Pages

Saturday, January 21, 2012

ගිනිගෙන දැවෙන ගෙන්දගම් පොලොවක පය ගැසුවෙමි... (I I)


අද නම් මාරම සතුටකින් තමයි ලිපිය ලියන්නේ.. මොකද මගේ බ්ලොග් උපන් දිනේ සමරන්න ගොඩක් දෙනෙක් ඇවිල්ල ගිහින් තිබුණා. ඒ හැමෝටම ස්තූතියි.. මගේ එක් බ්ලොග් සටහනක් වෙනුවෙන් ලැබුණු වැඩිම ප්‍රතිචාරත් ලැබුනේ ඒ උපන්දින සටහනට තමයි.

ඔන්න ඉතින් මගේ වෙච්ච පොරොන්දුවක් තියනවනේ... මම මේ ලෑස්ති වෙන්නේ ඔන්න පහුගිය සතියේ වෙච්ච පොරොන්දුවත් ඉස්ට සිද්ද කරන්න .. පසුගිය සතියේ පළ කරපු "ගිනිගෙන දැවෙනගෙන්දගම් පොලොවක පය ගැසුවෙමි......... " ලිපිය කට්ටියට මතක ඇති කියල හිතනව. නැත්නම් ඒ ලිපිය කියවලම එන්න.. එතකොට මේ කතාවේ අගක් මුලක් අල්ල ගන්න ලේසි වෙයි.

කෙන්යාවේචාරිකා යන අතරේ අපි එදා ආවේ නරකාදියේ දොරටුව හෙවත් "හෙල්ස් ගේට්" ජාතික වනෝද්‍යානයට කියල දැන් මතකයි නේ. එදා මම නැවැත්තුවේ "යක්ෂයාගේ නිදි යහන" ළඟට ඇවිල්ල ආපසු හැරුණා කියන තැනින්නේ. ඔන්න අපි ආපසු එන ගමනේදි මග දුරක් ආවට පස්සේ එක්තරා තුන් මන් හංදියකට ලඟා උනා. එක පැත්තක් අපි දැන් මේ එන පාර, අනික් පසින් අපි මුලින් ආ මග, සහ අනිත් පසින් අලුත්ම පාරක්.. අපේ මග පෙන්වන්නා මේ අළුත් පාර දිගේ අපිව එක්කන් ගියා. 

මෙහිදී කිව යුතු සුවිශේෂී දෙයක් තියනව.. මේ මග පෙන්වන්නන් කොතරම් පරිසරයට ආදරෙයිද කියන එක අපිට ඇත්තටම අවබෝධ උනේ මේ සිද්දිය නිසා. මග දිගට අපි යද්දි තැනින් තැන පුන්චි පුන්චි පොලිතින් කවර වැටිල තිබුනා. හැබැයි ගොඩක් නෙවෙයි.. ඉතා පොඩ්ඩක්.. මේ මග පෙන්වන්නා ඒ සියල්ල අහුල ගත්තා. අතර මගදි හමු වෙන විසි කළ හිස් වතුර බෝතල මෙන්ම බීම බෝතලත් ඔක්කොම මෙයා ලොකු බෑග් එකක දාගෙන එකතු කර ගත්තා.පරිසරයට කොච්චරටම ආදරය කරන මිනිස්සුද කියල හිතුනේ ඒ සිද්දියෙන් තමයි. මෙයාල මෙහෙම එකතු කරන හන්ද ඒ පරිසරය ඉතාපිරිසිදුව තියෙන බවත් කියන්නම ඕනේ...

ඔන්න මම දැන් කියුවනේ අපි යනව අලුත්ම පාරක කියල... ඇත්තෙන්ම මේ පාර නම් අර ලාවා ගලපු කාණු වගේ පටු පාරවල් නෙවෙයි. නමුත් මේ ප්‍රදේශයෙනුත් ඈත අතීතයේ ලාවා ගලා ගොස් තියෙන බවට සාධක නම් ඕනෑ තරම් තිබුනා.. ඒ වගේම සමහර තැන් වලින් යද්දි දැනිච්ච ගෙන්දගම් ඝන්දයත් අපිට හරිම අප්‍රසන්න ගතියක් එක් කලා. ඒත් අපි මේ යන්නේ , පළමුව උණු වතුර දිය ඇල්ලක් බලන්න... දිය ඇල්ලක් කියුවට අපේ රටේ වගේ මහ විසාල එකක් නොවෙයි.පුන්චි දිය පාරක්.. බලන්නකෝ මේ යටින් තියන පින්තූර 2.


*********************


මුල්ම ඡායාරූපයේ තියෙන්නේ ඉහල ඉඳන් වැටෙන දිය පහරක්.. ඔය දිය පහරට ලන් වෙද්දිම තමයි අපි දැක්කේ ඒ වතුරෙන් දුම් දානව කියල.. අපිත් ශේප් එකේ අත පොඩ්ඩක් දාල බැලුව.. හොඳට රස්නේ දැනෙන උනු වතුර පාරක් තමයි වැටෙන්නේ.. කොතන හරි උනු දිය උල්පතකින් තමයි මේ වතුර පාර ගලනවා ඇත්තේ..
දෙවන ඡායාරූපයේ තියෙන්නේ ඒ විදිහට ගලා හැලෙන වතුර පාරවල් ගොඩක්... මම නම් මේ පළමු වතාවට තමයි උනු දිය ඇල්ලක් ඇස් දෙකෙන් දැක ගත්තේ,... ඒ වගේම ඒ වතුරට අත් දෙක අල්ලල බැලුවෙත්.. වැඩේ කියන්නේ ඒ වතුරෙන් අත හේදුවහම, අතත් සල්ෆර් ගඳයි.

