Pages

Saturday, August 27, 2011

සත්තු වත්තකට ගොස් ඉතිහාසය ඉගෙනගත්තෙමි....

න්න කෙන්යාවේ චාරිකා සටහන් වල දෙවැනි කොටසත් මෙසේ ලියවෙන වගයි.. පලමු කොටස කියවූ සියලු දෙනාටම ස්තූති වන්ත වෙන අතරම, අදහසක් ද පල කල පාඨක සැමට සුවිශේෂී ස්තූතියක්ද හිමිවිය යුතුයි.

අප උදෑසනින්ම ගමන් ආරම්භ කල බව මම මුල් ලිපියේ සඳහන් කලෙමි. පැය පහක පමන සෆාරි චාරිකාවෙන් පසු අපි නයිරොබි ජාතික වනෝද්‍යානයට සමුදී ආපසු පැමිනියේ බොහෝ සුන්දර මතකයන් ද හිත් තුල මෙන්ම අපගේ කැමරා තුලද රඳවාගෙනය.වේලාව දහවල් 12 පසුවී තිබුනද බඩ ගින්නක් නම් අප අසලටවත් පැමිනියේ නැත.ඊට හේතුව හොන්දටම හිත පුරවාගෙන සිටි නිසා බව අපි සියල්ලොම දැන සිටියෙමු. මහ වනයෙන් එලියට පැමිනි අපට තවත් සුවිශේෂී ස්ථානයක් වෙත රැගෙන ගියේ අපේ මාර්ගෝපදේශක වරයා ද වූ රථාචාරියා විසිනි.

එම ස්ථානය නමින් "කිඹුල් උයන" නම් අර්ථ ගැන්වෙන "ක්‍රොකඩයිල් පාර්ක්" ලෙස නම් කර තිබිනි. සුපුරුදු පරිදි ප්‍රවේශ පත්‍ර මිලදී ගත් අපි "කිඹුල් උයන" ට ඇතුල් වුනෙමු.

මූලිකව කිඹුලන්ගෙන් සහ තවත් සතුන් රැසකගෙන් සමන්විත වුනු කිඹුල් උයන තුලදී නම් අප හට මාර්ගෝපදේශකයෙකුගේ සහය ලැබුනි. මහ වනයේදී නිදහසේ සිය රජ දහනේ වෙසෙනා සතුන් මෙහිදී අප දුටුවේ කූඩුවක සිර වී සිටිනායුරුය. එකම දවසක අප දුටු මේ දසුනින් මහ වනයේ ඇති නිදහසත්, සතුන් කූඩුවකට ගාල් කර ඇතිවිට ඔවුන්ගේ නිදහස සීමාවන අයුරුත් හොඳින්ම අවබෝධ වූ බවනම් මුලින්ම කිව යුතුය.

මුලින්ම අපව පිලි ගත්තේ විවිධාකාරයේ ඉබ්බන් පිරිසකි. ලංකාවේද බහුල තාරකා ඉබ්බන් කෙන්යාවේදීද දකින්නට ලැබුනි. මේ ඉබ්බන් සංචාරකයන්ගේ අතට එන්නටද මහත් ආසාවක් දක්වන හැඩක් ද දුටිමි. අපි සියලු දෙනාම ඉබ්බෙකු අතට ගෙන සුරතල් කරන්නට කැමැත්තක් දැක්වීමු. අපගේ සහායකයා අපිට ඒ වෙනුවෙන්ද උදවු කල බවත් කිව යුතුමය.

මීලඟට අපි ගියේ අපි බලාසිටි කිඹුල් ගාල දෙසටය.

එහි අප යනවිට කිඹුල්ලු සියල්ලෝම මනා රටාවක් මවමින් ඔවුන්ගේ රජදහනට වී ඔවුන්ගේ පාඩුවේ බලාගත් අත බලාගෙනම සිටියේ අපව තඹ දොයිතුවකටවත් මායිම් නොකරමිනි.

කුඩා කාලයේදී මේ ආකාරයෙන්ම අහුන්ගල්ලේදී කිඹුලන් විශාල ගණනක් දුට බව මගේ මතකයට ආවේ නිරායසයෙනි. මීලඟ මොහොතේ සිදුවූ දෙයින් අපි සියලු දෙනාම විමතියට පත් වීමු. අපට පාර කියන්නට පැමිනි සගයා මොහොතකින් කිඹුල් ගාලේ දැලෙන් ඇතුලට පැන ගත්තේ අපි සියලු දෙනාටම මහත් කුතුහලයක් ඇති කරවමිනි.

