Pages

Tuesday, November 20, 2018

බංගලාදේශයේ සුවිසල් බුදුපිලිමය සොයා ගියෙමි....


ගොඩ දෙනෙක් දන්නව මම නදුන් උයනේ වැඩිපුර ලියන්නේ චාරිකා සටහන් කියල. ලඟ ලඟම දෙවෙනි පෝස්ටුවත් එක් කරන්නයි කල්පනාව.

පසුගිය මාසයේ සති දෙකක රාජකාරිමය අවශ්‍යතාවක් නිසා මම බංගලාදේශයේ සංචාරයක් නිරත උනා. හැමදාමත් වගේ මෙවරත්, යන්න ඉස්සෙල්ලම බැලුවේ ඇවිදින්න යන්න පුලුවන් කොහෙද කියල තමා. ගොඩක් තැන් ගැන විස්තර හොයා ගත්තත්, මගේ ගමනේ මූලික අරමුණ උනේ රාජකාරි කටයුත්තක් නිසා, සංචරණයට හිමි උනේ දෙවෙනි තැන.

නමුත් මගේ වාසනාවට, මට එහිදී හමුවුනා මිතුරෙක් - මම වගේම සංචරණයට කැමති, ඒ වාගේම බ්ලොග් ලියන්නත් කැමති මිතුරෙක්. ඔහුගේ මුසුව මගේ සංචාරක අත්දැකීම් වැඩි දියුනු කලා කියුවොත් නිවැරදියි.

මම බංගලාදේශ සංචාරක සටහන් වලින් පලමුව ලියන්න යන්නේ , බංගලාදේශයේ ඇති විශාලතම බෞද්ධ සිද්ධස්ථානයක් වන ධර්මරාජිකා බෞද්ධ ආශ්‍රමය ගැනයි,

ධකා නගර සීමාව තුලම පිහිටා ඇති, ධර්මරාජිකා බෞද්ධ ආශ්‍රමය වෙත මම ගියේ සවස් වරුවක. ඌබර් ටැක්සියක සහයෙන් ගිය මේ ගමන මම තනියෙන්ම කළ සංචාරයක්. කොහොමහරි අදාල තැනට එද්දි ඈත තියාම මෙම පන්සල හදුනාගන්නට පුලුවන් උනේ වෙහෙරක අනුරුවක් සහිතව ඉදි කර ඇති මේ තුන් මහල ගොඩනැගිල්ල නිසයි. නමුත් මේ ගොඩනැගිල්ල අයත් වෙන්නේ පන්සලේ කොටසක් ලෙස නොව, පන්සලට සමගාමීව පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයේ කොටසක් ලෙසයි.



විහාරස්ථානය ඉදිරිපිට පොලිස් මුරපොලක්ද දක්නට ලැබෙන අතර එවැන්නක් පවතින්නේ ඇයිදැයි පැහැදිලි නෑ. අනිත් කාරනය තමා මෙහි කිසිවෙකුටත්, ඉංග්‍රීසි භාශාව තේරුම් ගැනීමට හෝ  කතා කිරීමට හැකියාවක් නෑ.

මම පංසල් බිමේ තවත් ඉදිරියට යන විට හමු වුනේ රන්වන් ලෝහමය බුද්ධ ප්‍රතිමාවක්. සමාධි සුවයෙන් වැඩ සිටින බුදු පිලිම වහන්සේ, ලංකාවේදී අපි දකින බුදුපිලිම තරමින්ම සියුම් නිමාවක් දකින්නට ලැබුනේ නෑ. නමුත් මාගේ වඩාත්ම හිත ගියේ බුදු පිලිමයට පිටු පසින් ටෙරාකොටා ක්‍රමයට අඹා  ඇති බුද්ධ ප්‍රතිමා 4 වෙතයි. එකිනෙකට වෙනස් මුද්‍රා 4 කින් යුත් මේ නිර්මාණ අතරින් දකුණු පසින් ඇති රූපය දුටු විට මාහට මතකයට නැගුනේ ඉන්දියාවේ සාරානාත් බුදු පිලිමයයි.

