Pages

Friday, April 13, 2012

පරන අවුරුද්දේ තෑග්ග... නයිරෝබි කෞතුකාගාරයට ඔබටත් නොමිලේ චාරිකාවක්.... (ඇරඹුමක් පමණි....)

ඔන්න ඉතින් පොරොන්දු උනා වගේ කෙන්යාවේ චාරිකා සටහන් පෙලේ තවත් සටහනක් එක්ක තමයි අදත් නදුන් උයනට ගොඩ බැස්සේ.. නදුන් උයනත් එක්ක හැමදාම ඉන්න අය නම් දන්නවා අද මොකක් ගැනද ලියන්න යන්නේ කියල.

දැන් කියන්න බලන්න ඔයාලගෙන් කී දෙනෙක් පහුගිය අවුරුදු 2-3 ක් ඇතුලත ලංකාවේ තියන ජාතික කෞතුකාගාරයට ගිහින් තියනවද? බොහෝ දෙනෙක් කියයි පාසැල් කාලේ ගියාට පස්සේ ගිහින් නෑ කියල.. ඇත්ත ඒක තමයි..මමත් කොළඹ කෞතුකාගාරයට අන්තිමට ගියේ 2010 වසරේ.

අපේ කෞතුකාගාරයට ගිය අය නම් දන්නව ඇතිනේ එතන ප්‍රධාන කොටස් දෙකක් තියනව. එකක් ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල. අනික තමයි ස්වභාව - විද්‍යා කෞතුකාගාරය. (මම කොළඹ කෞතුකාගාරය ගැනත් ලිපියක් ලියන්න හිතන් ඉන්නේ 2010 දී කල චාරිකාව ඇසුරු කරගෙන )

හැබැයි ඉතින් අද ලියන්නේ කෙන්යාවේ ජාතික කෞතුකාගාරය ගැන. අපේ රටේ වගේම ප්‍රදේශීයව කෞතුකාගාර කීපයක් රට පුර තිබුනත්, මූලික කෞතුකාගාරය තියෙන්නේ කෙන්යාවේ අගනුවර වුනු නයිරෝබි නගරයේ. නගරයේ තරමක් උස් භූමියක තමයි මෙය පිහිටල තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයටත් කියන්නේ "මියුසියම් හිල්" කියල. 

අපිට ඉතින් ගමනක් යන්න උනොත් බාධා ඇතිවෙන එක කියන්නත් දෙයක් නෙවෙයිනේ. ගිනිකඳු බලන්න මගක්ගිහින් ආපහු ආපු හැටි මම කියුව මතකයිනේ. ඒ වගේ තමා අපි කෞතුකාගාරය බලන්න යන්න හිටපු ගමනටත් බාධා ගොඩක් ආව. හැමදාම වැඩේ කල් යනව. කොහොමෙන් කොහොමෙන් හරි අපිත් එක්ක එකට හිටපු මගේ සරසවි මිතුරා- දුලීප ට පිංසිද්ද වෙන්න ඔන්න අපිත් ඉරිදාවක උදේම පිටත් උනා නයිරෝබි ජාතික කෞතුකාගරය නරඹන්න. 

මෙන්න තියනව පිලිගැනීම.... 


කෙන්යාවේ කලාඋරුව විදහා දැක්වෙන මේ ගල් කැටයම තමයි ඉදිරියෙන්ම තියෙන්නේ. මේකෙන් නිරූපනය වෙන්නේ මොනවද කියන එක කාටත් තේරෙනවනේ... අම්මෙකුයි දරුවෙකුයි තමයි මේ ඉන්නේ.අප්‍රිකානු මිනිස් හැඩතලනම් මේ කැටයමෙත් ඒ ආකාරයෙන්ම පිහිටල තියනව.. (ඔන්න ඉතින් වැරදියට තේරුම් ගන්නව එහෙම නොවෙයි )  

ඔන්න අපි පොඩ්ඩක් ඉදිරියට යද්දි අලංකාර  වර්ණ වීදුරු යොදා සකස් කරපු නිර්මාණයකුත් තිබුනා. ඒකත් පහුකරගෙන තම්යි මේ පහල තියන පුවරුව සහිත ප්‍රධාන කෞතුකාගාර ගොඩනැගිල්ලට ඇතුල්වෙන්න තියෙන්නේ.

