Pages

Sunday, October 30, 2011

තවත් [ආලවන්ත] රජෙක් මහ වනයක් මැදදී හමුවුනෙමි... !!!


පසුගිය ලිපියෙන් මම ලියුවේ කෙන්යාවේ නකුරු ජාතික වනෝද්‍යානයේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලන් නරඹපු හැටි නේ. කට්ටිය ගොඩ දෙනෙක් ප්‍රතිචාරත් දක්වල තිබුන එක ගැන සංතෝසයි. මම එදා ඒ චාරිකාවේ සම්පූර්ණ විස්තරය ලියුවේ නැති වග ඔයාල දන්නවනේ. ඔන්න අද හදන්නේ ඒ චාරිකාවේ ඉතුරු විස්තර ටික ලියන්න. 

අන්තිමට අපි කතා කලේ කැලේ යාලුවො දෙන්නෙක් ගෝරියක් දාගත්ත හැටි නේ. මෙන්න ඉතින් ගෝරියේ අලුත්ම දර්ශන :)


බලන්නකෝ ඉතින් එකෙක්ගේ අනක් අස්සට අනිකගේ අනක් පටලවගෙන කරන ගෝරිය.අපේ ඇස් එකම තැනකට රඳවාගෙන වි. 15ක් විතර තියන් ඉන්න මේ යාලුවො දෙන්නට පුලුවන් උනා.වන සත්තු වගේ මිනිස්සු ගෝරි දාගන්නව ඇස් දෙකට දැකල තිබුනට, වන සත්තු දෙන්නෙක් මෙහෙම මුහුනට මුහුන කරන පයිට් එකක් දැකපු පළමු වතාව තමයි මේ. හැබැයි ඉතින් මෙයාලත් නියම ශිල්පීය ක්‍රමේටම වැඩේ දෙනව වගේ තමයි පේන්නේ...  
ගහ මරාගන්න තැන් වල වැඩිය ගැවසෙන්න හොඳ නෑ කියල තියන හන්ද ඔන්න අපි තව ටිකක් ඉස්සරහට සේන්දු උනා... අපේ මාර්ගය වැටිල තියෙන්නේ නකුරු ජලාශය වම් අත පැත්තෙන් පෙනෙන නොපෙනෙන දුරින්... දකුණු අත පැත්තෙන් වනන්තරය තමයි. වනන්තරය කියුවට මේක හරියට සිංහරාජේ වගේ ඝන වනාන්තරයක් නොවෙයි. මේ පින්තූර වලිනුත් ඔයාලට ඒක තේරෙනවනේ... මෙන්න ටිකක් දුර යද්දි වම් අත පැත්තෙන් පේනව ටිකක් දැකල පුරුදු මූනු ටිකක්... අහ්හ් .. බලපුවහම මේ මී හරක් නේ... අර ඉංගිරිසියෙන් කියන්නේ "බෆලෝ" කියල මෙයාලටනේ... 


මෙතන ලස්සන වැඩේ කියන්නේ අපි අනිත් සත්තු දැකපු හැටියම පුදුම වෙලා වගේ බලන් ඉන්න බව අපේ රියදුරු මහත්තයට මේ වෙද්දිත් අවබෝධ වෙලා තිබුනේ... දැන් අර මී හරක් ටික දැක්කට පස්සේ අපි කිසි සද්දයක් නෑ..මෑන්ටත් ෆුල් අවුල්. අපි කුලු- මී හරක් ටික දැකල නෑ කියල හිතපු රියදුරු මහත්තය අපිට උන් ටික පෙන්නන්න මාරම ට්‍රය් එකක් දෙනව... අපිටත් ඉතින් අර නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියුව වගේ මේ මී හරක් රන්චුව දිහා මැජික් බලනව වගේ බලන් හිටියේ නෑ... 
ඒත් එක පාරටම අපි ඔක්කොගෙම ඇස් නතර උනේ කුලු- මී හරක් අතරේ ඉන්න ටිකක් අමුතු විදිහේ යාළුවෙක් ළඟ.. කට්ටියට පුලුවන්ද බලන්න මෙයාව අඳුරගන්න... අනිත් අයට වඩා පොඩ්ඩක් අලු පාටට හුරු හමක් තිබුන නිසාවෙන් මෙයාව ලේසියෙන්ම හඳුනගන්න අපිට පුලුවන් උනා... ඔන්න මී හරක් ගොඩේ ඉන්න එක්කෙනාව අඳුරගන්න බැරි අයට තමයි මේ සමීප රූපය...  