ඔන්න මේ උනු දිය ඇල්ල බලල ඉස්සරහට යද්දි අපිට යන්න තිබුනේ පුන්චි දිය පාරක් හරහා... මේ දිය පාර දිගේ තමයි අර ඉහලින් කඩන් හැලෙන උනු වතුර පාරත් යන්නේ. ඒක හන්දා මේ වතුර පාර ටිකක් රස්නෙයි. ඔන්න අපි ඉස්සරහට යද්දි මෙන්න අපිට හම්බ උනා හෙල්ස්ගේට් වලදී හමුවන උනුසුම්ම දිය උල්පත් අතරින් දෙවෙනි තැන ගන්නා උනු දිය උල්පත.. ඒක තමයි මේ...




උල්පතෙන් දුම් දානව අපේ පියවි ඇසට පෙනුනත්, කැමරා කාචයටනම් හසු කරගන්න බැරි උනා.. මේ උල්පතේ ජලය සෙල්සියස් 40 ක වගේ උෂ්නත්වයක් තියනව කියල තමයි අපේ මග පෙන්වන්නා කියුවේ. මේ උනු දිය උල්පතේ ජලයත් , නිදහසේ ගලා යන දිය පාරට එකතු වෙනව... එතනින් තව ඉස්සරහට යද්දි මෙන්න තියනව තවත් පුන්චි දිය උල්පත් 3ක් .



මේ දිය උල්පත් තුන තමයි එතන තිබුන උනුසුම්ම දිය උල්පත් 3. මෙහි ජලය සෙල්සියස් 70 ට ආසන්න බව තමයි අපිට දැනගන්න ලැබුනේ.. හැබැයි වතුර ගොඩක්ම රස්නෙ බවත් නටන වතුර වගේම උෂ්ණත්වයක් එහි තිබුණ බවත් අපිට හොඳටම අවබෝධ උනා... මේ ආකරයෙන් උනු දිය උල්පත් කිහිපයක්ම අවට තිබුණු බවත්, ඒ සියල්ල අතරින් ඔය ඉහලින් තියන උල්පතේ ජලය අතිශය උනුසුම් බවත් කියන්නම ඕනේ. ඔන්න අපිත් දැන් උනු දිය උල්පත් බලල ඉස්සරහට යනව... 
 
මේ අතරෙදි අපේ නියාමක වරය ඇහුව, මේ බැලුව ඇතිද, තව දේවල් බලන්න ඕනෙද කියල...අපි ඉතින් අද දවස පුරාවටම දැක්කේ කවදාවත් දැකපු ඒව නෙවෙයිනේ.. ඉතින් අපිට තිබුනේ තවත් ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එකක් ගන්න. අපිත් කියුව, හා හා තව දේවල් බලන්න යමු කියල... ඔන්න ඉතින් බුවා කියපි, තව පැය එක හමාරක් විතර යයි හැබැයි කියල... අපිටත් වැඩිය ඒ ගැන තේරුමක් තිබුනේ නැති හන්දා අපිත් හා හා කියල අපේ ගමන දික් කරගත්ත...

දැන් මේ වෙද්දි අපි ලඟ තියෙන්නේ එක වතුර බෝතලයක් සහ එක කජු පැකට් එකක් විතරයි... [දැන් වෙලාව 2 විතර උනත් අපි දවල්ට කාල හිටියෙත් නෑ.. ]

ඔන්න ඉතින් අපි ඉතුරු ටිකත් යන්න පිටත් උනා..
ඔන්න දැන් යනවා.... යනවා... යනවා..... ඉවරයක් නැතුව යනවා...

බලන්න කියල විශේෂ දේකුත් නෑ... යන මගටම තියෙන්නේ ලාවා ගැලූ මාර්ගය.. ඔන්න අපේ කට්ටියටත් පොඩ්ඩක් වගේ අමාරුව දැනුනේ මෙහෙම පයින් ඇවිදගෙන යද්දි. කොහොමත් මේ වෙද්දි කිලෝමීටර් 10 ක් විතර අපි ඇවිල්ල තිබුනේ..

ඔන්න එක තැනකට අපි ආවට පස්සේ අපේ මග පෙන්වන්නා කියුව මෙහෙම කතාවක්... 

"මෙතනින් ඉස්සරහට ගියොත් ආයෙ මේ පාරේ ආපහු එන්න බෑ.. අපි යනවද? ඔයාල කොන්ෆිඩන්ස් ද " කියල.. මේ යකා මේ මේ මොනව අහනවද

දැන් මේ ගමන යන්නනේ පිටත් උනේ.. අපිත් ඉතින් ගත් කටටම කියුව යමු යමු කියල...

ඔන්න චුට්ට දුරක් යද්දි මහා හෙලක්.. !!!

දැන් මේ හෙල දිගේ අපි බහින්න ඕනේ.. බැස්සොත් ආයේ උඩට එනවා නම් බොරු.. තනි කෙලින් තියන ගලක් , අඩි 12 ක විතර ප්‍රපාතයක් තියෙන්නේ... අම්මෝ.. දැන් නම් මතක් වෙනකොටත් බය හිතෙනවා... මේ ප්‍රපාතයේ අඩි 5ක් විතර පහලින් තියනව පුන්චි ගැට්ටක්,. ඔන්න දැන් අපේ අරමුන පලමුව මේ ගැට්ටට බැහැල, ඊට පස්සේ බිමටම පනින්න.. මේ ප්‍රපාතයේ ලස්සන වැඩේ කියන්නේ මේ ගල් තලාව උඩින් වතුර පාරකුත් ගලනව..ඒක හන්ද මේ ගල පුරාවටම දිය සෙවෙල් බැඳිල, ඔන්න අපේ උපදේශක වරයා මුලින්ම බැස්සා අර මම කියුව පුන්චි ගැට්ටට.. ඒක ගැට්ටක් කියන්නේ අඟල් 6 ක් විත ඇති වැඩිම උනොත්...

