Pages

Saturday, July 25, 2009

ලෝකයේ අලෙවි විය යුත්තේ ශ්‍රමය පමණක් මද?

පසුගිය දවස් වල අහපු දැකපු කියවපු දේවල් එක්ක මට හිතුන පොඩි සංවාදාත්මක ලිපියක් ලියන්න.
මාතෘකාව කියවපු හන්ද ඔබට තේරෙනව ඇතිනෙ මම මොකක් ගැනද කියන්න යන්නෙ කියල.

ඇත්තම කියනව නම් අපිට සල්ලි හම්බ කරන්නෙ නැතිව ජීවත් වෙන්න බෑනෙ. (ඉස්සර බුදු හාමුදුරුවොත් ධාර්මික කර්මාන්ත ගැන කියල තියනවනෙ.) එදිනෙදා ජීවිතය සදහා තවදුරටත් ආහාර පමණක්ම ප්‍රමාණවත් මදි කියන එක අපි හැමෝම දන්නවා. ඒ කියන්නෙ ගොවි තැන පමණක් මේ ලෝකයේ එකම ජීවන කර්මාන්තය නොවෙයි. අද වෙද්දි විවිධ වෘත්තීන් බිහි වෙලා. නිශ්පාදන අංශයේ වගේම සේවා සැපයීමේ අංශයේත් විවිධ රැකියා බිහි වෙලා.

මේ අතරින් කලා කරුවාත් අද වෘත්තිකයෙක් වෙලා. ඒ කියන්නෙ වෘත්තීය කලා කරුවන් අද ඕනෙ තරම් ඉන්නවා. කලා කරුවන් කියන කොටස අතරින් විශේෂයෙන්ම ගීත ක්ෂේත්‍රයේ සිටින වෘත්තිකයින්ට අද විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමන්ගේ නිර්මාණ වෙන අය විකුන ගන්නවා. තමුන් විශාල මුදලක් වියදම් කරල කාලය , ශ්‍රමය වැය කරල ලස්සන ගීතයක් සහිතව සී ඩී තැටියක් පිට කලහම ඒක කොපි කරල රුපියල් 50ට පේමන්ට් එකේ වි‍කිනෙනවා.එහිදී වටිනාකම තීරණය වන්නේ සී ඩී තැටියේ නිශ්පාදන වියදමත්,විකුණන පුද්ගලයාගේ ශ්‍රම වටිනාකමත් මත පමණයි. ගුවන් විදුලි නාලිකා වලින්,රූපවාහිනී නාලිකා වලින් ගායකයාට,රචකයාට සත පහක් වත් ගෙවන්නෙ නැතිව ඔවුන් මුදල් උපයා ගන්නවා. මෙහිදී ගායකයාට ටිකක් හරි සාධාරණයක් ඉටු වෙනවා, ඒ ඔහුට සංගීත සංදර්ශන වලදී සජීවීව ගීය ගයල කීයක් හරි උපයා ගන්න පුළුවන් නිසාවෙන්. ඒත් ගීත රචකයාට සහ සංගීත වේදියාට මොකක්ද වෙන්නේ ? ඔහුට කිසිදු ආදායමක් නෑ. ඒ කියන්නෙ ගායකයාගේත් (සජීවීව ගැයුවොත් ඒ සඳහා කැපකරන) ශ්‍රමයට පමණක්මද මුදල් ලැබිය යුත්තේ... ? රචකයාගේ කලාත්මක අදහස් වලට, සංගීත වේදියාගේ නිර්මාණ කාර්යයට මුදල්මය වටිනා කමක් නොලැබෙන කල්හි ඔවුන් ගෙන් අපි තවත් වටිනා‍ නිර්මාණ බලාපොරොත්තු වෙමුද? අලුතින් මෙවැනි නිර්මාණකරුවන් බිහිවනු බලාපොරොත්තු වෙමුද?

චිත්‍රපටි වලට සම්බන්ධ කලා කරුවන්ටත් මේ සංසිද්ධියම තමයි. දැන් බොහෝ දෙනා උත්සාහ කරන්නේ තමන්ගෙ නිර්මාණය වෙළඳපොළේ විකිනෙන්නට ඉඩහරිනවා වෙනුවට, අනුග්‍රාහකයෙක් සොයා ගෙන ඔහුගෙන් ලැබෙන ආධාර මුදල බලා පොරොත්තුවෙන් සිය නිර්මාණය කරන්න. ලොකු ලොකු සමාගම් (සමහරු සිය මූල්‍ය උපායක් ලෙසත්) ඔය වගේ දේකට මුදල් වෙන් කරන්නේ දානයක් දෙනව වගේ හිතල. නමුත් කලාව සිදුවිය යුත්තේ යමෙක් ආධාර කිරීමට ඉදිරිපත් වන්නේ නම් පමණක්ද, නැත්නම් කර්මාන්තයක් ලෙසද කියල අපි හිතා බැලිය යුතුයි.

