Pages

Thursday, July 23, 2009

දැන් ඉතින් ශුද්ධ සිංහලෙන්ම ලියන්න .... තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව ගැනයි මේ....

අපි සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරන් දැන් කොච්චර කල්ද? ඇත්තම කියනව නම් අපිට තාමත් බෑනෙ ඉංග්‍රීසි වචන 2 - 3 ක් දාන්නෙ නැතිව බ්ලොග් එක ලියන්න. හුඟක් වෙලාවට මේකට හේතුව වෙන්නේ අපි භාවිත කරන වචන (විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී) බොහොමයකට නිවැරදි සිංහල වචන මොනවාද කියා අපි දන්නේ නැති කම. නැතහොත් අපි දන්න වචනෙ අනිත් අය දනීද දන්නෙ නෑ කියන සැකය. ඔය අනම් මනම් හේතු කොච්චර තිබ්බත් අපි තනිකර සිංහලෙන්ම බ්ලොග් සටහනක් ලියන්න උත්සාහ කරල නෑනෙ.

අපි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී සිංහලෙන් ලියන ලිපියක පහත ආකාරයේ කොටසක් දැක්කොත් අපිට මහ පුදුමයක් නොවෙයිනෙ.
"එම software එක දැන් ඔබේ Computer 1 ට install කරගන්න.ඉන් පසු ඔබේ Computer 1 restart කරන්න. දැන් ඔබේ user account එකෙන් log වෙන්න."

නමුත් මේ වගේ වාක්‍යයක් ඔබ ඉංග්‍රීසි බසින් කවදාවත් ලියනවාද?
"I wanted to go to කඩය in the morning. But I didn't have ඇතිවෙන්න සල්ලි to buy that පොත. Any way my parents පොරොන්දු වුණා to buy that පොත"

අපි කෙසේ වත් එවැනි වාක්‍යයක් ලියන්නේ නෑනේ. "කඩය, ඇතිවෙන්න සල්ලි,පොත,පොරොන්දු වුණා" කියන වචන වලට ඉංග්‍රීසි වචන දන්නෙ නැහැයි කියලා අපි ඒ විදිහට ලියන්නෙ නෑනෙ. හරි විදිහට ඉංග්‍රීසියෙන්ම ලියන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් මෙහි මුලින් ඇති අපි සිංහල වාක්‍යය ගැන මීට වඩා සැලකිල්ලෙන් ලියන්න ඕනෙ කියලයි මට හිතෙන්නේ.

හරි.. දැන් මට ශුද්ධ සිංහලෙන්ම ලියන්න ඕනෙ කියමුකෝ. දැන් මම සිංහලෙන් කියන වචනය දන්න නැති වචන ටික තෝර ගනිමු. " software ,Computer ,install ,restart ,user account ,log" මේවට කියන සිංහල වචන මොනවද? දෙයියො තමා දන්නෙ කියල ඔබට හිතෙන්න පුළුවන්. අපේ මේ ගැටළුවට දැන් විසඳුමක් තියෙනවා.

ඉතා මෑතදී නිකුත් වූ වින්ඩෝස් විස්ටා සහ ඔෆිස් 2007 සිංහල අතුරු මුහුණත් හි භාවිත වන වචන ඇසුරින් සකස් කළ "තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව" අපට දැන් ලොකු සේවයක් කරාවි. අපි භාවිත කරන ඉංග්‍රීසි වචනයට අදාලව සිංහල වචනය හොයා ගන්න මේ පොත් පිංච හරහා හරිම ලේසියි. ඉංග්‍රීසි අකුරු අනුපිළිවෙළට සකස් කර ඇති පොත් පිංච පිටු 67කින් යුක්තයි.

මෙහි සඳහන් වචන කීපයක් මේ...
access -ප්‍රවේශය / ප්‍රවේශ වන්න
baseline - පාද රේඛාව
check box - සලකුණු කොටුව
gadget - මෙවලම
mouse - මූසිකය
scroll -රෝල් කරන්න
worksheet - වැඩපත

මේ වචන අපි ටික කළක් භාවිත කරන කොට අපිට ඉබේම පුරුදු වෙයි. මොනව උනත් මේ පොත් පිංච නම් ඉතාමත්ම වටිනව.

මේ අයුරින් හෙල බස එක්ක හැප්පුණු ව්‍යාපෘතිය පිටුපස බොහෝ දෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා ලෙස සැලකෙන දිවංගත මහාචාර්ය වී කේ සමරනායක මැතිදුන්ද මේ පසුපස ඉඳල තියනව. ඊට අමතරව මහාචාර්ය ජේ බී දිසානායක මහතා ප්‍රමුඛ සිංහල භාෂා විශාරදයින්, ආචාර්ය රුවන් වීරසිංහ මහතා ප්‍රමුඛ කොළඹ සරසවිය, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ප්‍රමුඛ මොරටු සරසවිය, රෙෂාන් දේවපුර මහතා ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, සයන්ස් ලෑන්ඩ් කෝපරේෂන් ආයතනය සමඟින් එකතු පහදු වෙලා මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගම තමයි මෙම පොත් පිංච ප්‍රකාශයට පත් කරල තියෙන්නේ. ඉතින් මේ හැමෝටම ස්තූතියි.

මයික්‍රොසො‍ෆ්ට් ශ්‍රී ලංකා ආයතනයේ "ගමට IT" වැඩසටහන යටතේ තමයි මෙම පොත් පිංච එලි දැකල තියෙන්නේ. අන්තිම පිටුවේ මිලකුත් සටහන් වෙනව. ඒත් මේක පොත් කඩවල් වල නම් මම දැක්කෙ නෑ. නමුත් මයික්‍රොසොෆ්ට් ආයතනය නොමිලේම බෙදනව කියලයි දැනගත්තෙ. (මට නම් නොමිලේම ලැබුනේ අද පැවති .Net පරිශීලක සමාජයේ රැස්වීමේදී.)

දැන් ඉතින් ශුද්ධ සිංහලෙන්ම ලියන්න බැරියැයි... ඕන තරම් .....


3 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

said...

මේක ගැනද කිව්වේ?

http://123.231.20.111/Microsoft/pdf/Sinhala_Glossary.pdf

Madhawa Habarakada said...

මේක නම් හොඳයි තමා, ඒත් පරිඝණකයක් සමඟ තනිකරම් සිංහල එක්ක වැඩ කරන එක නම් අපිට ටිකක් අමාරුයි, හැබැයි බැරි නෑ. ජපානෙ තනිකර ජපන් භාෂාවෙන් කරන එක ඇයි අපිට බැරි නේද?

එක නෙමෙයි, මම ගලගෙදර, අපි දෙගොල්ලො ලඟ පාත ඉන්න අයනෙ.

Unknown said...

ඇත්ත ජපානය චීනය අය ඔවුන්ගේ බසින් ම පිරිගණනය පාවිච්චි කරනවා.එ පමණක් නොව ජංගම දුරකතන වල පවා ඔවුන් පාවිච්චි කරනවා. එසේ නම් අපට බැරි ඇයි?
අපටත් එය කළ හැකියි.අපේ රටේ බොහෝ දෙනෙකු තුළ මිත්යා අදහසක් තියෙනවා. ඒ තමයි ඉංගිරිසිය නැතිව අපට කිසිවක් කළ නො හැකිය යන මතය. එය වැරැදියි. එය හරි නම් ජපානය වැනි රටවල් ඉංගිරිසිය නැතිව දියුණු වුනේ කොහො ම ද?

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...