දැන් බුවා බැහැල අපිට කියවනවා , එක එක්කෙනා බහින්නලු.. 

බහින්න නෙවේ.. හිතන්නත් බයයි... 

මොකද අපි කවුරුවත් එතන ජීවිතාරක්ෂක කබා වත්, කඹ වත් අරන් ගිහින් හිටියේ නෑනේ.. ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි ඉස්සෙල්ලම බැස්සේ දුලීප.. 

මුලින්ම අපි අපේ පය තිබ්බේ අර මනුස්සයාගේ උරිස්සට. ඊට පස්සේ මේ මනුස්සය අපිට කියපි අර ගලක් හොඳට අල්ල ගන්න කියල... ඔන්න ඊට පස්සේ එයාගේ කර උඩ තියල තිබ්බ පතුල් දෙක ඒ මනුස්සයගේ අත් දෙකෙන් අරන් එයාගෙම කකුල් දෙක උඩින් තියාගත්තා.. මොකද එතන අපේ කකුල් වත් තියනන් තරම් ඉඩක් නෑ.. දැන් මම ඉන්නේ අර මනුස්සයගේ කකුල් උඩ... පැත්තකින් තිබ්බ ගලක් හොඳට අල්ලගෙන... දැන් බුවා මගෙ අත් ඩෙකින් හොඳට අල්ල ගත්තා... ඊට පස්සේ මට කියුව, මගේ කකුල් දෙක එයාගේ කකුල් දෙක උඩින් අයින් කරල ප්‍රපාතයට දාන්න කියල.. දැන් මම ඉන්නේ මෙයාගේ අතේ වාරුවෙන්... මෙන්න බුවා එක පාරටම කියපි දැන් මම ඔයාව අත අරිනව, එතකොට කෙලින්ම බිමට පනින්න කියල..

දැන් ඉතින් මොනව කොරන්නද? කාටත් තියෙන්නේ එක පනයි කියල පැන්නේ නැතැයි බිමටම... හප්පේ... 

එහෙමත් ට්‍රිප් එකක්  !!!
 
ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි ඒ බාධකේ පසු කරගෙන ඉස්සරහට ආව කියමුකො.. දැන් නම් කිසිම සංචාරකයෙන් පේන්නත් නෑ. අපි 4 දෙනා විතයි ඉන්නේ... යනවා යනවා.. ඉවරයක් නෑ.. දැන් නම් ටිකක් හිතට බයත් එක්ක.... ඒ වගේම මහන්සියි, බඩ ගිනියි.... කකුල් රිදෙනව අම්බානකට.. මමත් බයේ ගියේ කොයි වෙලේ මටත් මිග්‍රේන් හැදෙයිද දන්නේ නෑ කියල... ඔන්න දැන් බැරිම තැන, අර කජු පැකට් එක කඩාගෙන කෑව.. දැන් වතුර තියෙන්නෙත් හෙන පොඩ්ඩයි.. අපි තාම මේ යන ගමන් නේ... දැන් මේ දුර ආපහු එන්නත් ඇපැයි.. ඔන්න ඒක ගැන හිතල පොඩ්ඩක් තොල තෙමා ගන්න විතරක් වතුර ටිකක් බීල ආයෙත් පිටත් උනා.. 

මෙන්න ටික දුරක් යද්දි ඈතින්  පේනව, පුන්චි දුම් පාරක්.. මෙන්න මේක පෙන්නල අපේ මග පෙන්වන්නා කියපි "අතනින් තමයි, පොලොවේ හුමාලය එලියට එන්නේ කියල.... " අපිටත් ඒ කියුව කතාව වැඩිය තේරුනේ නෑ.. 

දැන් කොහොමත් අපි ප්‍රධාන දොරටුවේ ඉඳන් කිලෝමීටර් 10 ක් විතර කැලේ ඇතුලේ ඉන්නේ. අපි තුන් දෙනාටම මාර මහන්සි.. කකුල් රිදෙනව අම්බානට..   දැන් මේක බලන්නේ නැතුව යන්නත් ලෝබයි.. බලන්නත් තව ගිහින් ඒ දුරත් ආපහු එන්නත් ඇපැයි.. ඒක මතක් වෙද්දි යන්නත් හිත නෑ.. ඔන්න ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි 5 තැනක විතර විඩා නිවාගෙන අපි මේ දුම් දාපු තැනට ලං උනා... පේනවද මහ පොලොවෙන් දුම් දාන අපූරුව...

 
ඇත්තටම මේ තමයි මේ ගිනි කන්දේ අදට යම් තරමකට හෝ සක්‍රීය කොටස.. මේ දුම් වගේ යන්නේ මෙතන ගිනිගොඩකින් නෙවෙයි.. මහ පොලොවෙන් ඉහලට එන වතුර තමයි, පොලොවෙ තියන රස්නෙට ජල වාශ්ප විදිහට යන්නේ.. 

ඔය අතරේ තව දෙයක්... මේ හරියට යද්දි හරිම ඝෝෂා කාරී බවක් තමයි දැනුනේ. හිතන්න පුලුවන්ද මේ ඝෝෂාව ඇති වෙන්නේ කොහොමද කියල... ඒ සද්දේ තමා, පොලොව යට වතුර නටන සද්දේ. ඇත්තටම ඒකනම් හරිම අමුතු හඬක්... කට්ටියට හිතාගන්න පුලුවන්නේ, පොලොව යට වතුර ජොර ගොර ගාල නටන සද්දේ ඈතට ඇහෙනකොට කොහොමද කියල...



මේ පින්තූරෙන් දුම් දානව හොඳටම පේනව.. මේ හරියේ පස හරිම තුනී.. හරියට කිරි මැටි වගේ... ඒ සැහැල්ලු බව නිසා වෙන්න ඇති මෙතනින් වාශ්ප උඩට මතු වෙන්නේ...




