Pages

Saturday, August 1, 2009

එකම කතාවක් , අවසානය දෙකක්

පසුගිය දින කීපයේම සෑම මාධ්‍යයකම ප්‍රධාන සිරස්තලයක් වී තිබුණේ පාසැල් විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳ ගැටළුවයි.
සැබැවින්ම විභාග ප්‍රශ්න පත්‍රයක් එලෙස වැරදි සහිතව තිබීම මම කිසි ලෙසකින්වත් අනුමත නොකරමි. නමුත් මේ කතාව ඇසුණු මට අපි පාසැල් ගිය කාලයේ සිදුවූ සිද්ධි කීපයක්ම මතක් විය. අද සිදුවන දේ ද සැසඳු විට....
අර සුප්‍රසිද්ධ වෙළඳ දැන්වීමේ ඇති "එකම කතාවක් , අවසානය දෙකක් " පාඨය මතක් වුණි.

කතාවේ ආරම්භය:
පාසැල් විභාග දිනය උදා විය. අද විද්‍යාව විෂයයි. මෙන්න ප්‍රශ්න පත්‍ර බෙදන්නට පටන් ගනී. ප්‍රශ්න පත්‍රයේ පහත ආකාරයේ වැරදි/ මුද්‍රණ දෝෂ කීපයක් ඇත.
  • මෙහි ඇති ප්‍රශ්න 8න් 5කට පිළිතුරු දෙන්න. (නමුත් ප්‍රශ්න පත්‍රයේ ඇත්තේ ප්‍රශ්න 7කි.)
  • 50 km බරැති සිමෙන්ති කොට්ටයක්......
  • ගැඩවිලා ාගාවියාගේ මිතුරෙකි. (‍"ෙ" වෙනුවට "ා" මුද්‍රණය වී ඇත.)
  • දිග මනින ඒකකයක් වන්නේ .... km, cm, g, mm
චිත්‍ර විෂය වෙනුවෙන් ලැබෙන ප්‍රශ්නයක් අතර....
  • පහත රූප සටහන පිළිබඳව කළා ඇගයීමක් කරන්න. (නමුත් රූපය නැත)
ගණිතය යටතේ ලැබෙන ප්‍රශ්නයක් අතර....
  • පහත ඔරලෝසු වල වෙලාව නිවැරදිව දක්වන්න. (ඔරලෝසුවල කටු දකින්නට නැත)
මම මේ කිව්වේ සර්ව කාලීන වූ කතාවේ ආරම්භයයි.

මෙන්න එදා මේ ගැටලුව විසඳුනු හැටි.
අදාල විෂය භාර ගුරුවරයා විභාග ශාලාවට එයි. මෙසේ කියයි. "ළමයි, මෙන්න මේ දේවල් මේ විදිහට නිවැරදි කර ගන්න... "
  • මෙහි ඇති ප්‍රශ්න 7න් 5කට පිළිතුරු දෙන්න. (ප්‍රශ්න පත්‍රයේ ඇත්තේ ප්‍රශ්න 7ක් නිසා.)
  • 50 kg බරැති සිමෙන්ති කොට්ටයක්......
  • ගැඩවිලා ‍"ෙ"ගාවියාගේ මිතුරෙකි. (‍"ා" වෙනුවට "‍ෙ" යොදාගන්න.)
  • දිග මනින ඒකකයක් නොවන්නේ .... km, cm, g, mm ( නො අකුර වැඩිපුර යොදාගන්න)
චිත්‍ර ගැටළුවට ගුරුතුමිය එනව... ඒ ප්‍රශ්නෙ මේ විදිහට වෙනස් කර ගන්න.. "කැළණි විහාර බිතු සිතුවම් පිළිබඳව කළා ඇගයීමක් කරන්න."

ගණිත ගුරුතුමිය ඇවිත් ඔරලෝසුවේ නිවැරදිව කටු තියෙන්න ඕන හැටි කළු ලෑල්ලෙ ඇඳල ගියා. කට්ටියම ඒක බලල උත්තර ලිව්ව.

සමහර විටක ඔය ගැටලු තැන් අදාල ගුරුවරිය දකින්නෙත් කවුරු හරි ළමයෙක් ගිහින් ඇහුවහම තමයි.

දිග විතරක් දීපු සෘජුකෝණාස්‍රයක පරිමිතිය හොයන්න ප්‍රශ්නයක් තිබුණ මට තාමත් මතකයි. කවුද බ්‍රයිට් කේස් එකක් ඕක මිස්ගෙන් ඇහුවහම මිස් හැමෝටම කිව්ව "අදාල සෘජුකෝණාස්‍රයේ පළල මීටර් 2 යි"කියල ලියා ගන්න කියල.