 අපි මෙයා දිහා විශේෂයෙන් බලන් ඉන්න බව තේරුම් ගත්ත "රයිනෝ" යාලුව ආවනේ අපිව හොයාගෙන.. අම්මෝ ළඟට එද්දි තමයි මෙයාගේ ප්‍රමාණය ගැන අවබෝධයක් ඇති උනේ. දෙහිවල සත්තු වත්තෙදි ඉස්සර දැකල තිබුනට මූ ගැන ලොකු මතකයක් තිබුනේ නෑ.මෙයාගේ ප්‍රමාණය තීරණය කරන්න ඔය ළඟ තියන වෑන් එකත් උදව්වට ගන්නකෝ. කොහොම හැරි මෙයාට වාසනාව තිබුනා නඳුන් උයනේ මූන දාගන්න... (එහෙමත් එක්කෙනෙක් ට තමයි ඒ වාසනාව උදා වෙන්නේ.. ) තව දෙයක් ... රයිනෝ කියන සතාගේ විනාශයට හේතු වෙලා තියෙන්නේ උගේ අඟ ලු... අර හැකියාව වැඩි කරන බේත් හදන්න මූව මරල අඟ ගන්නව කියන්නේ... තව ටික කාලෙකින් අපිට මූව දකින්න වෙන්නේ වහලේ තියන ඇස්බැස්ටස් සීට් එකෙ විතරක් වෙයිද දන්නේ නෑ..  


මේ බලන්නකෝ මෙයා... මෙයා කරන්නේ බොරදියේ මාළු බාන එකනේ.. මේ පුංචි වතුර පාරෙත් මාලු පැට්ටෙක් එහෙම ඉන්නවද කියල තමයි මෙයා බලන් ඉන්නේ.. සුදු ඇඳගෙන මාලු බාන කොක් හාමිලට වඩා, මේ කොක් හාමි එක අතකට හොඳයි.. මොකද එයා කළු කොකෙක් බව දකින හැමෝටම තේරෙනවනේ... බලන්නකෝ මුගේ හොටේ පාට ... හරියට පින්සලකින් පාට ගාල වගේ...     

 මේ යාළුවත් අපේ සයන්තන් ගේ කැමරාවේ සටහන් උනේ, ඌ උදේම නාල ඇවිත් අව්ව තපින කොට.. මේ කොයි කොකාගෙත් තියන විශේෂය තමයි මුන්ගේ හොට අති විශාල වීම. තමුන්ගේ තරමට වඩා විශාල කටවල් මිනිස්සුන්ට ලැබිල නැති එක ගැන නම් හරිම සන්තෝසයි.. :)  
 
 
ඔන්න අපි තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට මුන ගැසුන ලස්සනම ලස්සන කුරුලු රංචුවක්. රංචුවක් කියුවට මෙතන වැඩිය හිටියේ නෑ. ඒත් මුන්ගෙ මොකක්දෝ අමුතු අහිංසක ගතියක් සැඟවිලා තියනව කියල අපිට හිතුනා.. මෙයාල අර කොක් හාමිල වගේ වේගයෙන් ඉගිල්ලෙන්නෙ එහෙම නෑ.. හෙමින් සැරේ ඇවිදගෙන ඉස්සරහට යනව... පින්තූරෙට ගන්න උනත් ඉතින් ලොකු අමාරුවක් උනේ නෑ.. [අනිත් අය ඉතින් කැමරාව අටව ගන්නකොට ඉගිල්ලිලා ඉවරයි නේ... ]


