ගොඩ දෙනෙක් දන්නව මම නදුන් උයනේ වැඩිපුර ලියන්නේ චාරිකා සටහන් කියල. ලඟ ලඟම දෙවෙනි පෝස්ටුවත් එක් කරන්නයි කල්පනාව.
පසුගිය මාසයේ සති දෙකක රාජකාරිමය අවශ්‍යතාවක් නිසා මම බංගලාදේශයේ සංචාරයක් නිරත උනා. හැමදාමත් වගේ මෙවරත්, යන්න ඉස්සෙල්ලම බැලුවේ ඇවිදින්න යන්න පුලුවන් කොහෙද කියල තමා. ගොඩක් තැන් ගැන විස්තර හොයා ගත්තත්, මගේ ගමනේ මූලික අරමුණ උනේ රාජකාරි කටයුත්තක් නිසා, සංචරණයට හිමි උනේ දෙවෙනි තැන.
නමුත් මගේ වාසනාවට, මට එහිදී හමුවුනා මිතුරෙක් - මම වගේම සංචරණයට කැමති, ඒ වාගේම බ්ලොග් ලියන්නත් කැමති මිතුරෙක්. ඔහුගේ මුසුව මගේ සංචාරක අත්දැකීම් වැඩි දියුනු කලා කියුවොත් නිවැරදියි.
මම බංගලාදේශ සංචාරක සටහන් වලින් පලමුව ලියන්න යන්නේ , බංගලාදේශයේ ඇති විශාලතම බෞද්ධ සිද්ධස්ථානයක් වන ධර්මරාජිකා බෞද්ධ ආශ්‍රමය ගැනයි,
ධකා නගර සීමාව තුලම පිහිටා ඇති, ධර්මරාජිකා බෞද්ධ ආශ්‍රමය වෙත මම ගියේ සවස් වරුවක. ඌබර් ටැක්සියක සහයෙන් ගිය මේ ගමන මම තනියෙන්ම කළ සංචාරයක්. කොහොමහරි අදාල තැනට එද්දි ඈත තියාම මෙම පන්සල හදුනාගන්නට පුලුවන් උනේ වෙහෙරක අනුරුවක් සහිතව ඉදි කර ඇති මේ තුන් මහල ගොඩනැගිල්ල නිසයි. නමුත් මේ ගොඩනැගිල්ල අයත් වෙන්නේ පන්සලේ කොටසක් ලෙස නොව, පන්සලට සමගාමීව පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයේ කොටසක් ලෙසයි.
විහාරස්ථානය ඉදිරිපිට පොලිස් මුරපොලක්ද දක්නට ලැබෙන අතර එවැන්නක් පවතින්නේ ඇයිදැයි පැහැදිලි නෑ. අනිත් කාරනය තමා මෙහි කිසිවෙකුටත්, ඉංග්‍රීසි භාශාව තේරුම් ගැනීමට හෝ කතා කිරීමට හැකියාවක් නෑ.
මම පංසල් බිමේ තවත් ඉදිරියට යන විට හමු වුනේ රන්වන් ලෝහමය බුද්ධ ප්‍රතිමාවක්. සමාධි සුවයෙන් වැඩ සිටින බුදු පිලිම වහන්සේ, ලංකාවේදී අපි දකින බුදුපිලිම තරමින්ම සියුම් නිමාවක් දකින්නට ලැබුනේ නෑ. නමුත් මාගේ වඩාත්ම හිත ගියේ බුදු පිලිමයට පිටු පසින් ටෙරාකොටා ක්‍රමයට අඹා ඇති බුද්ධ ප්‍රතිමා 4 වෙතයි. එකිනෙකට වෙනස් මුද්‍රා 4 කින් යුත් මේ නිර්මාණ අතරින් දකුණු පසින් ඇති රූපය දුටු විට මාහට මතකයට නැගුනේ ඉන්දියාවේ සාරානාත් බුදු පිලිමයයි.
විතර්ක මුද්‍රාවෙන් වැඩසිටින හිටිපිලිම වහන්සේ රෝස පැහැති විශාල පියුමක් මතින් නැගී සිටින ආකාරයක් ඉතා අලංකාරව මෙහි නිමවා තිබෙනවා. රන් වන් පැහැයෙන් දිදුලන බුදු පිලිම වහන්සේ මුහුණපා සිටින්නේ ඊට ඉදිරියෙන් ඇති, විශාල පොකුණ දෙසයි. ලංකාවේද ආරක්ෂිත වැටකදී යොදාගන්නා ඇත් රුව, යුගල ඇති රූ ආකාරයෙන් මෙහිදී යොදගෙන තිබෙන බවත් පෙනී ගියා.
මෙම සුවිශාල බුදු පිලිමයට අමතරව, බුද්ධ මන්දිරය තුල විශාල සැතපෙන පිලිමයක්ද දැකිය හැකියි. එය කිරිගරුඬ පිලිමයක් ලෙස පෙනී ගියත්, එය නිමවා ඇත්තේ කෙලෙසදැයි හරියටම පැහැදිලි නෑ. නමුත් බුදු මන්දිරයේ සම්පූර්ණ දිගම භාවිතවෙන ආකාරයෙන් මෙම අලංකාර පිලිමය නිමවා තිබෙනවා.
මීට අමතරව මෙම ස්ථානයේ අපගේ ආකර්ශනය ලබා ගන්නා අනෙක් නිර්මාණය වන්නේ වර්ණ වීදුරු කැබලි යොදාගෙන කර ඇති බුද්ධ රූපයයි. මෙහි මුස්ලිම් පල්ලි ආශ්‍රිතව බහුල මෙම ශිල්ප ක්‍රමය යොදා ගෙන ඉතා අලංකාර ලෙස මෙම බුදු රුවත් සකසා ඇති බව කිව යුතුයි.
ඉතා කෙටි චාරිකාවක් උනත්, විදෙස් රටකදී - විශේෂයෙන්ම මුස්ලිම් ආගමික රටකදී දුටු බෞද්ධ සලකුණු දැකීමෙන් මාගේ සති අන්ත හවස් වරුව සතුටින් ගත කරන්නට හැකියාවක් ලැබුණා.
මීලගට සංචාරක සටහන් ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට යන්නේ මෝගල් අධිරාජ්‍යයේ රජ මැදුරක් වූ, ධකා වල පිහිටි ටජ් මහල වැනි ස්මාරකයක් ගැනයි.
කලකින් පසු ලියූ ලිපිය ගැන ඔබේ අදහස් පහතින් දක්වා යන්න.