දැන් මේ මිනිසා සිටින්නේ මිනී කන කිඹුල්ලු 20 ක් පමන සිටින්නාවූ දිය පොකුනට ඉතාමත් ආසන්නවය. මොහු අතේ දිගටි ලී කැබැල්ලකි.. එක් වරම මොහු අතැති ලී කැබැල්ලෙන් එහි සිටි කිඹුලෙකුට වැරෙන් පහරක් එල්ල කළේ එහි මෙතෙක් තිබූ නිහඬ බව මොහොතකින් බිඳ දමමිනි. ඉන් පසු අප ඉදිරියේ මැවුනු දසුන ට පහත ඡායාරූපය හොඳින් සාක්ෂි දරනු ඇති.

කිඹුල්ලු බලල අපි ගියේ මේ උයනේ වෙනමම පැත්තකට... එහි යන අතරේ අපට තවත් දුර්ලභ දසුනක් දකින්නට හැකිවිය... පහත පින්තූරයේ තිබෙන බිත්තර අපට පෙන්වූයේ අපේ සගයාය. ඔබ දකින කුඩා බිත්තරය කිඹුල් බිත්තරයකි. ඔහු අපිට පැවසූ ආකාරයට නම් මේ බිත්තරය එතරම් ඝන බිත්තරයක් නොවේ... මෙහි පෙනෙනා විශාල බිත්තරය කුමන ආකාරයේ සතෙකුගේ කියා ඔබට අනුමාන කල හැකිද? ඒ අත්තටු ලැබුනට පියාඹන්නට වරම් නැති පැස්බරාගේ බිත්තරයකි. (පැස්බර බිත්තර ගැන වෙනම ලිපියක් පල කරන්නයි මගේ අදහස... )



මීලගට අප පාතැබුයේ සිවුපා ලෝකේ ඉනිමග හෙවත් ගිරාෆ් ගේ නිවහන දෙසටයි... මහ වනයේදී ඈතට දුටුව ගිරාෆ් ලඟටම යන්නටත් උගේ හිස පිරිමදින්නටත් වාසනාව ලද අපි කොල අත්තක් කවා ඌටත් අපේ ආදරය දැක්වූයෙමු. නමුත් එකම දවසක මහ වනයක සහ සත්ව උයනක සංචාරයෙන් අපට දැනුනු සිතිවිල්ල වූයේ.. මහ වනයේ සතුන් කොතරම් නිදහසේ සිය ජීවිතය ගෙවනවාද යන්නයි... නමුදු සත්වෝද්‍යානයකින් සිදුවන කාර්ය භාරයක් ඇති හෙයින් එය හෙලාදැකීමට නම් මට සිත් නොදේ.





අප දැන් පිවිසෙන්නේ කෙන්යාවේ මූර්ති කලාව දැක ගන්නටයි.සිත් බැඳගත් මූර්ති ද අප දුටුවේ සත්වෝද්‍යානය තුලදීමය. මෙම රූ පෙල දෙස බලන ඔබටත් අප්‍රිකානුවන්ගේ මූර්ති කලාව පිලිබඳ යම් අදහසක් ලැබෙනු ඇතැයි සිතමි...










අවසාන වශයෙන් විස්තර කරන්නට යන්නේ අද කෙන්යාවේ ඉතිහාසය මැනවින් පෙන්නුම් කරන කලා නිර්මානයකි.අවාසනාවට මෙම නිර්මානය සම්පූර්නයෙන්ම මගේ කැමරාවේ සටහන් වී නොතිබිනි. නමුත් මෙහි කියවෙන කතාව නම් අප මතකයන් තුල හොඳින්ම තැන්පත් වී තිබේ...