මේ බලන්න මේ ඡායාරූපය ගත්තේ ඒ වගේ දුම් දාන එක මූලයකින්. මෙතන ගොඩක් රස්නෙයි.කැමරා කාචයටත් හානි වෙයි කියල බය හිතුනා. පොලොව අතරින් හැදිච්ච කුහරයකින් තමයි මේ වාශ්ප ඉහලට එන්නේ... 



එතන ඉඳල මීටර් 100ක් වගේ ඉස්සරහට යද්දි මෙන්න තියන්ව තවත් ඒ වගේ පොලොවෙන් සෑදුන සිදුරක්.. මෙතන නම් නටන වතුර අර ගල් අස්සෙන් විදිනව. ඒත් ජලය එලියට ගලන්නේ නෑ.. ජල වාෂ්ප තමයි ඉහලට යන්නේ.. මෙතන උෂ්නත්වය නම් සෙල්සියස් 100 ට වැඩි. මෙතනම් තව පොඩ්ඩක් එහායින් මේ බලන්නකෝ තවත් උල්පතක් වගේ යමක්..
මෙතන පුන්චි ලිඳෙත් වතුර නටනව..


අවට තියන ගල් පවා උනු වෙලා වගේ තියෙන්නේ මේ උෂ්නත්වයට වෙන්න ඕනේ... කොච්චර අමාරුවෙන් ආවත් මේ ටික දැක්කහම ඒ අමාරුව කොහෙන් ගියාද මන්ද.. මේ ටික දැක්කහම නම් අනිවාර්යයෙන්ම නදුන් උයනේ මේ අත්දැකීම නම් බෙදාගන්නවා කියල එතනදිමත් හිතුනා. 


 
මේ බලන්න මෙතන වෙන දේ... මේ රෝසපාට ගල් විශේෂයක්... මෙතන වෙන්නේ පොලොවේ අධික උෂ්නත්වය නිසා, මේ ගල් දිය වෙලා,උඩට ඇවිල්ල... මේකත් මරු "ගල් වතුරක්" තමයි. බලන්න දිය වෙලා එන ගලුත් ජොර ජොර ගගා නටන හැටි... ඒ වගේම තමයි මේකත්...



මේ ඇවිල්ල සුදුපාට ගලක්... මෙතනත් ඒ ගල් දිය වෙලා උඩට ඇවිල්ලා... ඔය බුබුලූ බුලුලු තිය්න්නේ ඔය ගල් දියරය නටන හැටි... සමහර මිනිසුන්ගේ ගල් හිත් කවදාවත් උනු කරන්න බැරි උනාට මේතනදි ගලක් උනු වෙන්න තරම් පොලොව යට සිද්දවෙන දේ නම් හිතාගන්නත් බෑ.. 

හරියටම මෙතනද දන්නේ නෑ, අපාය තියෙන්නේ... 
 
මේ දසුන් පෙල දැක්ක විතරයි.. මහන්සිය කොහෙන් ගියාද නෑ... ඒත් ඉතින් මීටර් 500 ක් එන්න හම්බුනේ නෑ, නැවතත් මහන්සිය දැනෙන්න ගත්තා... අපේ උපදේශකයා කියුව තව කිලෝමීටර් 2යි ලු දොරටුවට.. ඉතින් අපිත් හෙමින් සැරේ එන්න පිටත් උනා.. ඔන්න ටික දුරක් එනවා.. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා... තව ටිකක් දුර එනවා.. අයෙත් ගිමන් හරිනව... ඔය විදිහට හෙමින් සැරේ හෙමින් සැරේ ආවයි කියමුකෝ අර අපි මුලින් බයිසිකල් වල ඇවිත් බයිසිකල් නවත්තපු තැනට...

මෙන්න එතනට  ආවට පස්සේ අර උපදේශකය කියපි එයා කිලෝමීටර් 2යි කියුවෙ බොරුවට, ඔයාල එතන ඉඳලත් කිලෝ මීටර් 7 ක් ආව කියල.

හපොයි දැන්නම් බයිසිකල් පදින්න බෑ.. බෑ.. බෑමයි..   දැන් මොකෝ කොරන්නේ.. මොනව කොරන්නද, අපි ආපු මෝටර් රථය ගෙන්නව ගත්තා අපි ඉන්න තැනට... ඊට පස්සේ බයිසිකල් ටික එතන තිබ්බ කාර්යාලයට භාර දීල, කාර් එකේ නැගිල ගෙදර ආව... ඔන්න ඔහොම තමා අපි ගෙන්දගම් පොලොවේ පය ගැහුවේ... මුලු ජීවිතේටම අමතක නොවන විදිහට... 


කෙන්යාවේදී ගිය වඩාත්ම විඩාබර මෙන්ම, ඇඩ්වෙන්චරස් චාරිකාව තමයි මේ...

හප්පේ අද නම් දිග වැඩිද මන්දා... මොනව කොරන්නද මට ඔය මෙගා නාට්ටිය ලියල පුරුද්දක් නෑනේ.. :( 

මීලඟ ලිපියෙන් ලොව පැරණිම මිනිසා හමුවන්නට නයිරෝබි ජාතික කෞතුකාගාරයට යන්නට හැමෝටම ආරාධනා කරනවා...

Tuesday, January 17, 2012

සය වසක් තිස්සේ මගෙ තනියට සිටි මගේ උයන ... නඳුන් උයන ....


අද නදුන් උයනට සුවිශේෂී දවසක්. ඒ වගේම නදුන්ටත් සුවිශේෂී දවසක්... 
ඒකට හේතුව මොකක්ද කියල දන්නවද? මෙන්න මේක තමයි හේතුව.... 


කට්ටිය හොයාගත්තද හේතුව... ?  