ඔන්න ඉතින් ඇතුල් උනා කියල විතරක් මදිනේ. අපිට අපේ රටේ ඉතිහාසෙවත් නොමිලේ පෙන්නන්නේ නැති එකේ පිට රටක ඉතිහාසේ පෙන්නයිද නොමිලේ. දැන් ඉතින් ගන්න වෙච්චි ටිකට්. මට නම් ඉතින් "ඒලියන් කාඩ්" එකක් තියන හන්දා ගාන ටිකක් අඩුයි. ඒත් අපේ මිතුරට නම් ටිකට් එකේ ගාන ටිකක් වැඩියි. ඔන්න ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි ටිකටුත් අරගෙනම අපි කෞතුකාගාරය ඇතුලට ආව.. දැන් අපේ අරමුන කොනක ඉඳල කෙන්යාවේ අතීතය තේරුම් ගන්න... 


ඔන්න ඇතුල් වෙච්ච තැනම වම් අත පැත්තේ විවෘත බිමේ දකින්න ලැබෙන දේ තමයි මේ. මේ ඉන්නේ ජීව ප්‍රමානයේ අපිකාණු ඇතෙක්. අප්‍රිකාණු වනාන්තර වල මේ ඇත්තු විශාල වශයෙන් ඉන්නව. හැබැයි ඉතින් මෙයාලනම් හීලෑ වෙන්නේ නෑ.. අපේ රටේ ඉන්න අලියෙක්ට වඩා කන් එහෙම නම් ලොකුයි. ඒ වගේම තමයි දල දෙකෙනුත් ලොකු ඝාම්භීරත්වයක් ඇවිල්ල තියෙන්නේ සතාට...  


මෙන්න ඉන්නව අප්‍රිකාණු ඇතා ඇත්තම විදිහට. අර අපේ රටේ රාජව හදල තියනව වගේ මෙයාලත් කෞතුකාගාරය ඇතුලේ අප්‍රිකාණු ඇතෙක් ඇත්තම ශරීර කොටස් සහිතව හදල තියනව. ඒත් එක්කම ඇතෙක්ගේ ඇට කටු වලිනුත් ඇතාව පෙන්නුම් කරල තියනව. තල්මසෙක්ගේ ඇට කටු තියන හන්දා අපේ රටේ කෞතුකාගාරයට " කටු ගේ" කියල කියනව වගේ ඇතෙක්ගේ පූර්ණ ඇට කටු තියන හන්දා මේ කෞතුකාගාරයටත් "කටු ගේ" කියල කියන්න පුලුවන්..


මේ යෝධ සතුන් බලාගෙනම පොඩ්ඩක් ඉදිරියට ගියහම බිත්තියක උඩින් ඉන්නව මෙන්න මෙයාල... මේ තමයි කෙන්යාවේදී අපි දකින මුවෝ සහ ගෝන්නු වර්ග. මියගිය සතුන්ගේ සම් - අන් තට්ටු යොදාගෙන ඇත්තම සතාගේ හිස කොටස සකස් කර තිබෙන අයුරු නම් හරිම අගනේයි. මේ සත්තු ටික එක පෙලට ඉන්නකොට මටනම් වැඩි අවදානයක් යොමු උනේ එකිනෙකාගේ අං තට්ටු වෙතට... සතාගෙන් සතාට අං තට්ටු අතර වෙනස් කම් ගොඩක් දකින්න පුලුවන්. සමහරුන්ගේ අං තනි කෙලින්.. සමහරුන්ගේ ඇඹරිලා ගිහින්. සමහරුන්ගේ දිගයි - සමහරුන්ගේ කොටයි - නමුත් තියුනුයි. සමහරුන්ගේ අතු බෙදිල - සමහරුන්ගේ අං දෙකක් විතරයි... මේක තමයි සොභා දහමේ විවිධත්වය.. 

 මෙන්න ඉන්නව මේ පේලියේ හිටපු පළවෙනියා වගේම පුංචිම මුවා.  මෙයාගේ නම "ඔරිබි". මොවුන් සතු කෙටි - තියුණු අං යුවල මෙයාලට ලොකු සේවයක් කරනව. කැලේ සටන් වලට ගියහම මෙයාලට තියන ලොකුම පිහිට තමයි මේ තියුණු උල් සහිත අං දෙක. 
 