අප්‍රිකානු අනෙකුත් රටවල් මෙන්ම මුලින්ම කෙන්යාවේද ස්වදේශික ජනයා යටත් වූයේ අරාබියෙන් පැමිනි වෙළඳ ආක්‍රමනිකයන්ටය. අදත් සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් මේ අප්‍රිකානු මහද්වීපයේ දැක ගත හැකිය.තවත් සුවිශේෂී කරුනක් වන්නේ අරාබියේ සුදු සම සහිත මිනිසුන්ගේ සහ අප්‍රිකානු කලු සම සහ බොකුටු කොන්ඩ සහිත මිනිසුන්ගේ සංකලනයෙන් බිහිවූ විවිද ජන වර්ග මේ අප්‍රිකානු මහද්වීපයේදී ඉතා සුලබය. අප්‍රිකානු ජාතිකයින් සිය වහලුන් ලෙස අරාබි ජාතිකයින් විසින් යොදාගත් අයුරු මේ නිර්මානයෙන් මනාවට විස්තර කර තිබේ.

ආසියාවේ මෙන්ම අප්‍රිකාවේද පසු කාලීනව සිය බලය වැපිරුවේ යුරෝපා ජාතිකයින් විසිනි. ඔවුන් මෙහි පැමින ඇත්තේද එක් අතක තුවක්කුවක් සහ අනිත් අතේ බයිබලය තබාගෙනය. එකල්හි ස්වදේශිකයෝ සුද්දන්ගේ බැල මෙහෙවර කරන්නට අකමැති වූහ. ලංකාවේ දී මෙන්ම අප්‍රිකාවේදීද ඔවුන්ගේ තුරුම්පුව වුයේ ඉන්දියානු කුලී කම්කරුවෝය... කෙන්යාවේ දුම්රිය මාර්ග තනන්නට සුද්දන් විසින් යොදාගත්තේ අඩු මිල ඉන්දියානු කම්කරුවෝය.

මෙම කම්කරුවන් මුහුන දුන් බියකරුම අත්දැකීම වූයේ මහ වනය මැදින් මං මාවත් තනද්දී මහ වනයේ සැබෑ හිමි කරුවන්ට ගොදුරු වන්නට සිදුවීමය. මෙසේ පැමිනි කම්කරුවෝ සිය ගනනක් සිංහයින් ගේ ගොදුරු බවට පත්ව තිබේ. මෙම නිර්මානයෙන් පෙන්නුම් කරනුයේ එම යථාර්තයයි. නමුත් මෙහිදී කිව යුතු යමක් තිබේ. අපේ රටට පැමිනි ඉන්දියානුවෝ බොහෝ දෙනෙක් අදටත් තේ වතු වල කුලී වැඩ කරති. නමුත් කෙන්යාවට පැමිනි ඉන්දියානුවන් මෙහි ස්වදේශිකයින්ට වඩා බොහෝ ඉදිරියට ඇවිත් ඉහල සමාජ තලයක ජීවත් වෙයි. මෙහි ඉහල පෙලේ ව්‍යාපාර රැසක හිමි කරුවෝ අද ඉන්දියානුවෝය.. බොහෝ ආයතන වල වැදගත් තනතුරු හොබවන අය අතරින් ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයින් සුවිශේෂීය.අද වන විට මෙහිම උපත ලද සිව්වන පරම්පරාවේ ඉන්දියානුවන් ද කෙන්යාවේදී අපට දැක ගත හැකිය.

කිඹුලන් බලන්නට මෙහි පැමිනි අපි ඉතා වටිනා ඉතිහාසය පාඩමක් ද ඉගෙනගෙන මෙම සුන්දර ස්ථානයට සමු දුන්නේ තවත් මෙවැනිම තැනකට ලඟදීම පය තබන්නට අදිටන් කරගෙනය.

ෆ්ලෙමින්ගෝ දහස් ගනනින් දුටු සහ සිංහ යුවලකගේ ආදරය සියැසින් දුටු මීලඟ චාරිකාවේ විස්තරත් ලඟදීම නදුන් උයනේ බලාපොරොත්තු වන්න...

**************************************************************************************

නදුන් උයනේ පෙර ලිපි කියවූ සුවිශේෂී චරිතයක් මාහට යෝජනා කලේ මෙම ලිපි ලිඛිත බසින් ලියන ලෙසයි. අත් හදා බැලීමක් ලෙස මෙම ලිපිය ලිවීමේදී එම ක්‍රමය අනුගමනය කල අතර, ඉදිරියේදී කුමන රටාවක් අනුගමනය කරන්නේද යන්න තීරනය කරන්නේ ලැබෙන ප්‍රතිචාර මතය.. විටෙක මෙම රටාව ඔබට සිත් නොගන්නටද පුලුවන. එබැවින් ඒ පිලිබඳවද ඔබේ අදහස් දක්වන්නේනම් නදුන් උයනේ හිමිකරුවා අතිශය ස්තූති වන්ත වෙමි.