කොහොමද මෙයා.. ස්වභාවධර්මය මේ තරම් ලස්සන නිර්මාණ කරල තියනවද කියලත් හිතෙනව... මෙයා කුකුළ් පවුලට අයත් පක්ෂියෙක් කියල තේරුනේ මෙයාගේ කරමළේ නිසා තමයි. බළන්නකො මෙයාට ලොකු ආඩම්බරයක් එක් කරළ තියන ඔටුන්න...ඒ වගේම මුගේ ශරීරය පුරාවටම තියන පාට ගණන..කළු පාට, සුදු පාට, තැඹිලි පාට, කහ පාට, ක්‍රීම් පාට, දුඹුරු පාට.... හප්පේ... පාට කීයක නම් සංයෝගයක් ද?


මෙයාව නම් කට්ටිය අඳුරනව නේද? මේත් බැබුන් පවුලේ යාලුවෙක්... මූගේ කටත් පොඩ්ඩක් කොකෙක් වගේ ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ.. ඒ කියන්නේ හොම්බ ටිකක් ඉස්සරහට ඇවිල්ල ... ඒ වගේම පුන්චි ඇස් දෙකේ තියන තියුණු බැල්ම.. !!! මූ නිකන් අපි දිහා බලන් හිටියේ හරියට නෑදෑවරිගය දිහා බලනව වගේනේ...

මෙච්චර වෙලා අපි කොච්චර නොදැකපු සත්තු දැක්කත් අපේ සිතේ පොඩි දුකක් තිබුණා.. අපි විශේෂ පුද්ගලයෙක් මුළු කැළය පුරාවටම හෙව්ව... එයාව දකින කන් අපේ ඇස් වලට නිවනක් නොලැබෙන වගත්, අපේ හිත් වලට සැනසීමක් නැති වගත් අපිට හොඳටම අවබෝධ වෙලා තිබුනේ... අපි හෙව්වේ වෙන කාවවත් නෙවෙයි. කැළේ රජාව.. රජා උනත් කූඩු වෙලා ඉන්න රජෙක් නෙවෙයි අපි හෙව්වෙ.. සැබැවින්ම කැලේ නිදහස අත් විඳින කැලේට ඇත්තටම රජෙක් වගේ හයි - කම් පාන ඇත්තම රජෙක්... මෙන්න අපි ඉස්සරහට යද්දි රජා ඉන්නව... අපි යන පාරේ ඉඳන් මීටර් 2-3ක් වගේ ළඟට ඇවිත්... මෙන්න අපි දැකපු කැලේ රජා...     


බලන්නකෝ මෙයා රජා වගේ ඉන්න හැටි.. තේජාන්විත පෙනුම.. !!! [හැබැයි ඉතින් මූන පුරාම මැස්සො වහල හිටියේ ...] මෙයා අපිට දිවත් දික් කළා නෙව.. !!! අපි මෙයාව දකිද්දි මෙයා හිටියේ තණකොළ ගොල්ලේ හොඳ නින්දක් දාගෙන.. අපිව දැකලද නැත්නම් වෙන හේතුවකටද මන්ද ඔය විදිහට අපි දිහා බලන්න පටන් ගත්ත..මෙයා ඉන්නේ අපිට ගොඩක් ළඟින්ම හන්ද අපි අපේ රියදුරු මහත්තයටත් කියුව, කෝකටත් වාහනේ ස්ටාර්ට් එකේම තියා ගන්න කියල. කියන්න බෑනේ කොයි වෙලාවේ මෙයාට සිංහ[ල] මස් කන්න හිතෙයිද කියල..  
ඉතින් අපි ඔහොම ටික වෙලාවක් බලා ඉන්නකොට අපිට තේරෙනව, මේ සිංහයාට කකුල් 6 ක් විතර තියන බවක්.. අපිත් තව ටිකක් හොඳට බැලුව.. දෙන දෙය්යො ගෙදරටම ගෙනත් දෙනව කියන්නේ මේකනේ... මෙතන එකෙක් විතරක් නෙවේ.. ඔය උඩින් ඉන්න තරුණ සිංහයගේ "සිංහ කෑල්ලත් " මෙතනම දොයි. 