වැරදි ටික හැදුව ගුරුතුමිය ගියා. විභාගෙත් ඉවරයි. ළමයින්ට ලකුණුත් තියනව. ඊළඟ වාර විභාගෙදිත් සමහර විට ඔය වගේම වෙන්න පුළුවන්... ඔය වගේ ගැටලු වලින් ළමයෙක්ට පේපරේ අවුල් ගියා කියල අපි නම් ඇහුවෙ නෑ.සියළු පහසුකම් තියනව කියන රාජකීය විද්‍යාලයේත් (1995- 1998 අතර අවුරුද්දක) සෞඛ්‍ය ප්‍රශ්න පත්‍රය නිසි දිනට මුද්‍රණය කරන්නට බැරුව ඒ දවසෙදි "බුද්ධාගම" ප්‍රශ්න පත්‍රය දුන්නා. මේ දේ කිව්වෙ දවසකට කලින්.
ඔය වගේ සිද්ධි ඕන තරම් වෙලා ඇති... අපි හැමෝටම....

මෙන්න මෙදා මේ ගැටලුව විස‍ඳෙන හැටි.
ගැටළු ඇති බව ළමුන් දැනගනී. ගුරුවරුද දැන ගනී. ළමයි ඒ ගැන ගුරුවරුන්ට කියන්නේ ද නැත. ගුරුවරු වැරදි ටික නිවැරදි කර දරුවන්ට කියන්නේද නැත.
විභාගය අවසන් වූ පසු ළමයි යන්නේ ප්‍රදේශයේ "කුණු 1 st" වාර්තාකරු හොයාගෙනය. නැත්නම් කෝල් කරන්නේ "අටට කියන්න" ටය. එදා ගුරුවරයාට කියූ දේ අද "මාධ්‍යවේදී" මහා ගැලවුම් කාරයා ඉදිරියේ කියා පායි. මේවාට විසදුමක් බලා පොරොත්තු වන්නේ ඔහුගෙනි.
නැත්නම් රට හදන්නට මග කියන දේස-පාලුවෙක් ලඟට යයි. එදා ගුරුවරයාට කියූ දේ අද "රට හදන" දේස-පාලුවා ඉදිරියේ කියා පායි. මේවාට විසදුමක් බලා පොරොත්තු වන්නේ ඔහුගෙනි.

අර කුණු 1 st" වාර්තාකරු හෝ අටේ වාර්තාකරු තවත් කුණු ටිකක් එක්කර කුණු රස වැඩිකර රූප කර තමුන්ගේ මහ ගෙදරට එවයි. දේසපාලුවාද කරන්නේ එයමය.

ළගදීම මේ ගැටලුව යුනෙස්කෝ මහා මණ්ඩලයේද කතාබහ වන්නට ඉඩ තිබේ.


අන්තිමට මේකත් ජාතික ප්‍රශ්ණයක් වෙලාය.
(යුද්ධයත් නැති අපි දැන් ජාතික ප්‍රශ්න ඌනතාවයකින් පෙළෙන්නෙමු. )

අවසානය දෙකක්.
එදා මේ වගේ සුළු ගැටළුවක් විසඳුයේ ඒ අයුරිනි. නමුත් අද එය ජාතික ප්‍රශ්නයක් වෙලාය(කරගෙනය) .


පාසැල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැන කතා කරන ඔය මාධ්‍ය වලින් කීයක් ළමයෙක්ට විභාගයට මුහුණ දෙන හැටි ගැන සිය මාධ්‍ය ඔස්සේ වැඩසටහන් කළාද?

හැමෝටම අවශ්‍ය කුණු රහය...... ඒ වෙනුවෙන් අගනා ඉල්ලුමක් අද සමාජයේ පවතී...
ඒ සමාජයේම සාමාජික‍යෙකු වන මමත් එය අවබොධ කරගෙන සිටිමි. එනිසාවෙන්ම මේ මාතෘකාව ගැන බ්ලොග් සටහනක් දැමූයෙමි.

8 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

Kasun Chathuranga (කසුන් චතුරංග) said...

හරියට හරි කතාව. අපි කවුරුත් පරිපුර්ණ නෑනේ. විභාග දෙපාතමේන්තුවෙන් දෙන ප්‍රශ්න පත්තර වල වැරදි නැද්ද? මාධ්‍ය කාරයෝ පුවත් මවනවා.

Hakuna Matata said...

http://myresignation1.blogspot.com/

said...