Monday, August 15, 2011

එන්ඩෝ... සත්තු බලන්න එන්ඩෝ......

නදුන් උයනේ සැරිසරන කුරුල්ලො - කිරිල්ලියො ඔක්කොම දන්නවනේ මම දැන් ගොඩක්ම ලියන්නේ චාරිකා සටහන් කියල... ඔන්න මම අද ලියන්න යන්නේ මම දැනට ඉන්න කෙන්යාවේ චාරිකා සටහන් තමයි...

කට්ටියම දන්නවනේ කෙන්යාව කියන්නේ අප්‍රිකනු මහද්වීපයේ පිහිටා තිබෙන නැගෙනහිර අප්‍රිකානු කොටසට අයිති රටක්. සංචාරක කර්මාන්තය එක් ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙච්ච රටක්. ඒ කියන්නේ අධික ලෙස සංචාරක ආකර්ෂණයක් තිබෙන රටක්.. මේ සංචාරක ආකර්ෂණයට ප්‍රධාන හේතුවක් වෙන්නේ මෙහි ඇති වනෝද්‍යාන සහ කාලගුණ තත්වය කියලයි මට හිතෙන්නේ.. ඔන්න ඉතින් මටත් කෙන්යාවට ඇවිත් කෙටි කාලෙකින්ම වගේ වාසනාව පෑදුනා කෙන්යාවේ තියන වනෝද්‍යානයක චාරිකාවක යෙදෙන්න.. ඒ කිව්වේ අර සෆාරි එකක් කියල සිංහලෙන් කියන්නේ.. ඔන්න අද මම විස්තර කරන්නේ මගේ පලමු සෆාරියෙ අත්දැකීම් තමයි.

ඔන්න අපිත් ගමනට එකතු උනා තුන් දෙනෙක්... තුන් දෙනාම ලාංකිකයෝ..මග පෙන්වන්න උනෙත්, රියදුරු මහත්තයම තමා... (අහ්හ් එකක් කියන්න ඕනේ.. මෙහේ රියදුරෝ නම් අර චෙන්නයි වල ත්‍රීරෝද රථ රියදුරෝ වගේ නෙවෙයි.. ලෙසටම කඩුව කොටන්න පුලුවන්... ඒක හන්ද මාර්ගෝපදේෂක කමට රියදුරු මහත්තයත් මරු... සාක්කුවටත් වාසි නෙව.. ) ඔන්න ඉතින් තුන් දෙනාම පිටත් උනා උදේ පාන්දර 6 වෙද්දි අපේ නවාතැනෙන්.. ඔන්න පැය බාගෙකින් වගේ අපි බලා පොරොත්තු වෙච්ච තැනට ආව... අපේ චාරිකාව යොදාගෙන තිබුනේ.. "නයිරෝබි ජාතික වනොද්‍යානය" වෙත.. ඔන්න දැන් කට්ටියම ඉන්නේ ඇතුල් වෙන තැන. ( ඒ කියන්නේ ටිකට් කඩන මාමල ඉන්න තැන :) )

ඔන්න අපි ටිකට් එහෙම අරගෙන (ලංකාවෙදි බස් වල හොරෙන් ගියාට මෙහේ පාර්ක් වල හොරෙන් යන්න බෑනේ.. ) ඇතුල් වුනා වනෝද්‍යානය බලන්න.

මම ඉස්සෙල්ල කියුවනේ අපේ දවසේ නවාතැන "නයිරෝබි ජාතික වනොද්‍යානය" කියල. මේ ජාතික වනොද්‍යානය පිහිටල තියෙන්නේ කෙන්යාවේ අග නුවර වෙන නයිරෝබි නගරයේම තමා... හිතාගන්නකො දැන්.. රටක අගනුවර සීමාවෙම තියනව වන ජීවි උද්‍යානයකුත්.මටනම් මුලදි මේ කතාව හරිම අමුතුම දෙයක් උනා..

ඇයි අප්පේ අපේ අගනුවර "වන ජීවි උද්‍යානයක්" තියා තව ටික කාලෙකින් ගහක් කොලක් හොයාගන්නත් බැරිවෙන සයිස් එකක් නේ තියෙන්නේ..