අපි දිහා ටිකක් ආඩම්බරයෙන් බලන් හිටපු මේ සිංහයා තව මොහොතකින් හිටපු විදිහ තමයි මේ... බලන්න රජා උනත් තමුන්ගේ ප්‍රියාවියට දක්වන ආදරය... ආදරයට සීම මායිම් නෑ.. සත්තු මිනිස්සු කියල නෑ.. හරිම සංවේදී දර්ශනයක්...තමුන්ගේ ආදරවන්තියට මොන තරම් රැකවරණයක් දෙනව ඇතිද? මේ වගේ සිංහ ආදරේ ලබන "සිංහ කෑල්ල" ත් ගොඩක් වාසනාවන්තයි  කියල මට හිතුන.


විනාඩි 10 කින් විතර මේ ආදරේ කූටප්‍රාප්තියට ලන් උනා... මෙන්න සිංහ දේනුව උඩු බෙලි අතට වැතිරිලා.. හෙමින් සැරේ තම ආදර වන්තිය ළඟට කිට්ටු වෙච්ච සිංහයා ආදරෙන් සිය ආදර වන්තියව ලෙව කන්න පටන් ගත්ත... ටික වෙලාවකින් දෙන්නගෙම මූනු දෙක එක ළඟ...මුවට මුව තියල දෙන්නම සිප ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ... [ඔන්න ඉතින් ඉතුරු ටික කොටු කොටු.... ] 

මේ ආදර රැඟුම් කොච්චර වෙලා තිබුනද කියන්නවත් අපිට මතක නෑ.. මොකද අපේ සිහිය තිබ්බේ මෙයාල ගැනම විතරයි. ඔන්න ටික වෙලාවකට පස්සේ අපේ තරුණ සිංහය හෙමින් සැරේ කැලේ පැත්තට ටික දුරක් ඇවිදගෙන ගියා මෙන්න මේ විදිහට..  


ඊට පස්සේ ආයෙත් අපිට වැඩිය නොපෙනෙන විදිහට තණකොළ ගොල්ලේ නිදාගත්ත.. ඔන්න ඔහොමයි අපි සිංහයො බැලුවේ.. හැබැයි මේ අත් දැකීමත් කවදාවත්ම අමතක වෙන එකක් නම් නෑ..