හේතුව තමයි මම හා හා පුරා කියල බ්ලොග් සටහනක් ලියල අද වෙද්දි අවුරුදු 6 ක්. 

මේ බ්ලොග් සටහන ඇත්තටම දැක්කහම අද නම් ලැජ්ජයිත් එක්ක..ලියල තියන වචන තුන හතරවත්  හරියට ලියල නෑ. ව්‍යාකරණ සහ භාෂා භාවිතයත් වැරදියි. ඒත් එදා වැරදියට හරි ආරම්භකරපු දේ ගැන අද ආඩම්බරයි. 

මම මේ සබැඳිය මීට ටික කාලෙකට ඉස්සෙල්ලත් නදුන් උයනේ දැම්ම.. ඒ මාව සිංහල බ්ලොග් කියවනයෙන් ගලවා තැබූ කාලයේ. දැන් නැවතත් සිංහල බ්ලොග් කියවනයට නදුන් උයන එක්වෙලා. මගේ බ්ලොග් කෙරුවාව ගැන විස්තර ටිකක් , ඔය ඉහලින්කියල තියන ලිපියෙත් තියෙනව. 

සිංහල බ්ලොග් අවකාශයේ මහා දැවැන්තයෙක් නොවුනත්, මේ අවුරුදු 6 ටම ලිපි මහා ගොඩක් ලියල නැති උනත් අදටත් මම සංතෝෂ වෙනව මගේම කියල බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න පුලුවන් වීම ගැන.
මගේ පෙර ලිපියේ ලියල තියනව වගේම මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ බ්ලොගර් අඩවියෙන් නෙවෙයි. ඒ කාලේ සමාජ ජාලකරණ අඩවි ප්‍රචලිත වුනු මුල් යුගය. මූණු පොතත් වැඩිය ජනප්‍රිය නෑ. ඒ කාලේ තිබ්බේ හායි 5 තමයි හැම තැනම.. ඔය අතරේ මම හා හා පුරා කියල සෙට් උනේ මල්ටිප්ලයි (www.multiply.com) කියන ජාලයට. ඒකෙන් බ්ලොග් ලියන්න, පොටෝ ඇල්බම් හදන්න, සින්දු, වීඩියෝ අප්ලෝඩ් කරන්න ඔය හැම දේම තිබුන. ඉතින් මම හා හා පුරාම මගේ අඩවියට දාපු නම තමයි "නදුන් උයන". ඒ දවස් වල සරසවියේ පරිගණක වල සිංහලත් නෑ. සිංහල යුනිකෝඩ් උනත් වැඩිය ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ. ඒ මේ සියලු කාරණා නිසාවෙන් තමයි මමත් නදුන් උයන සුද්දගේ බාසාවෙන්ම කොරගෙන ගියේ. 
ඔය අතරෙ මම සිංහලෙන් පලකරපු පලවෙනි ලිපිය තමයි මෙ...

" සටන් විරාමය සමඟ ගිය ගමනක අවසානය ".. මේක ඇවිල්ල ලියුවෙ නම් මම නෙවේ.

මම නදුන් උයනට එක් කරපු පලවෙනි සිංහල ලිපිය තමයි මේ.

( http://somarathne.multiply.com/journal/item/83/83 )

ඊ මේල් තුලදී මවු බස භාවිතය ජනප්‍රිය කරවන්න තමයි ඒ ලිපිය ලියුවේ. ඔන්න ඔහොම පටන් ගත්ත නදුන් උයන බොහෝ හැල හැප්පීම් මැද්දේ මේ ඔයාල කියවන තැන දක්වා ආව.. ඔය අතරේ පහලින් තියෙන්නේ සිද්ද වෙච්ච දේවල් කීපයක්. 

1. මගේ සරසවි ජීවිතයේ විශේෂ සිදුවීම් බොහොමයක් පරන නදුන් උයනේ සටහන්ව තිබීම
5. මේ අතරේ පලමුබ්ලොග් මැරතනයට සහභාගී වීමේ අරමුනින් මම බ්ලොගර් හරහා අලුත් නදුන් උයනක් පිහිටවීම.
6. පලමු බ්ලොග් මැරතනයට සහභාගී වීම
7. ඔය අතරේ බ්ලොග් අඩවියේ ආර්. එස්. එස්. වල සිදුවූ දෝශයක් නිසා, බ්ලොග් ලිපි සිංහල බ්ලොග් කියවනයෙන් ප්‍රසිද්ධ නොවීම.
9. ආදර ලෝකේ සැරි සරන්නට ගොස් බ්ලොග් අඩවියක් තිබුනාදැයිත් අමතක වීම. ඊට දඩුවමක් ලෙස සිංහල බ්ලොග් කියවනයෙන් නදුන් උයන නෙරපීම.
10. බ්ලොග් ලියන්නටම සිංහල යතුරු පුවරුවක් මිලට ගැනීම. 
11.යලිත් ලියන්නට පටන් ගත්තත් මාස 6 ක ඉන්දියානු ජීවිතයේදී එකම බ්ලොග් සටහනක් වත් ලියන්නට නොහැකි වීම.
13.ඉන්දියානු ජීවිතය ගැන ලිපි කීපයක් හෝ පළකිරීම
15. අලුත් නඳුන් උයනේ ලිපි 30 ක් පමණ ලියා හිට්ස් 5500 ක් සහ, ලියාපදිංචි කියවන්නන් 50ක් පසුකර යෑම.       
 
 මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ දිනපතාම පාහේ ගියපු බ්ලොග් අඩවියක් තමයි, ඒ කාලේ ප්‍රභාත් සිරිසේන අය්යගේ (අද යෝගානන්ද හිමියන් ) "නිදහස්" බ්ලොග් අඩවිය. ඊට අමතරව වරුණ කණිෂ්ක සොයුරාගේ "නිදහස්අදහස්" බ්ලොග් අඩවියත් ගොඩක් දුරට කියෙව්ව. වරුණ තමයි මට මුලින්ම බ්ලොග් මැරතන් එක ගැනත් කියුවේ. ඔය අතරේ සුපුන් සුදාරක, ප්‍රවීන් ඉන්ද්‍රනාම,ශාකුන්තල වගේ නම් ඒ කාලේ බ්ලොග් කරුවන් අතර ජනප්‍රිය වෙලා තිබුනා.
මෑත කාලයේ නම් මගේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර ගනනින්  මම ඉහලට ගිහින් තිබුනා. වෙනදට එක්කෙනෙක්, දෙන්නෙක් එන ලිපි වලට ප්‍රතිචාර 10 - 20 ක් වැටෙනකොට ඇත්තටම සතුටු හිතුනා.(ඉස්සර මට හිට් 250 ක් එකතු කරගන්න දවස් 250ක් ගියා මුල්ම කාලෙදි )  මෑත කාලයේදී ගොඩක් ප්‍රතිචාර දක්වපු අය අතරේ මදුරංග , හිස් අහසේ සඳරු,  නදී , නිසූපා, පිනිබිඳු, රත්තරන් මාලුවා සහ තවත් බොහෝ අය හිටියා. ඔය අතරේ චාන්දි අක්ක මගේ කෙන්යා සටහන් වලට ඇගේ ප්‍රතිචාර හරහා ලොකු වටිනාකමක් ලබා දුන්නා. නම් ගම් අමතක වෙච්ච අය ඉන්නව නම් සමා වෙන්න හොන්දේ.        

ඔය අතරේ සමහරු මූනු පොතේ හෝ මග තොටදි හමු උනහමත් "අපි උඹේ නදුන් උයන කියවනව.. ලඟදි මුකුත් ලියුවෙ නෑ නේද?" කියලත් අහන්න පටන් ගත්ත. ඇත්තටම හරිම සන්තෝසයි එහෙම දෙයක් ඇහෙද්දි.  ඉතින් මේ හැමෝටම බොහොමත්ම ස්තූති කරන්න මේක තමයි හොඳම වෙලාව.. මට උදවු කරපු, මගේ ලිපි කියවාපු, ඒවායින් කිසියම්ම හෝ වින්දනයක් ලබපු හෝ දැනුමක් එකතු කරගත් සියලු දෙනාටම ස්තූතියි. පසුගිය වසර 6 පුරාවටම නඳුන් උයනේ හිටපු හැමෝටම මම ආරාධනා කරනව, මගෙත් එක්ක ඉදිරියටත් ඉන්න කියල.. 

මම නිතරම ලිපි ලියන්නෙක් නොවීම මගේ ලොකු අඩු පාඩුවක්. නමුත් අධික කාර්ය බහුලත්වය නිසා සතියකට එක ලිපියක් ලියනව කියන එකත් ලොකු අභියෝගයක් මට නම්. මම විවේකීව ඉන්න වෙලාවට බ්ලොග් අඩවි බොහොමයක් කියෙව්වත් කොමෙන්ටුවක් දමන්නේ නැතුව යනව ගොඩක් වෙලාවට. ඒකත් මගෙන් බ්ලොග් සමාජයට වෙන වැරැද්දක්. සමහර විට ඒ හන්දම වෙන්න ඇති මගේ ලිපි වලටත් කොමෙන්ටු අඩු වෙනව ඇත්තේ. නමුත් කොමෙන්ටු දැම්මේ නැති උනාට ඒ බ්ලොග් අඩවි වලින් ලබා ගන්නා දැනුම මෙන්ම ආශ්වාදයත් ඉහලයි. ඒ නිසා සියලු සිංහල බ්ලොග් කරුවන්ට ඒ වෙනුවෙන් ස්තූති කරන්නත් මේක අවස්තාවක් කරගන්න කැමතියි. 

ඔය හැම දෙනා අතරෙම, නඳුන් උයනට හොරෙන් හොරෙන් එන මාල ගිරවියෙකුත්, මට ලොකු සහයක් දෙනව මේ බ්ලොග් කෙරුවාව කොරගෙන යන්න.ඒ මාල ගිරවි බ්ලොග් ලියන්නේ නැති උනාට මට දෙන සහයෝගය නම් කියන්නම ඕනේ.   

ඉතින් එහෙනම් ස්තූතියි හැම දෙනාටම . .....!!!
       



   



    


Sunday, January 15, 2012

ගිනිගෙන දැවෙන ගෙන්දගම් පොලොවක පය ගැසුවෙමි......... (1 කොටස )

කාලාන්තරයකට පස්සේ ආයෙත් බ්ලොග් එකක් ලියන්නයි හදන්නෙ.. 
පහුගිය කාලේ ඇත්තටම මම බ්ලොග් ලියලම නෑනේ කියල මතක් උනේ පිනිබිඳු නංගි ඇවිල්ල ඊයේ හවස කොමෙන්ටුවකුත් දාල ගියාට පස්සේ තමයි.. හරියටම මාස දෙකකින් ලියලම නෑ.. 

ලියන්න දේවල් නම් ගොඩාක් තියනව.. ලියා ගන්න වෙලාවක් නැතුව තමයි හිටියේ.. මේ පැත්තේ යන එන කවුරුත් දන්නවනේ මම මේ ටිකේ ගොඩක්ම ලියුවේ කෙන්යාවේ චාරිකා සටහන් කියල..

අදත් ලියන්න යන්නේ කෙන්යාවේදී පලමු වරට ලබාපු අත්දැකීමක් ගැන.... 