ඔන්න ඉතින් කයි වාරු ඇති... දැන් අපි සත්තු බලමු... අපි මුලින්ම දැක්කේ මුවන් විශේෂයක්. අර ඇන්ටිලොප් කියල කියන්නේ මුන්ටද කොහෙද.. ඔන්න දැන් එකා දෙකා සත්තු දකිනව... අපි කට්ටියටම මාර හැපි.

ඇයි ඉතින් මෙහෙම අත්දැකීමක් ලබන්නේ පලවෙනි පාරටනේ.. ඒ මුවොන්ට පස්සේ ගෝන විශේෂයක් කියල අපිට හිතුන තවත් සිවුපාවෝ රන්චුවක්.. ( නම හරියටම දන්න කවෘ හරි ඉන්නවනම් පහලින් ලියල යන්ට හොඳේ.. )

ඔන්න ඊට පස්සේ අපේ මග හරස් කරන් ඉන්නේ ගිනි කුකුල්ලු වර්ගයක්.. කැලේම ඉන්න මී හරක් රංචුත් විශාල වශයෙන් ඉන්නව.. මෙන්න ඉන්නව දැකල පුරුදු තවත් සතෙක්...

මේ ඇවිල්ල පැස්බරා නෙව...!!! පියාඹන්න බැරි පක්ෂියා කියලනේ කියන්නේ.. හප්පේ.. උගේ සරීරෙ දරාගෙන ඌට පියාඹන්න බැරි එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.. මෙතන ඔය කලු තටු තියෙන්නේ පැස්බර නෝනලටනේ.. දුඹුරුවට ඉන්නේ පැස්බර මහත්තයට... ( නොනල දෙන්නෙක් එක්ක ඉන්න හැටි... මහත්තයෙක් කියන්න වටින්නෙත් නෑ. )

මෙන්න ඉන්නව අපි දැකපු එකම රයිනෝ... අපේ රටේනම් ඉතින් ගොඩක් වහලවල් වල මෙයාලුනේ ඉන්නේ.. :)

************

මේ බලන්නකෝ ජිරාෆ් කොච්චර උස උනත් කෑම කන්න විඳින දුක.. !!! වැඩිය උස යන්න හොඳ නෑ කියන්නේ ඕකනේ...

මෙන්න ඉන්නව සීබ්‍රා... අප්පේ මෙහෙ ඉන්න සීබ්‍රා තොගේ... අන්තිමට දැකලම එපා වෙන තරමටම සීබ්‍රා දැක්ක. මෙතන තියන දිය පාරට මුන් දහස් ගනනින් ඇවිල්ල වතුර බීල යනව.. අපි දුටුව ලස්සනම දර්ශනය තමයි අපි යද්දි සීබ්‍රා රංචු පිටින් වතුර බිව්ව දිය පාර ලඟින් අපි ආපසු එද්දි එතන හිටියේ විශාල කුරුල්ලෝ සමූහයක්... හරියට වෙලාව බෙදා ගෙන වගේ..කට්ටිය අතරේ... ඈතින් දැක්ක තවත් ඇන්ටිලොප් රන්චු සමූහයක් පෙල ගැහිල මේ දිය පාර පැත්තට එනව... මට හිතෙන්නේ ඊලඟ වාරය උන්ගේ වෙන්න ඇති... බලමුකො සත්තුත් ස්වභාව ධර්මයේ තියන සම්පත් බෙදා හදාගෙන පාවිච්චි කරන හැටි...

තවත් ඇල පාරක් ගාවට ආපු අපේ රියදුරු මහත්තය කියුව දැන් වාහනෙන් බැහල යමු කියල.. ඔන්න අපිත් මෙයා පස්සෙන් යනව පයින්... මෙන්න මේ ඇල පාරේ ඉන්නව කිඹුල්ලු... හිපෝලත් ඉන්නව කියල හෙව්වට අපිට නම් හම්බ උනේ නෑ.. :(

ආයෙත් වාහනේ නවත්වපු තැනට ඇවිල්ල ඔන්න රථයට ගොඩ වෙන්න හදදි තවත් සංචාරකයො ටිකක් එනව මාර්ගෝපදේෂකයෙක් එක්ක පයින්.මාර්ගෝපදේෂකවරයගේ අතේ තුවක්කුවකුත් තියනව. එතනදි තමයි දැන ගත්තේ අපි තුවක්කුවක් තියා අතේ පොලු කෑල්ලක් වත් නැතුව ඇවිදල තියන තැන සමහර වෙලාවට සිංහයොත් ඉන්නවලු... හපොයි... හිටියනම් ඉතින් අද නදුන් උයනේ සුදු කොඩි තමයි....