ඔය උඩින් තියන ඡායාරූපය ගත්තේ මේ කැලේම තියන පොඩි කඳු ගැටයක් උඩ ඉඳල. මෙතනට පේනව අපි දවසම ගත කරපු නකුරු ජාතික වනෝද්‍යානයම.. නකුරු ජලාෂයත් ඔයාලට පේනව ඇතිනේ...  අපි ගිය මාර්ගය නම් පැහැදිලිවම පේනව.. මෙතන තමයි ඉතින් අපේ අවසාන දැක්ම.. ඊට පස්සේ අපි යලිත් ප්‍රධාන දොරටුව දෙසට ගියේ අපේ ගමනාන්තයත් සනිටුහන් කරමින්.. 
අහ්හ් ඔය අතරේ දැන් වෙලාවත් 3 පහු වෙලා. උදේට කන්න කියල තෙල් දාල හදාගෙන ආපු කඩල එක මතක් උනේ ඒ වෙලාවෙදි. සත්තු දැකපු හන්ද අපිට බඩ ගින්නක් ආවෙම නෑනේ.. ඔන්න ඉතින් එන අතර මගදි 'පික්-නික්' පිටියක් ළඟට ඇවිල්ල අපි කඩලත් කාල එන්න පිටත් උනා..කොහොම හරි ආපසු ප්‍රධාන දොරටුවෙන් පිට වෙනකොට වෙලාව 4 ට විතර ඇති... 
සර්ව සම්පූර්ණ වන චාරිකාවක් අවසන් උනේ ඔන්න ඔය විදිහටයි.. 
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව... 
ඔන්න අපි ආපහු එද්දි අපිට වෙච්ච දේ... මෙහේ තියනව බඩ ඉරිඟු ග්‍රිල් කරල බැදපු කරල් පාරේ විකුනන්න. අර අනුරාධපුරේ යද්දි අපේ රටෙත් තියෙන්නේ තම්බල විකුනන්න.. අන්න ඒ වගේ. ඔන්න අපි කට්ටියටත් ඕනේ උනා ඕකක රස බලන්න.. අපි ඔන්න නැවැත්තුව වාහනේ එහෙම විකුණන තැනක.. වෙච්ච දේ ඔයාලම බලාගන්නකෝ.. 


හරියටම වෙළෙන්දො 9ක් ඇවිල්ල අපිට එල්ල කලේ නැතෑ.. බඩ ඉරිඟු රොකට් ප්‍රහාරයක්.. වීදුරුව ඇරල තිබ්බ ඉස්සරහ හිටපු අයට වෙච්ච දේ හිතා ගන්න පුලුවන් නේද

අදත් මගේ බ්ලොග් සටහනට ඡායාරූප අනුග්‍රහය අපේ ගමන් සගයින් වුනු සයන්තන් සහ හර්ෂගෙන්.

නකුරු චාරිකාව ඉවර උනාට කෙන්යාවේ විස්තර ඉවර නෑ.. වසර දහස් ගනනකට ඈතදී ඇතිවූ ගිනි කන්දක් බලන්න ගොස් - ඇත්තටම ගෙන්දගම් පොලොවේ පය ගැසූ විස්තරයත් ළඟදීම බලාපොරොත්තු වෙන්න ...        
  

Saturday, October 22, 2011

පියාඹනකොටත් සුදුපාට නොවූ කොක්කු සහ ....


අධික කාර්ය බහුල බව නිසාම සති කීපයකකින් නදුන් උයනේ සටහනක් තබන්නත් බැරි උනානේ. ඔන්න බොහොම අමාරුවෙන් පොඩි වෙලාවක් දාගත්ත නදුන් උයනේ සටහනක් ලියන්න. 
අදත් ලියන්න යන්නේ අප්‍රිකානුචාරිකාවක් තමයි. අප්‍රිකානු කියුවට කෙන්යා චාරිකාවක්

කෙන්යාවේ චාරිකා සටහන් වල අලුත්ම සටහන් ලියවෙන්නේ "නකුරු ජාතික වනෝද්‍යානය" ගැන. ඇත්තෙන්ම අමුතුම ආකාරයේ අත්දැකීම් රැසක් ලැබිච්ච ගමනක් කියන්න පුලුවන්. 