මේ වතාවේ අපි ගියේ ගෙන්දගම් පොලොව සොයාගෙන.. 
ඔව් ඔව්.. ගෙන්දගම් පොලොව හොයාගෙන තමයි... 1995 අවුරුද්දේ ගමේ ඉස්කෝලේ ඉඳල, කොළඹ ආපු කතාව නෙවේ මේ කියන්න යන්නේ... ඇත්තටම ගෙන්දගම් පොලොව හොයාගෙන කෙන්යාවේ "නරකාදියේ දොරටුව" හෙවත් "හෙල්ස් ගේට්" සොයාගෙන ගිය ගමන ගැන කියන්න තමයි සූදානම් වෙන්නේ.. 

ඔන්න මේ වතාවෙත් අපේ ගමනට තුන් දෙනයි... මමයි, මගේ සගයා හර්ෂයිමගේ සරසවි මිතුරෙක් වන දුලීපයි තමයි ගමනට ලැහැස්ති උනේ... ඔන්න අපි උදේ පාන්දරම ගමන පිටත් උනා...  

ඔන්න අපි පිටත් වෙලා ගමනෙන් බාගයක් දුර ආවහම මම නිකමට වගේ මගේ සාක්කු දෙක අතගාල බැලුව... එතකොට තමයි මට දෙලොව රත් උනේ... හුටා.. පාස්පෝට් එක අරන් ඇවිල්ල නෑනේ.. දැන් ඉතින් මක්කැයි කොරන්නේ.. ඒ වෙද්දිත් අපි නවාතැනේ සිට කිලෝමීටර් 100 ක් විතර දුර ගිහින් තිබුනේ... ඒත් මොනව කරන්නද, හරව ගත්ත වාහනේ.. ආපහු ආව පැයක් විතර... ඔන්න ඉතින් පටන් ගත්ත තැනම බාදාවයි.. :(  ඒත් ඉතින් අපි සැලෙයි... පාස්පෝට් එක සාක්කුවෙ ඔබාගත්ත මම ආයෙත් දුවල දුවල ගිහින් වාහනේට නැග්ග... ඔන්න දැන් අපි දෙවෙනි පාරටත් යන්න පිටත් උනා....

ඔන්න ඉතින් අපි යනවා.. යනවා... ඔහේ යනව... මෙහෙත් අධිවේගී මාර්ග තියනව හොඳේ.. :) දැන් ඔන්න ටික දුරක් යද්දි මෙන්න හම්බුනා යාලුවො සෙට් එකක්..



හොඳට දැකල පුරුදුයි වගේ... ඔයාලත් මුන්ව හොඳට අඳුනනව නේද?
මහ පාර අයිනේ තණකොළ කන බූරු රන්චුව නම් ඇත්තටම අපූරුයි.. 
මුන් ටික දැක්ක විතරයි, උදේ පාන්දරම අර පාස්පෝට් එකක් හන්ද මස්ත බාල්දු වෙලා තිබ්බ දවසට මරු ගැම්මක් ආව :) අපි අපේ යාලුවෝ ටිකට බායි කියල ඉදිරියටම ඇදුනා... 

ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අපි ආව කියමුකො "නරකාදියේ දොරටුවේ", දොරටුව ළඟට.. . ඔන්න ඉතින් "නරකාදියේ දොරටුව" කියල නිකම් බෑ.. ඒකට යන්නත් ටිකට් ගන්න ඕනේ සල්ලි දීල .. සංචාරකයින්ට ඉතින් කොහොමත් ගාන වැඩියිනේ.. :( ඔන්න දැන් අපි ටිකට් එහෙම අරන් එහෙ මෙහෙ බලද්දි මෙන්න තියනව බයිසිකල් මහ ගොඩක් .... 

බලපුවහම මේකයි සීන් එක... මේ වනෝද්‍යානය ඇතුලේ අපිට බයිසිකලෙන් යන්න පුලුවන්ලු... ඒක දැන ගත්ත විතරයි, තුන් දෙනාම එක පයින් කැමති උනා බයිසිකලේ කැලේ බලන්න යන්න...


මේ බලන්නකෝ අපි බයිසිකල් වලින් වනෝද්‍යානය මැද්දෙන් ගිය හැටි. පින්තූරෙ නම් ඉන්නේ මම නෙවෙයි.. මගේ සගයා.. 
ඔය දකුණු පැත්තෙන් පේන්නේ මහා ගල් පර්වතයක්... හැබැයි ඒ පරිසරය නම් හරිම අපූරුයි.. අපි ඔන්න බයිසිකල් වලින් යද්දි කැලේ ඉන්න මුවෝ.. ජිරාෆ් ල, අපි දිහා බලන් ඉන්නව, හරියට අමුතු සත්තු ටිකක් ඇවිල්ල වගේ.. :) ඒ මදිවට වල් ඌරෝ, මහ විශාල කුරුල්ලෝ.. එකී මෙකී සත්තු ගොඩක් මේ බයිසිකල් සවාරියේදි දැක ගත්ත...     


ඉස්සර රූපවාහිනියේ සැරිසර වැඩ සටහනේ බයිසිකල් වලින් යන චාරිකා ගැන බලල තිබුනට පලමු වරට බයිසිකලේකින් ගිහින් සත්තු බැලුවේ එදා තමයි. හුලං පාරත් කාගෙන ඉස්සරහට යද්දි දැනෙන සනීපේ නම් කියල නිම කරන්න බෑ..ඔන්න ඉතින් අපි ගමනේ බාගයක් විතර යද්දි තමයි අපිට දෙවියෝ එවපු දෙවෙනි තෑග්ග හම්බ උනේ... 

