් ඉගෙනගත්තා. අපි
හැමෝටම කුප්පි දාල එක රැයින් විභාග ගොඩ දාල දුන්න කොල්ලෙක්. ඔහුගේ හැකියාවන්
පුදුමාකාරයි... උපාධිය අරන් නයන රැකියාවට ගොස් ඔහුගේ දස්කම් මනාව පෙන්නුම් කලා...
ඔහු ඉතා කෙටි කාලයකින් රැකියා ස්ථානයේ තරුවක් උනා.. ඔහුගේ දැනුම, බුද්ධිය අපේ රටේ
සංවර්ධනය වෙනුවෙන් යොදවන්න පටන් ගත්තා විතරයි....
මීට අවුරුදු
දෙකකට ඉස්සෙල්ල, සැප්තැම්බර්
මාසේ 14 වෙනිදා උදේ
පාන්දර අපේ මහ බෝඩිමේ සගයෙක් මහ කාලකණ්නි ආරංචියක් අපිට කියුව.. "අපේ නයන
ඇක්සිඩන්ට් වෙලාලු.. තත්වේ බරපතලයි ලු..." ඊට පස්සේ අපි හැමෝම එකතු උනේ රෝහලේ
දැඩි සත්කාර ඒකකය ලගට... අපිට නයනගේ මූනවත් දකින්න ලැබුනේ නෑ... ඒ වෙද්දිත් ශල්‍ය
කර්ම කීපයකටම ලක් කරල හිටපු අපේ මිත්‍රයා... යන්ත්‍රයක ආධාරයෙන් තමයි ජීවත් උනේ...
අපේ නයන වෙනුවෙන් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ... මොහොතකින් හැමෝම
තීරණය කලා බෝධි පූජාවක් තියමු කියල... කට්ටියම ගංගාරාමයට එක්වුනේ නයනට ඉක්මන් සුවය
පතන්න.... අපි දවස් කීපයක් ම මේ විදිහට බෝධි පූජ තිබ්බේ නයනට ඉක්මන් සුවය පතල....
ඒත් අපේ පින් වලින් නයනට යලිත් ජීවය දෙන්න ලැබුනේ නෑ.... හරියටම දවස් 7කින් නයන අපෙන් සදහටම
සමු ගත්තා...
අනුරාධපුරයේ
ඉඳල කොළඹ ඇවිත් අපි එක්ක මහ බෝබිමේ එකට හිටපු - එක බැජ් එකේ එකට කුප්පි දාපු - එක
බත් පත බෙදාගෙන කාපු - සමහර වෙලාවට එකට බැනගත්තු අපේ නයන නොයෙන්නම අපිව අතහැරල
ගිහින් තිබ්බේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා...ඒ කියන්නේ මේ සැප්තැම්බරයට - නයන නැතුව අවුරුදු
2ක්.
නයන ගෙනාපු
ආයුෂ ඉවරවෙලා නයන අපිව අතහැරල ගියත් අපිට ලොකු පාඩම් ගනනාවක් කියල දීලයි නයන යන්න
ගියේ... ඔහුගේ වැඩ කිරීමේ ක්‍රමය අපි හැමෝටම ආදර්ශයක් උනා... විභාග ඉලක්ක නොකර වැඩ
කරපු ඔහු දැනුම ඉලක්ක කරගෙන වැඩ කලා. එනිසාවෙන්ම ඔහු රැකියාවෙන් කෙටි කාලයකදි ලබපු
පැසසුම් බොහොමයි... !!! සෑම සති අන්තයකම ආදරණීය දෙමාපියන් බලන්නට ඔහු අනුරාධපුරයට
ගියා... ඔහු දෙමාපියන් සමග ජීවත් වන්න ආස
කලා... ඔහු සොයාගත්ත බෝඩිමට අපි හැමෝටම ආරාධනා කරල, අපි අතරේ අති විශාල
බැම්මක් ඇති කරන්නට අඩි තාලම දැම්මෙත් ආදරණීය නයන.... ඒත්.... නයනට වැරදුනු පුංචි
දෙයක් තිබුන... නයන ජීවිතයට, පරිඝනකයට වගේම
මධුවිතටත් ආදරය කලා... අපි කවුරුත් බලා පොරොත්තු නොවුනු විදිහට, පිපී ආ සුවඳ පුෂ්පය
ලෝකයට සුවඳ විහිදන්නට මත්තෙන් මුකුලිත වෙන්න ඔහුගේ මේ පුංචි වැරදීම හේතුවක්
උනා....