ඔන්න ඉතින් අපේ චාරිකාවට එකතු උනේ අපේ සගයො දෙන්නයි, ඒ දවස් වල කෙන්යාවේ චාරිකාවක නිරත වුනු අපේ සහෝදර - සමාගමේ සාමාජිකයෝ දෙන්නෙකුයි තමයි. කට්ටිය ඔක්කොම පස් දෙනයි. හදිස්සියෙ ගමන යොදාගත්ත හන්ද ඉතින් ගමන යන්න ඉස්සෙල්ල දවසේ තමයි අපි ඉතින් වාහනයක් සූදානම් කර ගත්තේත්. ඔන්න ඉතින් ඉස්සෙල්ල දවසේ රාත්තිරියේ වාහනයක් එහෙම සෙට් කරගෙන "නකුරු" යන්න අපි සැලසුම් කරගත්තේ උදේ 4 ට විතර පිටත් වෙන්න. ඔන්න ඉතින් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නෑ කියනව වගේ අපිට ඉතින් ට්‍රිප් එකක් යද්දි ඉතින් කන්න බොන්න හදාගෙන යන විදිහේ වෙනසක් නෑනේ. ඔන්න අපිත් ට්‍රිප් එක යන්න සෙට් කරගත්තේ කඩල තෙම්පරාදුවක්
උදේ පාන්දර 3 ට විතර නැගිටල, කඩල එහෙම ලෑස්ති කරගෙන ඔන්න අපි ගමන යන්න පිටත් උනා. අපි ඉන්න නයිරෝබි නගරයේ ඉඳල කිලෝමීටර 200 කට ආසන්න දුරකින් තමයි මේ "නකුරු" වනෝද්‍යානය  පිහිටල තියෙන්නේ.     
ඔන්න අපි ගමන පිටත් උන වෙලාවේ ගත්ත ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ.උදේ පාන්දර නිසා අපේ ගමනට මීදුමෙනුත් බාධා සිද්ද උනා.ඉද්ද ගැහුව වගේ පාරක තමයි අපි ගියේ.අපේ රියදුරු මහත්තයත් පළමු වතාවට තමයි මේ ගමන යන්නේ.ඉතින් අපිට මග කියන ජී පී එස් පැන්චත් පොඩ්ඩක් විතර අපිට උදව් වුනා ගමනාන්තයට ළඟා වෙන්න. 

අපේ ගමනාන්තයට අපි ළඟාවෙමින් ඉන්නවයි කියන දේ අපිට මුලින්ම දැනුනේ පාරේ සවිකරල තියන මේ විදුලි පහන් වලින්. නකුරු වනෝද්‍යානය වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ "ෆ්ලෙමින්ගෝ" කුරුල්ලන්ගේ රජ දහනක් විදිහට. ඉතින් මේ ආසන්නයේ මාර්ග විදුලි බල්බත් සකස් කරල තියෙන්නේ විශාල ෆ්ලෙමින්ගෝ කුරුල්ලන්ගේ හැඩයට.  


දැන් අපි ඉන්නේ වනෝද්‍යානයේ දොරටුවෙන් ඇතුල් වූ ආසන්නයේමයි. නකුරු වන උයනේ එක මායිමක් නකුරු ජලාශය. මේකේ තමයි මම අර මුලින් කියපු ෆ්ලෙමින්ගෝ කුරුල්ලො ඉන්නේ. ඔන්න අපි නකුරු ජලාශය කරා යන ගමනේදී අපිට මුලින්ම හමු වූ යාලුවන් ටික. 


 මෙතන රථයෙන් බිමට බැහැල මේ යාලුවො ටිකත් එක්ක ඡායාරූපයක් ගන්නත් අපිට වාසනාව උදා උනා. මෙයාලට කියන්නේ ඇන්ටිලොප් කියල බව "එන්ඩෝ... සත්තු බලන්න එන්ඩෝ...... " ලිපිය කියවපු අය දන්නවනේ... 
ඔන්න අපි ටිකක් ඉදිරියට යද්දි තව යාලුවො සෙට් එකක් හම්බවුනානේ.
 
  එයාල උදේ පාන්දරම මේ පොලිම් ගැහිල යන්නේ කන්න බොන්න මොනව හරි හොයා ගන්න වෙන්න ඕනේ. මොකද අව්ව තදට පායන්න ඉස්සෙල්ල කට්ටිය දවසට කෑම බීම ටික එහෙම සෙට් කරගන්නව ඇතිනේ.බැබුන් යාලුවො මේ විදිහට පාර හරස් කරගෙන හිටියට මොකෝ අපිට යන්න කිසිම බාධාවක් නොකර දෙපැත්තට උනා. අපිත් ඉතින් ලැබුනු අවසරයෙන් හෙමින් සීරුවෙ එතනින් මාරු උනා. 