හැබැයි ඔන්න ඔය කතාවෙන් අපේ සිංහයො බලන්න තියන ආසාව වැඩි වුනා...ඔන්න අපි දැන් සිංහයො ඉන්න තැනක් හොයාගෙන යනව... අතර මගදි හම්බවෙන වාහන වලිනුත් අහ අහ යනව... ඔන්න එක තැනකට ආවහම ඈත ඉන්නව අපි හොය හොයා හිටපු අපේ යාලුව... අපේ රියදුරු මහත්තය කියුව අපි වෙන පාරකින් ඌ ඉන්න ලඟටම යමු කියල... ඔන්න ඉතින් අපිත් විදල ගියා... ඒ උනාට අපිට වඩ සිංහය ඉස්සර වෙලා.. ඌ අපිටත් හොරෙන් යන්නම ගිහින්... අපේ සිංහ සිහිනය බොඳ උනේ අන්න එහෙමයි.. (හැබැයි මීටර් 2-3ක් ලඟින්ම හිටපු සිංහයෙක් මගේ දෙවන සෆාරියේදී මුන ගැහුන.. එයා ගැන පස්සේ ලියන්නම් කෝ... )

තවත් ඉතින් වල් ඌරො, මුව වර්ග වගේම විවිදාකාර කුරුල්ලො නම් ගොඩක් දැක ගන්න පුලුවන් උනා...

බලන්නකෝ මේ ඡායාරූපය දිහා... මේ යන්නේ කෙන්යාවේ අභ්‍යන්තර ගුවන් යාන්වක්.. කෙන්යාවේ ප්‍රධානතම අභ්‍යන්තර ගුවන් තොටුපොල පිහිටල තියෙන්නේත් මේ වනෝද්‍යානයේ මායිමේ වගේ තමයි... ඒක හන්ද උඩ බැලුවොත් ඕනෙම මොහොතක ගුවන් යානයක්... බිම බැලුවොත් ඇස් වශී කරන වන සත්තු... ඒ වගේම මේ ඡායාරූපයත් බලන්නකෝ....

ඔය සීබ්‍රා රංචුවට එහායින් පේන්නේ කෙන්යාවේ කාර්ය බහුල අග නගරය...ලොකයේ මේ ආකරයේ ඡායාරූපයක් ගන්න පුලුවන් එකම වනෝද්‍යානය මෙතනලු.. ඒ කියන්නේ පිටිපස්සෙන් නගරයේ තට්ටු ගොඩනැගිලි පෙනෙද්දී, වන සත්තුන්ව ඡායාරූපයකට ගන්න පුලුවන් මෙහෙදි විතරලු....

ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි කෙන්යාවෙදි සුන්දර දවසක් ගෙවිල ගියේ ඔය විදිහට තමයි...

අපිත් දවල් 1 විතර වෙද්දි එතනින් පිටත් වුනේ ඉර අවුව වැඩි වෙද්දි සත්තු එලියට බහින්නේ නැති බව හොඳටම දන්න නිසයි..

මේ ලිපිය කියවන කවුරු හෝ කෙන්යාවට එනවනම් "නයිරෝබි ජාතික වනෝද්‍යානය" ට එන්න අමතක කරන්න නම් එපා...

අපි ආපසු එන ගමනේදී තවත් අතර මග නැවතුනු තැන් වල විස්තරත් අරගෙන ඊලඟ ලිපියෙන් හමු වෙමු...



Saturday, August 6, 2011

මාලු නටන්නේ මේ වගේ තැන් වලදි තමයි ....

ලියන්න තේමා සොය සොයා හිටපු නදුන්ට ඔන්න දැන් චාරිකා සටහන් ගැනම ලියන්න ඕනේ කියල හිතක් පහල වෙලා.. අදත් ඉතින් චාරිකාවක් ගැනම තමයි..