මම හරියටම මේ ගැන දන්නේ නැහැ,
අපිට නම් ප්‍රශන පත්තර දුන්නේ ඉස්කෝලෙන් ගහලා විභාග ගස්තුත් අයකලේ සුළු මුදලක් දැන් එහෙම නැහැ මේක මහා පරිමාන ජාවාරමක්. පළාතටම ප්‍රශ්න පත්තර ගහන්නේ. ඉතින් ලොකු සල්ලියක් එහා මෙහා යන ගනුදෙනුවක්. ඒවගේ එකක තියෙන ගැටළු කතා කරන එකේ වැරැද්දක් නැහැ. ඔය වැරදි ගැන හැම පුවත් පතකමත් තිබ්බා.

වජිර නදුන් සෝමරත්න said...

@ම: ඔබ කියන්නේ ඉස්කෝලෙන් ප්‍රශ්න පත්තර ගහලා දෙද්දී කවදාවත් ඔය වගේ වැරදි උනේ නෑ කියලද? නැතිනම් ඉස්කෝලෙන් ප්‍රශ්න පත්තර ගැහුවනම් ඔය වගේ දේවල් උනාට කමක් නෑ කියලද?(මට හරියටම තේරුණේ නෑ.....) දැන් අයකරන මුදල් ගැනනම් මමත් හරියට දන්නෙ නෑ.එතන මුදල් ජාවාරමක් වෙනව ඒ ගැන අනිවාර්යයයෙන් හොයන්න ඕන.


ඔය කවුරුවත් මාධ්‍ය කාරයොවත්,දේසපාලුවොවත් ඕව ගැන කතා කළේ ළමයි ගැන ආදරේට නෙමෙයි කියලයි මට හිතෙන්නෙ...තමුන්ගේ මාධ්‍යයට ඉල්ලුම වැඩිකරගන්න හෝ පවතින රජයට දොස් කියන්න තමයි ඕක යොදා ගත්තේ....
අපි දැක්කනේ ඔය ගැන පාරේ පෝස්ටර් ගහල තිබුණ හැටි... සහ තාප්ප පුරා ස්ප්‍රේ කරල තිබුණ දේවල්... !!!ළමයින්ගෙන් එකතු කරන මුදල ගැන ඔච්චර දුකනම්,මේ ගැන රට පුරා පෝස්ටර් ගහන වියදමින් එක දිස්ත්‍රික්කෙක ළමයින්ට ඊළඟ විභාගෙදි ප්‍රශ්න පත්‍ර ටික ගහල දෙන්න කියලයි මම ඉල්ලන්නේ....

said...

ඉස්කෝලෙන් ප්‍රශ්න පත්තර ගහලා දෙද්දී වැරදි ගොඩක් තිබ්බා,
ඒත් ඉස්කොලෙන් ගහද්දි උන වියදමයි දැන් කරන විදිහේදි වියදම් කරන වියදමයි අතර ලොකු වෙනසක් තියෙනවා
පළාත් සභාවකින් කරන මහජන මුදල් වියදම්ක් ගැන මධ්‍යකින් කියන එකේ වැරැද්දක් කියන්න බැහැ

said...

රජයේ සල්ලි ගොඩක් වියදම් කරලා වැරදි ගොඩක් තියෙන ප්‍රශන පත්තර ගහන එක රජයේ මාධ්‍ය යට ගහයි ඒත් අනික් මාධ්‍ය ඒක කියන්නේ එතන වංචාවක් සිද්ධ වෙන නිසා.

මකුළු පැංචි said...

මමත් කියන්නෙ නදූන් කියලා තියෙන කතාව හරි..වාර විබාගෙක විතරක් නෙවෙයි...සා/පෙ. උ/පෙ වගේ විභාග වලත් ඒ වගේ වැරදි වෙන්න පුලුවනි..(ඔන්න ඒ වගේ එකක වරදක් නම් තව උඩ පැන්නත් කමක් නෑ ඔය හැටි..)කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැනේ..අනික වංචාව කරන කෙනා ඔය ප්‍රශ්ණ පත්‍රයේ වැරදියට යතුරු ලියනය කරපු කෙනා වෙන්න විදිහක් නෑ නේ..ටෙන්ඩර් බාරගන්න අයවත් මැති ඇමති වරුවත් ඉස්සරවත් අදවත් ඔය දෙන එක පේපර් එකක තියෙන එක අකුරක්වත් කියවනව ඇති කියල නම් මම හිතන්නෙ නෑ....කොහොම වුණත් ඕව හැමදාම නිව්ස් වල කියන්න ගත්තම ටිකක් ඒක පෝඩ පහේ වැඩක්..

නදුන් උයන said...

@මකුළු පැංචි: හුරේ... ලිපිය ලියල අවුරුදු දෙකකට පස්සේ හරි මගේ පැත්තට කතා කරන්න මකුළු පැංචි ඇවිල්ල... "මකුළු පැංචි" ට ජය වේවා....!!!!

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...