ඔන්න තව ටිකක් ඉස්සරහට යද්දි අපිට මුන ගැහුනෙ මෙන්න මෙයාල... මෙයාලව නම් අපේ යාලුවන්ට පොඩ්ඩක් දැකල පුරුදු ඇති නේද?
 
මට හොයගන්න පුලුවන් වුනු විදිහට නම් මූට කියන්නේ " helmeted guinea-fowl". මේ විදිහට නකුරු උද්‍යානය තුල විවිද පක්ෂී විශේෂ 450 ක් පමණ හමුවෙනව.වැඩේ තියෙන්නේ ලස්සන ලස්සන කුරුල්ලො දැක්කට මොකෝ අපි උන්ගේ නම් දන්නේ නෑනේ.. කුරුල්ලගේ ලස්සන බලා ඉඳල එනව(පොටො 2 - 3 කුත් අරගෙනම. ). කට්ටියම එකතු වෙලා අපිට පොඩි රංගනයකුත් පෙන්නල එහෙම කට්ටිය පාරෙන් අයින් උනේ අපිට ඉඩදෙන්න... නිකන් හරියට ඔයාලට තියන ෂෝ එක ඉවරයි කියන්න වගේ.  මෙයාල ළඟත් විනාඩි 10 ක් විතර බලන් ඉඳල අපි ඉදිරියටම ගියා.   

අපිට මීළඟට නෙත ගැටුනේ මහ වනයේ අහිංසක යාලුවො දෙන්නෙක්. 

 බලන්න දෙන්නම එකම බිම බෙදා හදාගෙන ඉන්න හැටි යාලුවො දෙන්නෙක් වගේ. දෙන්නම කන්නෙත් තණකොළ , ඒ උනාට දෙන්න එකම ප්‍රමාණයේ නම් නෙවේ... මුන් දෙන්න දිහා බලා හිටපුවහම ස්වභාව ධර්මයේ නිර්මාණ ගැන කොච්චර දේවල් නම් හිතෙනවද? "කුඩු මුවා" පොඩි උනාට ඌට ආරක්ශාව දෙන්න හොඳ කැරකිච්ච අන් දෙකක් තියනව. සීබ්‍රා ට ශරීරය විශාලව පිහිටල තියනව... බලන්නකෝ හැම සතාටම මොකක් හරි විශේෂයක් සහිතව මැවිල තියන හැටි.
 ඔන්න අපි ආවේ අපි බලා පොරොත්තුවෙන්ම හිටපු ප්‍රදේශයට... මේ තියෙන්නේ නකුරු ජලාශය. ජලාශය පුරාවටම ඉන්නේ විවිධ වර්ගයේ පක්ශීන්. කොක්කු ජාතිම තමයි. බලන්නකො මේ ඡායා රූපයේ ඉන්න කොක්කු වර්ග ටික... ලොකු කොක්කු - පොඩි කොක්කු  - රෝස පාට කොක්කු - කලු සුදු කොක්කු. අවාසනාවට මුන්ගේ නම් නම් මම තවමවත් දන්නේ නෑ. මෙතන ඉන්න ලොකුම කොක්කුන්ට තමයි ලු ෆ්ලෙමින්ගෝ කියල කියන්නේ. කවුරු හරි මුන්ගේ නම් දන්නවනම් පහලින් ලියල යන්නත් අමතක කරනන් එපා.

මේ බලන්නකෝ මෙයාල ටික. මුන්ගේ විශේෂත්වය තමයි හොටයි, බෙල්ලයි යා කරල තියෙන කහ පාට තීරුව. ඒක හරියට පේන්නේ මුන් ඔලුව උඩ අතට හැරෙව්වහම තමයි.