නයන ගැන තව
ගොඩක් දේවල් ලියන්න පුලුවන් උනත් කෙටියෙන් නයන ගැන මතකය අවදි කලේ බ්ලොග් කියවන අපි
හැමෝටම නයනගේ ජීවිතෙන් ගන්න පුලුවන් පාඩම් ගැනත් කියන්න එක්කම,.... අපේ ආදරණීය මිතුරා....
මහ බෝඩිමේ ආරම්භකයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් එක්කයි..... ඒත් මගේ නම්
පැතුම.... නිවන් දකින්නට පෙර එක ආත්මයකදී හරි අපිත් එක්කම ඉපදිලා අපේම මිතුරෙක්
වෙන්න කියලයි...... !!!
නුඹේ අඩුව
හැමදාමත් අපිට දැනෙනව.... මචන්....!!!




21 දෙනෙක් ප්‍රතිචාර දක්වල:
අයියා IT ෆැකල්ටිද?
@හරී :අහ් ඔව් මල්ලී... මල්ලිත් එහෙද?
photo eka dakkama thama mathak une...dukai machan
ඔයා නයනගෙ බැච්මේට් කෙනෙක්ද?එයාගෙ ගෙවල් අපේ ගෙදර ලග.අපිත් එක්ක එකට ක්ලාස් ගියෙ.ඉස්කෝලෙත් අපේ පන්තියේ හිටියෙ.එයා ගොඩක් හොද කෙනෙක්.හැබැයි ගොඩක් නිශ්ශබ්දයි ඉස්කෝලේ කාලේ නම්.කෙල්ලො එක්කත් කතා කරනව ගොඩක්ම අඩුයි.ඒ කාලේ ඔයිට වඩා කෙට්ටුයි,කලු උනාට හිනාවත් එක්ක මුනේ ඩිම්පල්ස් එනව,මම් හරිම ආසයි ඒ හිනාවට.6 වසරේ ඉදලා අපිත් එක්ක එකටම පන්තිවල හිටපු යාලුවෙක්.දවසක් යාලුවෙක් කෝල් කරල කිව්ව නයන නැතිවෙලා කියල,මට අදහාගන්න බැරිඋනා.ඒ දවස්වල මම කැම්පස්,දවසක් දෙකක් මට කෝල් කරත් එක්ක,අන්තිමට මම් විහිලුවක් කරලා මාත් එක්ක තරහ වෙලා හිටියේ ,ආය යාලුවෙන්න බැරි උනා :(.ඊට ටික දවසකට පස්සෙ තමා මේ ආරංචියා ආවෙ.ඒත් එක්කම මට මතක් උනේ පොඩි කාලේ අපි ඉස්කෝලේ හිටිය හැටි...අකල් මරණයක්!
සොයුරාණනි ඔබට නිවන් සුව!
තරුණ වටිනා ජීවිතයක් අකාලේ නැතිඋනේ මත්පැන් නිසා.කවුරු කවුරුත් මේ සිද්ධිය ආදර්ශෙට ගන්නව නම් හොදයි.
දුක හිතෙන කතාවක්. නයන කියන්නේ මාර දක්ෂ කෙනෙක් නේ. පවු අකාලයේ තරුණ ජීවිතයක් නැති උනා.
නයනට නිවන් සුව පතන්නෙමු !!!