පොත් කර්මාන්තයටත් මේ සෙතමයි. විශේෂයෙන් විෂය කරුණු ගැන යම් කිසිවෙක් පොතක් ලියන්නෙ වසර ගනනක උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට. ඒත් අද වෙද්දි පොත් කියවන අයත් සූදානම් වෙලා ඉන්නෙ පොතේ කඩදාසි වලට සහ විකුනන මුදලාලිගේ ශ්‍රම වටිනාකම පමණක් ගෙවල පොත මිලදී ගන්න. විශේෂයෙන්ම යම් විෂය කරුණක් පදනම් කරගෙන හොඳ පොතක් ලියවුනහම පොතේ සැබෑ පිටපත් ගනනට වඩා ෆොටෝකොපි පිටපත් ගණනක් භාවිත වෙනවා. මෙතනදි හරි කවුද වැරදි කවුද කියන්න මට තේරෙන්නේ නෑ.

ඊළඟට ඉතින් මෘදුකාංග කර්මාන්තයටත් ඔය කිව්ව සෙතේම තමයි. අවුරුදු ගානක් වැය කරල හදන මෘදුකාංගයක් විනාඩි 2ක් ඇතුලත කොපි කරල විකිනෙන්නේ අර සිංදු සීඩී ‍විකිනෙන ගානටම තමයි.මිල තීරණය කරන සාධක අතර මුල් තැන ගන්නේ සී ඩී එකේ නිශ්පාදන වියදම,විකිණීමේ වියදම සහ ලාභය මිසක් මෘදුකාංගයේ හැකියාවන්, දෝශ ප්‍රතිශතය හෝ සකසන්නට වැය කළ බුද්ධියේ වටිනාකම නොවෙයි. ඕනෙම එකක් 60යි. එතකොට මේ වෘත්තීන් වෙත අළුතින් පිරිස් යොමු වේවිද? ඉන්න අයත් රැඳලා ඉඳීවිද ? මම මෙහෙම කියන්නේ අද මුදල් හම්බකරන්නේ නැතිව ජීවිතය ගෙවන්න බැරි නිසාවෙන්.

මෘදුකාංග ගැන කතා කරද්දී විවෘත සහ නිදහස් මෘදුකාංග යනුවෙන් තවත් සංකල්පයක් තිබෙනවා. එහිදී භාවිත කරන්නා වෙත මෘදුකාංගය සැපයෙන්නේ නොමිලේ. නමුත් බොහෝ වෙලාවට එම නිෂ්පාදනයන් වෙනුවෙන් අනුග්‍රාහකයින් සිටිනවා.(100% සමාන නැතත් අනුග්‍රාහකයෙක් යටතේ චිත්‍රපටි හදනව වගේ තමා මේකත්. අනුග්‍රාහකයෙක් ලැබුනෙ නැතොත් වැඩේ නවතිනවා.) ඒ කියන්නේ පින් තකා වැඩ කරන අය ඉන්නතුරු මේ කර්මාන්තයටත් හොඳයි. මෙම විවෘත සහ නිදහස් මෘදුකාංග නිශ්පාදකයින් බොහෝ දුරට මුදල් උපයන ක්‍රමයක් තමා සිය "සේවය"(support) ලබා දීමෙන්.මෙතනත් ඉතින් සේවය ලබා දෙන අයගේ බුද්ධියට හා ශ්‍රමයට පමණයි මිල කෙරෙන්නේ. (හරියට ගීයක රචකයාව අමතක කරනව වගේ) මුල් නිෂ්පාදනයේ දී කැප වූවන් වෙනුවෙන් මිලක් නියම විය යුතු නැතිද ?

මේ ලිපිය පුරාවට මම කතා කරන්නට උත්සාහ කළේ මේ ආකාරයේ සමාජ පුරුදු ඉහත කී කර්මාන්ත වෙතට කුමන ආකාරයෙන් බලපෑමක් කරයිද යන්න පිළිබඳවයි. නමුත් "මුදල් ඉපයීම" අප සෑම විටම මුල් තැනෙහි තබා ගත යුතුයැයි මම අදහස් නොකරමි. මෙවැනි තත්වයන් ඇති වීමට හේතුව ලෙස ඔබ දකින්නේ මොනවාද? මෙවැනි තත්වයක සුබදායී හෝ අසුභදායී ප්‍රතිඵල විය හැක්කේ මොනවාද?

සංවාදයට විවෘතයි. !!!

1 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

NUWAN"s lane said...

හොද ලිපියක් වජිර මහත්මයා.ස්තුතියි ඔබට

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...