මෙම කුඩා බුදුපිලිමය පසු කර ඉදිරියට යන විට දකුනු පසින් ඇති විශාල පොකුණත්, එය අවසානයේ ඇති විශාල හිටි බුද්ධ ප්‍රතිමාවත් දැකගන්න පුලුවන්. අන්තර්ජාලයහරහා දැනගත් විදිහට, මෙම හිටි පිලිමය බංගලාදේශයේ ඇති විශාලතම බුද්ධ ප්‍රතිමාවයි. කලක් බෞද්ධ සංස්කෘතිය පැතිරී තිබූ භූමියක, මෝගල් අධිරාජ්‍යයේ බලපෑම නිසා ඉපැරණි බෞද්ධ නටඹුන් සියල්ලම විනාශවී ඇති බවක් තමයි මට හැඟී ගියේ.



විතර්ක මුද්‍රාවෙන් වැඩසිටින හිටිපිලිම වහන්සේ රෝස පැහැති විශාල පියුමක් මතින් නැගී සිටින ආකාරයක් ඉතා අලංකාරව මෙහි නිමවා තිබෙනවා. රන් වන් පැහැයෙන් දිදුලන බුදු පිලිම වහන්සේ මුහුණපා සිටින්නේ ඊට ඉදිරියෙන් ඇති, විශාල පොකුණ දෙසයි. ලංකාවේද ආරක්ෂිත වැටකදී යොදාගන්නා ඇත් රුව, යුගල ඇති රූ ආකාරයෙන් මෙහිදී යොදගෙන තිබෙන බවත් පෙනී ගියා.



මෙම සුවිශාල බුදු පිලිමයට අමතරව, බුද්ධ මන්දිරය තුල විශාල සැතපෙන පිලිමයක්ද දැකිය හැකියි. එය කිරිගරුඬ පිලිමයක් ලෙස පෙනී ගියත්, එය නිමවා ඇත්තේ කෙලෙසදැයි හරියටම පැහැදිලි නෑ. නමුත් බුදු මන්දිරයේ සම්පූර්ණ දිගම භාවිතවෙන ආකාරයෙන් මෙම අලංකාර පිලිමය නිමවා තිබෙනවා. 

මීට අමතරව මෙම ස්ථානයේ අපගේ ආකර්ශනය ලබා ගන්නා අනෙක් නිර්මාණය වන්නේ  වර්ණ වීදුරු කැබලි යොදාගෙන කර ඇති බුද්ධ රූපයයි. මෙහි මුස්ලිම් පල්ලි ආශ්‍රිතව බහුල මෙම ශිල්ප ක්‍රමය යොදා ගෙන ඉතා අලංකාර ලෙස මෙම බුදු රුවත් සකසා ඇති බව කිව යුතුයි. 



ඉතා කෙටි චාරිකාවක් උනත්, විදෙස් රටකදී - විශේෂයෙන්ම මුස්ලිම් ආගමික රටකදී දුටු බෞද්ධ සලකුණු දැකීමෙන් මාගේ සති අන්ත හවස් වරුව සතුටින් ගත කරන්නට හැකියාවක් ලැබුණා. 

මීලගට සංචාරක සටහන් ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට යන්නේ මෝගල් අධිරාජ්‍යයේ රජ මැදුරක් වූ, ධකා වල පිහිටි ටජ් මහල වැනි ස්මාරකයක් ගැනයි. 

කලකින් පසු ලියූ ලිපිය ගැන ඔබේ අදහස් පහතින් දක්වා යන්න. 

Sunday, November 11, 2018

ශුද්ධ සිංහලෙන් පරිගණකයෙනුත් ලියමුද .... ? හෙළකුරේ පරිගණකාගමණය ගැනයි මේ......

අවුරුදු තුනකුත් මාස නවයකට පස්සේ නදුන් උයන බ්ලොග් අඩවියට ලිපියක් ලියන්න හිතුනේ විශේෂ කාරණා 2 ක් නිසයි. එකක් තමයි ස්තුති කිරීමක්. දෙවැන්න තමයි දැනුවත් කිරීමක්.