මෙන්න බලන්න පුන්චියට අපි දකින කුරුල්ලෙක් පියාඹන කොට උගේ ප්‍රමාණය.. ඒ වගේම පියාඹනකොට පේන අත් තටු වල වර්ණයයි , වතුරේ ඉන්නකොට වර්ණයයි අතරත් පොඩි වෙනසක් තියනව. කට්ටිය අහල තියනවනේ "කණ කොකාගේ සුද පේන්නේ ඉගිල්ලෙනකොටයි " කියල. මට මුන් ටික පියාඹනකොටත් මතක් උනේ අන්න ඒ කියමන. 

කට්ටියම උදේ පාන්දර රැස්වීමක් වගේ. 

 මේ ඈතට පේන්නෙත් ලක්ෂ ගනන්ක් පක්ශීන්ම තමයි. ඇත්තෙන්ම මේ වගේ දර්ශනයක් සියැසින් දකින්න වාසනාව තිබුන නේද කියලත් හිතෙනව. 

 පහල තියන පින්තූර ටිකත් කුරුලු පාරදීසයේදී ගත්ත මගේ සිත ගත්ත ඡායාරූප ටිකක්... වචන ඕනේ නෑනේ එවයේ සුන්දරත්වය විස්තර කරන්න....  



මෙන්න බලන්නකො මෙයාලගේ කෙරුවාව. එකම වරිගේ වෙලත් ගහ මරා ගන්නවනේ... මෙයාලගේ ගෝරියට හේතුව නම් අපි දන්නේ නෑ..

 
ඒත් ඉතින් මේ ඡායාරූපයේ පේනව වගේ මේ ගෝරිය බලන් හිටපු අය අතරේ පහලින් ඉන්න පුන්චි කුරුල්ලත්, ඈතින් ඉන්න ගෝනටත් අමතරව, අපිත් හිටියා.. 
මේ කාලේ අපේ කට්ටියත් එකම වරිගේ අය ගේ ගෝරි මතක් උනේ මේ පොටෝ එක දකිද්දි. පුන්චි කුරුල්ල ළඟටම වෙලා ගැටුව දිහා බලන් ඉන්නේ දෙන්නව සමත කරන්න තමුන්ට කරන්න දෙයක් නැති හන්ද. ලොකු ලොකු කට්ටිය රණ්ඩුවට පැටලෙනකොට පුන්චි මිනිස්සුන්ට කියල මොනව නම් කොරන්නද? අර ඈත ඉඳන් හොරෙන් බලා ඉන්න එක්කෙනා බලන් ඉන්නේ හරියට "මුන් ඔක්කොම ගෝරි දාගත්තහම අපිට නිදහසේ ඉන්න පුලුවන්" කියල හිතල වගේ. අපේ සමහරුත් එහෙමනේ ඉතින්. අහක හිටපු අපිත් කිසිම සද්දයක් නොකර රණ්ඩුව බලන් හිටියේ අපේ රටේ මාධ්‍යවේදීන් වගේ තමා. කට්ටිය ඇවිලෙන හැටි ලස්සනට පොටෝ ගහල ප්‍රසිද්ධ කළහම මාධ්‍ය කරුවාටනේ ඒකෙත් වාසිය... 

බලපුවහම එක අතකින් කැලේ සමාජයයි - අපේ සමාජයයි දෙකම එක වගේද කියලත් හිතෙනව....

නකුරු චාරිකාවේ තව රසබර විස්තර ගොඩක් තියනව... සිංහයෝ දැකපු හැටි, ළඟට ගිය හැටි.... ඒ විස්තරත් අරගෙන එන්නම් තවත් සටහනකින්... [මේ ඡායාරූප ගත්ත අපේ ගමන් සගයින් වුනු සයන්තන් සහ සමීරටත් විශේෂ ස්තූතියක්  ස්තූතියක් හිමි වෙන්න ඕනේ... ]