මෙයත් මේ ඇන්ටිලොප් වර්ගයේ මුවෙක්."බෙයිසා ඔරික්ස්" තමයි නම. මෙයාගෙත් අං දෙකනම් තියුනුයි. තනි කෙලින් තියන අග තියුණු අං දෙක මෙයාටත් කැලේ සටන් වලදි උදවු වෙනවලු. නමුත් පොර බැදීමෙන් මෙන්ම ප්‍රතිවාදියා තල්ලු කරදැමීමෙනුත් මෙයාල සිය ආරක්ශාව සලසාගන්නා බව සටහන් වෙලා තිබුනා.මොවුන්ගේ තියන තව විශේෂයක් වෙන්නේ අනෙකුත් ඇන්ටිලොප් මුවැත්තියන්ගේ අං නැති උනත් මොවුන්ගේ ගැහැනු සතාට දිගටි අං පිහිටල තියනව.
මෙයා "එලෑන්ඩ්". තවත් ඇන්ටිලොප් කෙනෙක්. අං දෙක කැරකිලා ගිහින් තියන අං දෙක නම් හරිම අපූරුයි. කැරකුණු අං සහිත ඇන්ටිලොප් සතුන් අතරින් ශක්තිමත්ම අං දෙක තිබෙන්නේ මේ වර්ගයට බවයි සටහන් වෙලා තිබුනේ. ඒ වගේම අනෙක් සතෙක්ට ඇනීමට වගේම පහර දීමටත් මේ කැරකිලා ගිහින් තියන අං දෙක ප්‍රයෝජනයට ගන්නවාලු. මෙයාට එහායින් ඉන්නේ "ඉම්පාලා". එයාගේ අං දෙකේ සුවිශේශී බව තමයි "එස්" අකුරේ හැඩයට කැරකැවී ගොස් ඇති අං යුවලක් වීම. මොවුන්ගේ පිරිමි සත්තු මේ අං දෙකෙන් ලොකු ලොකු සටන් කරනවාලු.,.

මෙයා "බොන්ගෝ". තවත් ශක්තිමත් ඇන්ටිලොප් කෙනෙක්. ගැහැණු  - පිරිමි කාටත් අං පිහිටල තියනව. මොවුන්ගේම තවත් සුලු වෙනස් කම් සහිත වර්ගයක් බටහිර අප්‍රිකාණු රට වලත් දකින්න පුලුවන්. බොන්ගෝ සටන් වදින්නේ ඇනීමෙන් සහ එකි නෙකා හැප්පීමෙන්. ශක්තිමත් සිරුර ඊට උපකාරී වෙනවාලු.


මෙයා නම් කට්ටිය දන්නවානේ... මෙයා තමයි කුළු මීමා.. ඇත්තටම කියනවා නම් අප්‍රිකාණු කුළු මීමා. ශරීර ප්‍රමාණය නම් අපේ මී හරකුන්ට වඩා ලොකුයි. ඒ වගේම ශක්තිමත් අං දෙකක් පිහිටල තියෙනව. නමුත් ගැටුමකදී නම් අං දෙකට වඩා හැප්පීම තමයි ආරක්ශාවෙන්න යොදා ගන්නා උපක්‍රමය.

ඉතිහාසය ගැන කියන්න ආවට සත්තු ගැන විතරයි නේද තාම කියුවේ.. තව විස්තර ගොඩක් තියනව, මේ ගැන කියන්න.. කෙන්යාවේ ගෝත්‍රික සංගීත භාන්ඩ ගැන - ගෝත්‍රික උපකරණ ගැන, ඔවුන්ගේ ගෝත්‍රික සමාජය ගැන - ගැහැනු පිරිමි වැඩි වියට පත්වෙද්දි කරන කියන දේවල් ගැන , ඒ වාගේම ආදිතම මිනිසාගේ පොසිල වගේම වසර දහස් ගනනකට පෙර හිටපු අං තියන ජිරාෆ් ලාගේ පොසිල ගැනත් ඉස්සරහට විස්තර කියන්නයි ඉන්නේ. 

නදුන් උයනේ ඉදිලි ලිපි අතරේ ඔය දෙවල් පින්තූරත් එක්කම එලියට ඒවි. මේ පරණ අවුරුද්දේ නොනගතේ ලබන්න ඉස්සෙල්ල ලිපිය අදට ඉවර කරන්නයි මගේ අදහස. ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ අලුත් ලිපියකින් හමු වෙමු.  
ඔබ සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා. !!!


 

Monday, April 9, 2012

මායාකාරී කෙන්යාවේ සිට අලුත්වන ශ්‍රී ලංකාව දක්වා.. (From Magical Kenya to Refreshingly Sri Lanka )


පෙර ලිපිය ලියල මාස 2 කටත් වැඩියි. ලිපියක් ලියන්න හිතාගෙන හිටියත් බොහෝ හේතු නිසා ලිපියක් ලියන්න බැරි උනා. ඒ බොහෝ හේතු අතර ආසන්නතම හේතුව උනේ මගේ පහුගිය කාලයේ ලිපි රැසකටම පාදක වෙලා තිබුනු කෙන්යාවේ ජීවිතයට සමුදී යලිත් මවු රට පැමිනීම. සමහර විට නදුන් උයනේ බ්ලොග් රසිකයෝ ටික ඒ ගැන කණගාටුවෙනවත් ඇති. නමුත් ලංකාවේ ඉඳලත් ලියන්න තව ගොඩක් විස්තර තියනව. අඩුම තරමේ තව ලිපි 5 ක් වත් කෙන්යාව ගැන ලියන්න තමයි අදහස. 