2009 ජූලි 12 වැනිදා මම නදුන් උයනේ ලියපු මේ ලිපියේ ලියැවෙන්නේ "සිංහලෙන් ඔෆිස් හෙවත් පරිගණක සිංහල කරණයේ යෝධ පිම්ම ...." කියන තේමාව යටතේ. එම ලිපිය පුරා ලියවෙන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ඔෆිස් මෘදුකාංග පද්ධතිය සිංහල භාෂාවෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවීම සම්බන්ධව. නමුත් පරිගණක භාවිත කරන බොහෝ දෙනෙක්ට, මෙම මෘදුකාංගය භාවිත කිරීමට  අවශ්‍ය මූලික ඉංග්‍රීසි දැනුම පැවතුනු නිසාත්, එම මෘදුකාංගය තුල භාවිත කළ සිංහල වචන බොහෝ දෙනෙක්ට පහසුවෙන් ග්‍රහනය නොවූ නිසාත්, එම ව්‍යාපෘතිය එතරම් සාර්ථක තත්වයට පත්වුනේ නෑ.

නමුත් සමකාලීනව පරිගණක සිංහල භාවිතයේ යෝධ පිම්මක් ඇතිකලේ, SETT- BROWSER / DECODER එකයි. එනම්, සිංහල අකුරු කිසිවක් ස්ථාපනය නොකළ පරිගණකයක පවා, සිංහල වෙබ් අඩවි ගැටලුවකින් තොරව දකින්නට මේ හරහා හැකි වුනා. මේ කාර්‍යයට මූලිකවම කැපවී ක්‍රියාකලේ ලාංකික තරුණ පරිගණක ඉංජිනේරුවෙක් වන ධනික පෙරේරා තරුණයා.

එමගින් නොනැවතුන ඔහුගේ සුවිශේෂීම නිර්මාණයක් උනේ, "හෙළකුරු" යතුරු පුවරුව හදුන්වා දීමයි. පලමුව මෙම යතුරු පුවරුව හදුන්වා දුන්නේ ජංගම දුරකතන වෙතයි. සමාජ මාධ්‍ය අඩවි වල බොහෝ දෙනක් හෙළබසින් අකුරු කරන්නේ මේ ඇප් එකට පිංසිද්ධ වෙන්න. "ජාති ජාති... තද තද..." ,  "චාමර ඔයා... " කියල බොහෝ දෙනෙක් ඒ දවස්වල ලියුවේත්, "ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව , ජනතා පරමාධිපත්‍යය " වගේ හර බර වචන මේ දවස්වල ලියවෙන්නේත්,  හෙළකුරු භාවිත කරන මිලියන 4 කට අධික ජංගම දුරකතන උපාංග හරහායි.



මෙම හෙළකුරු යතුරු පුවරුව මෙතුවක් කාලෙකට ජංගම දුරකතන හරහා අපේ භාෂාව ව්‍යාප්ත කරන්නට උපරිම මෙහෙයක් ඉටු කලත්, පරිගණක තුල සිංහල ටයිප් කිරීමට හෙළකුරු තුලින් ඉතාමත් පහසු උනේ නෑ. මෙවැනි දිගු ලිපියක් නම් හෙළකුරු වෙබ් මුහුනත (www.helakuru.lk) මත යතුරු ලියනය කොට නැවත් පිටපත් කර අවශ්‍ය තැන ඇලවීම කළහැකිව තිබුණා.

නමුත් සිංහලෙන් වැඩකරන කාර්‍යාල වලට , සුලු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට වගේම, විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ට සිංහලෙන් අවශ්‍ය තැන සෘජුවම යතුරු ලියනය කිරීමේදී දැඩි අපහසුතා වලට ලක්වන්නට සිදු උනා. [ගුගුල් ආදාන මෙවලම් මේ කාර්‍යයට දායකත්වයක් දැක්වූවත් එහි යම් යම් ගැටලු නිසා ජනතාව වැලද ගත්තේ නැහැ. ]

හැබැයි මේ සියලු ගැටලු වලට විසදුමක් ලබා දෙමින්, හෙළකුරු මගින් පරිගණක සදහා වන යතුරු පුවරුව මෘදුකාංගයක් ලෙස නිකුත් කර තිබෙනවා.  දැන් එම මෘදුකාංගය භාවිත කර, ඔබට අවශ්‍ය ඕනෑම තැනක සිංහලෙන් අකුරු කරන්නට හැකියාව තියනවා.