කොච්චර හොඳ මිනිහෙක් උනත් මධුවිත බිලිගන්නව...ඒ වැරදීම කවදාවත් කරන්න එපා යාලුවනේ!!
මගෙත් යාළුවෙක් නැති උනා ඔය වගේ පාටි එකකට ගිහින් බීලා එනගමන් බයි එක පාරෙන් පිටට පැනලා ඇක්සිඩන්ට් වෙලා එයා එතනම මැරුණා :( එතකොට අපේ උසස් පෙලට හරියටම මාස3යි :(
මට මේ අයියව මතකයි වජිර අයියෙ. අපේ සුපර් සීනියර් කෙනෙක් විදිහට මිසක් මේ තරම් දේවල් මම දැනගෙන හිටියෙ නෑ. මේ මරණය නම් අපි හැමෝවම දුක් කරා. ජීවිතයක් නැති වෙන්න අපි අතින් වෙන සුළු අතපසුවීමක්ම ඇති. ඔහුට නිවන් සුව ලැබේවා.
සමහර හොඳ මිනිස්සුන්ට ඉක්මනට ලෝකෙන් යන්න් වෙනවා ඒක හරියට නරක ලෝකෙට හොඳ මිනිස්සු ඕන නැති නිසා වගේ කියලත් වෙලාවකට හිතෙනවා . . .
මධුවිත නම් ඕනවට වඩා ඕනෑම නෑ කියලා හැමෝම දැන ගන්න ඕන . .
නයන හොඳ තැනක ඉපදිලා ඇති කියලා හිතමු . . .
දුක හිතෙනවා...:( :( පවු.
කොහොම වුනත් ඒ අයියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!
@ නදුන් උයන : ඔව්..මමත් එහෙ තමයි....B7
@ පිණිබිඳු... : ඔයත් IT ද?
@ හරී - ඔව්. මාත් IT තමා. නදුන් උයන අයියගෙ සුපර් ජූනියර්. ඔයා B7 ද. හික්ස්. එහෙනම් අපි දන්නව ඇති.
@ පිණිබිඳු...: මගේ සර්ලොක් හෝම්ස් බුද්ධිය පාවිච්චි කරලා මම හොයාගත්තා කවුද කියලා....අයියෝ නිතර දකින එක්කෙනෙක්නෙ මෙච්චර කල් දැනගෙන නොහිටියට.......
ඒ අයියා දැන් හොද තැනක ඉපදිලා ඇති.
කොහොම වුනත් ඒ අයියාට නිවන් සැප ලැබේවා.
@Anonymous:
සටහනට ස්තූතියි, නම දැම්මනම් මමත් අඳුනගන්නවනේ..
නදී: ඔයාත් අනුරාධපුරේද? අපිට වඩා ගොඩක් කල් නයනව දන්න කෙනෙක් නේ.. ඇත්තටම දුකයි...
@මධුරංග, @ඉන්දික, @ශානු , @දුකා , @හිතුවක්කාරි, @නිසුපා :
නයන වෙනුවෙන් ඔබ තැබූ සටහන් වලට ස්තූතියි.
@පිණිබිඳු...:
ඔයාල එක්ක වැඩිය නයනට සම්බන්ධ වෙන්න බැරි උනේ, ගෞරව උපාධිය නොකරම ඔහු රැකියාවක් සොයා ගත්ත නිසාවෙන්..
අපේ ෆැකල්ටියේ ඉගෙනගත්ත සොයුරන්ගෙන් ජීවිතයෙන් සමු ගත්ත පලවෙනියා මොහු. ඉතින් මේ දුක අපි හැමෝටම දැනෙන එක අහම්බයක් නොවෙයි, නේද නංගි?
@හරී:
අපිට නෑනේ සර්ලොක් හෝම්ස් බුද්ධිය. ඔයාගේ විස්තර කියුවනම් අඳුරගන්න තිබ්බා...
Post a Comment
මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...