හැබැයි මෙච්චර කල් ලියුව පිටරට විස්තර නෙවෙයි.

මම අර වන්ඩලූර් සත්තු වත්ත ගැන ලියපු ලිපියේ මම කැළණියේ වෝටර් වර්ල්ඩ් ගැන සටහන් කරල තිබුන නිස අපේ යාලුවෙක් ලියල තිබ්බ එයාත් ඒකට ගිහින් නැහැයි කියල.

ඉතින් අද මම ලියන්න යන්නේ මොකක් ගැනද කියල දැන් හැමෝම දන්නවනේ...

අද මම ලියන්න යන්නේ ඔය කැළණියේ තියන "වෝටර් වර්ල්ඩ්" කියන ලංකාවේ එකම පුද්ගලික මින් මැදුර ගැන තමයි. මම එකම එක වතාවක් ගිහින් තියනව වගේම ගොඩාක් හිතට අල්ලල ගියපු තැනක්.

මෙන්න මෙහෙමයි විස්තරේ...

ගම්පග දිස්ත්‍රික්කයට අයත් කැළණියේ ( ඔන්න කට්ටිය බය වෙන්න එහෙම එපා කැළණියේ කියුවහම ) කැළණි නදී තෙරේ අක්කර 5ක් පුරා පැතිර පවතින "වෝටර් වර්ල්ඩ්" නම් වු මේ සුන්දර මින් මැදුර අපිට දවසක් ගතකරන්න නම් කියාපු තැනක්.

අඳුරු ගුහා ආකරයෙන් සකසා ඇති මින් මැදුර තුල ටැංකි 150 ක් විතර තියෙනව.. (ඔක්කොගෙම මාලු පිරිල හොඳේ ).. මේ ගුහා ඔක්කොගෙම එකතුව මීටර් 800ක් විතර වෙනව කියල තමයි ඔවුන් කියන්නේ.. මේ ටැංකි තුල දේශීය මසුන්, විදේශීය මසුන් , මුහුදු මත්සයින් වගේම විවිද පාරිසරික පද්ධති තුල ජීවත් වන මත්ස්‍ය වර්ගත්, මෝරුන් වගේ භයානක මත්ස්‍ය වර්ගත් ඇතුලුව විශේෂ 10 000 ක් පමන ඉන්නව.


එක ටැංකියක මාලු බලල අනිත් පැත්ත බලද්දි ඊටත් වඩා ලස්සන මාලු රොත්තක් තව ටැංකියක...

ලංකාවේ විශාලතම මාලු ටැංකියත් තියෙන්නේ මෙතන තයි ඕන්. ඒකේ ඉන්නේ නම් ලොකු මාලු තමයි.. ඒක ඇතුලේ මුහුදු පරිසරයක් නිර්මානය කරල තියෙන්නේ මට නම් තේරෙන විදිහට.....

අහ්හ්.. මම නම් පලවෙනි වතාවට මුහුදු අස්සයෙක් දැක්කෙත් මෙහෙදි තමා... තවත් විවිදාකාරයේ ජලජ ජීවීන් මෙහිදී බලාගන්න පුලුවන්.


මේ මින් මැදුරට සමගාමීව මෙතන කුරුලු උයනකුත් තියනව..(එ ගැන විස්තර පස්සේ කියන්නම් කෝ... )

කට්ටිය මෙතනට යනවනම් මෙන්න මෙහෙමයි පාර... කැලණියේ 4 කනුව ලඟින් හැරිල යන පාරේ දිගටම යන්න... මේක තියෙන්නේ තල්වත්ත කියන හරියේ... ගානත් හරිම සාධාරනයි කියලයි මට නම් හිතෙන්නේ.. රුපියල් 200 ක් වගේ ගානක් තමයි ගන්නේ මින් මැදුරටයි, කුරුලු උයනටයි දෙකටම..

ඔන්න බලන්නකො තවත් ඡායා රූප ටිකක්. (මේව ඉතින් මගේ දුප්පත් පෝන් එකෙන් ගත්ත ඒව තමයි. )




පවුලේ හැමෝමත් එක්කම දවසක් ගත කරන්නනම් කියාපු තැන. ඕන නම් ආපසු යන ගමනේ කැළණි පන්සලටත් ගිහින් පිනක් දහමක් කරගෙන එන්නත් පුලුවන්... (උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කියලත් කියනවනේ... )