පළමුව කියන්නම් මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත හැකි තැන. https://www.helakuru.lk/  වෙබ් අඩවියට පිවිසිලා, එහි දකුණු තීරුවේ පහල ඇති පරිගණක සදහා ඇති බොත්තම් ඔස්සේ ඔබේ මෙහෙයුම් පද්ධතියට අදාලව මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. ඉන්පසු එය පරිගණකය තුල ස්ථාපනය කර,  ස්ථාපනය සම්පූර්ණ වීමට සුලු කාලයක් ලබාදෙන්න.

දැන් ඔබේ පරිගණකයේ පහල දකුණු කෙලවරේ, භාෂා පුවරුවෙන්, සිංහල යතුරු පුවරුව තෝරාගෙන ඔබට අවශ්‍ය දෙයක් අවශ්‍ය තැනක ලියන්නට පුලුවන්.

මෙහිදී ඔබට හුරු පුරුදු සිංග්ලිශ් ක්‍රමයට ලියන්න පුලුවන්. උදාහරණයක් විදිහට, අම්මා කියල ලියන්න, "ammaa" විදිහට ලියුවානම් හරි.

විශේෂයෙන්ම කියන්නට අවශ්‍ය‍යි, මේ හරහා
ජී මේල් තුල කෙලින්ම ඊ මේල් ලියන්න ,
වර්ඩ් - එක්සෙල් තුල සිංහලෙන් ලිපි ලියන්න,
පවර් පොයින්ට් තුල අපේ බසින්ම ප්‍රසන්ටේෂන් හදන්න,
බ්ලොගර් වල බ්ලොග් ලියන්න,
ඕනෑම වෙබ් අඩවියක සිංහලෙන් දත්ත ඇතුලත් කරන්නත්
පුලුවන්.

ඒ වාගේම තමයි,
ඊ තක්සලාව වගේ වෙබ් අඩවි තුල ඇති ප්‍රශ්න පත්‍ර වලටත් සිංහලෙන් උත්තර ලියන්න පුලුවන් දැන්.
වන් නෝට් වල සටහන් හදා ගන්න වගේම
ගුගුල් ශීට් වල වැඩකරන්නත්

මෙම යතුරු පුවරුවෙන් පුලුවන්. ඒ වාගේම ඔබ ආයතනයේ භාවිත වන සුවිශේෂී මෘ දුකාංග තුලත් මෙය භාවිතකරන්නට බොහෝවිට හැකි වේවි.

මම මේ ලිපිය ලියුවේ මේ ගැන දැනගන්න අවශ්‍ය අය දැනුවත් කිරීම එක අරමුණක් කරගෙන. අනිත් කරුණ තමයි, මෙවැනි නිර්මාණයක් එලි දක්වපු ධනික පෙරේරා තරුණ ව්‍යවසායක මහතාට ස්තුති කිරීමක් වශයෙන්. ඊට හේතුව තමා ලංකාව තුල මෙවැනි ව්‍යාපෘති රජය මගින් මැදිහත්ව කළ යුතුව තිබුනත්, එවැන්නක් මෙතරම් සාර්ථක සහ ස්ථායී ලෙස ප්‍රකාශනය කලේ ඔහු සහ "භාෂා ලංකා ආයතනය" නිසා. එවැන්නක් බිහි නොවුනා නම්,  වසර ගණනාවකට පසු සිංහලයේ අකුරු අනාගත් පරපුරේ භාවිතයෙන් ඉවත් වන්නටත් ඉඩ තිබුණා.


( ඡායාරූප : හෙළකුරු මුහුණු පොතේ පිටුවෙන්. )

අවසානයට ලියා තබන්නම්, හැකිනම් මෙම මෘදුකාංගය මිලදීගෙන තවත් මෙවැනි නිර්මාණ කරන්නට ඔවුන්ට ශක්තියක් වන්න. පුද්ගලික භාවිතය සදහා නොමිලේ ලබාදෙන මෘ දුකාංගය වෙනුවෙන්, ඔබට කැමතිනම් රු. 1000/- ක් ගෙවන්නත් පුලුවන්