කෙන්යාවේ රාජකාරි කටයුතු අවසන් කලයුතුව තිබූ නිසා, යම් තරමක් දුරට කාර්යබහුල වීමත්, මවු රටට පැමිනි විගසින් නදුන් උයනේ සැරි සරන්නට අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති වීමත්, නිවාඩු පාඩු ලැබුන සෑම විටකම විවිධාකාර අමතර කටයුතු වල නිරතවීමත් කියන හේතුත් මේ කෙටි නිහැඬියාවට යම් තරමක් හෝ හේතු කාරක උනා.    

මාස 8 කට පමන පස්සේ ලංකාවට ගොඩ බැස්සහම ඇතිවෙන සතුට නම් කියල නිම කරන්න බැරි තරම්. කොච්චර දුක් කරදර විඳින්න උනත්, අපේ රටේ හමන සුලඟත් මට නම් සැපයි... සනීපයි... පැය 12 ක විතර සම්පූර්ණ ගමනකින් පස්සේ පෙබරවාරි 12 වෙනිදා හිමිදිරි පාන්දර මේ පින්බිමේ පය තියල, අපේ හුලං පොදක් වැදුනහම හිතට දැනෙන හැඟීම නම් කියල නිම කරන්න බැරි තරම්. ඒ වගේම තමයි ඒ වගේ කාලයකට පස්සේ දෙමවුපියො - අක්ක වගේම ආදරය කරන අනිත් හැමෝමත් දකිනකොට - එයාල එක්ක කතා කරනකොට ඇත්වෙන්නෙත් පුදුමාකාර සතුටක්. 

ඔය අතරේ අපේ සරසවියේ යාලුවෝ සෙට් එක මම එනකන්ම බලා සිටියා මිතුරු හමුවීමක් වෙනුවෙනුත්. ඒ අයටත් ගොඩක් ස්තූතියි මම ආපහු එනකන්ම බලාහිටියට - ඒ වගේ මිතුරු හමුවක් පවත්වන්නට. දැන් ඉතින් කට්ට්ටියට තේරෙනවනේ පහුගිය ටිකේ නදුන් උයනේ වැඩියසැරි සැරුවේ නැත්තේ, සිය රට පැමිනීමේ ප්‍රීතිය උපරිම ලෙස විඳිමින් හිටපු නිසා බව. 

මේ අතර කිවයුතු තවත් දෙයක් තමයි නඳුන් උයනේ කාටත් හොරා සැරි සරන කුරුලු- කිරිල්ලියන් රැසක් දැන ගන්නට ලැබීම. පසුගිය දිනවලදී විවිද මිතුරු හමුවීම් වලදී ගොඩ දෙනෙක් නදුන් උයනේ කෙන්යා චාරිකා ගැන කතා කලා.. ඒ ගැන නම් හරිම සතුටුයි. සමහරුමිනිසුන් පන පිටින් පිලිස්සුන හැටි ගැන විස්තර ඇහුව... සමහරු මම තණකොල පෙත්තො කාපුහැටි ගැනත් විස්තර කතා කලා. හෙල්ස් ගේට් ගිනිකන්දේ විස්තර අහපු අය, සිංහයෝ දකින්න නකුරු ගිය හැටි ගැනත් ඒ අය මගෙන් විස්තර ඇහුව.. ඇත්තටම ඒ ලැබුනු ප්‍රතිචාර ගැන ඒ මිතුරු මිතුරියන්ට ස්තූතියි.

ඔය අතරේ කියන්නම ඕනේ වසරක් පුරාවට නයිරෝබි වලදි මගෙත් එක්ක තනි- නොතනියට හිටපු අපේ යාලුවො හැමෝටමත්, කෙන්යා ජාතික මිතුරු - මිතුරියන් හැමෝටමත් හදවතින්ම ස්තූති වන්ත වෙනව. දුර රටකදි තමුන්ගේ මිනිස්සුන්ගේ අඩුව දැනෙද්දි ඔබ සියලු දෙනා ඒ පාලුව - අඩුව මකන්න ලොකු හය්යක් උනා... 

මම මීට පෙර ලිපියෙන් කියුව වගේම මගේ මීළඟ ලිපිය, නයිරෝබි ජාතික කෞතුකාගාරය පිලිබඳව. බලා පොරොත්තුවෙන් ඉන්නට ආරාධනා කරනවා..