අපේ මිතුරා හර්ශගේ බයිසිකලේ හැන්ඩ්ල් එක බුරුල් වෙලා හොඳටම.... මොකෝ දැන් ඉතින් කැලේ මැද්දේ වින්කලයක් තියනව කියලයෑ.. කැඩිච්ච එකාව මග දාල අපි බයිසිකල් වලින්ම යන්නයෑ.. ඔන්න ඉතින් දැන් තුන් දෙනත් එක්කම පයින් යනව... නිකන්ම පයින් යනව නම් කමක් නෑ.. අර බර - මවුන්ටන් බයිසිකලුත් තල්ලු කොරගෙනම.... 

ඔන්න අපි දැන් ළඟා උනේ නරකාදියට යන පාරේ හොඳම තැනකට.. මෙතන ඉඳල මග පෙන්වන්නෙක් එක්කල යන්න තියෙන්නේ පයින්ම තමයි..

ඇත්තටම අපි මේ යන්නේ අවුරුදු දහස් ගනණකට ඉහතදී අතිශය සක්‍රීය වුනු, ගිණිකන්දක් සොයාගෙන... එදා මහ පොලොවෙන් බුර බුරා නැගපු ලාවා ගලාගිය මාර්ගය ඔස්සේ තමයි අපි යන්න බලා පොරොත්තුව.. අදටත් නිහඬ ගිනි කන්දක් විදිහට තමයි මේ අපි යන "හෙල්ස් ගේට් ජාතික වනෝද්‍යානය" අවට ප්‍රදේශය නම් කරල තියෙන්නේ... 

ඔන්න අපිට ලැබුනා මගපෙන්වන්නෙක්.. ලැබුන කියුවට අපි ඉතින් සල්ලි ගෙවල එහෙම එක්කෙනෙක්ගේ සේවය ලබා ගන්න ඕනේ... මේ මග පෙන්වන්නන්ගේ තවත් විශේෂයක් තියෙන්නේ, මෙයාල "කෙන්යා වනජීවී අධිකාරියේ" සේවකයෝ නෙවෙයි. මොවුන් මේ ගිනි කන්ද අවට පාරම්පරික පදිංචි කරුවන් වන "මසෙයි" ජන කොට්ඨාසයට අයත් උදවිය. මෙයාලගේ සංගමයක් මගින් තමයි මේ වනයේ උපදේශන සේවාවන් කරන්නේ. සංචාරක කර්මාන්තයේ සංකල්පයක් විදිහට ඒක නම් ඉතා ඉහලින් අගය කල යුතු වැඩ පිලිවෙලක්.

ඔන්න අපි අයෙමත් එමුකෝ කතාවට... ඔන්න අපි කෙමෙන් කෙමෙන් ඉස්සරහට යනව.. ඔය අතරේ ඇස් දෙකට පේන්නේ නම් ඇස් අදහාගන්නටත් බැරි තරමේ දසුන්... විස්තර කරන්න ඉස්සෙල්ල ඔයාලත් බලලම ඉන්නකෝ....



හිතා ගන්න පුලුවන්ද මොකක්ද මේ කියල... මේ අර මම උඩින් ලියල තියන අධිවේගී පාරක් නම් නොවෙයි. මීට අවුරුදු දහස් ගනනකට පෙර මේ පාරේ අධි වේගයෙන් ගලා ගිහින් තියෙන්නේ "ලාවා.." ඒ කියන්නේ පොලොව ඇතුලේ ගිනියම් වූ පාෂාන දියරයක් විදිහට තමයි මේ පාරේ අධි වේගයෙන් ගලා ගිහින් තියෙන්නේ. පේනව නේද නයා ගියා වගේ වංගු දාගෙන පොලොව හාරගෙන ගිහින් තියන හැටි.. මේ විදිහට හෑරිලා තියන කානුව අපිට හිතන්නත් බැරි තරම් ගැඹුරුයි.. දැන් මේ අපි ගමන් කරන්නේ මේ කාණුව දිගේ... අපේ අරමුණ ලාවා ගලන්න පටන් ගත්ත තැන සොයා ගන්න එක :) .

මේ ලාවා ගලපු මගේ ගැඹුර හිතා ගන්න ඔන්න ඔය පහලින් තියන පින්තූරේ බලන්නකෝ.. සාමාන්‍ය මනුෂ්‍ය ප්‍රමානයයි, ලාවා මගේ උසයි පේනව නේද? (ඔතන ඉස්සරහින් ඉන්නේ මම. මම ඉතින් සාමාන්‍ය මනුස්ස ප්‍රමාණයට වඩා පුන්චි උනාට, පිටි පස්සෙන් ඉන්න මගේ මිතුරා අඩි 6 ක් විතර උසයි ).


ලාව ගලල තියෙන්නෙත් හරියට ගඟක් ගලනව වගේ තමයි.. සමහර තැන් වලින් විශාල ගැටි පිහිටල තියනව.. හරියට ගඟක් ගලද්දි දිය ඇලි හැදෙනව වගේ..අපි ඔය නගින්න හදන්නේත් ඒ වගේ පොඩි කඳු ගැටයක් තමයි. 

අපිට හිටපු මග පෙන්වන්නා නම් අපිට දුන්නේ පුදුම සහයක්.. මේ වගේ සමහර දුෂ්කර තැන් වලදි ඔහු අපිව අපේ සපත්තු වලින් විතරක් ඔසවාගෙන අපිව ඉහලට එසෙව්වා.. සමහර ගැඹුරු ආගාධ වලට බහිද්දිත් ඒ වගේ තමයි. එයා මුලින් බැහැල අපිව පහලට ගන්නේ අපේ සපත්තු ඔහුගේ අත්ල මත තබාගන්න කියල, අපිව සම්පූර්ණයෙන්ම ඔසවාගෙන.. ඒ වගේ ඇඩ්වෙන්චර් වැඩ රූපවාහිනියෙන් දැකල තිබුනට, අත් විඳල තිබුනේ නෑනේ.. දැන් ඉතින් අපිත් ෆුල් ඇඩ්වෙන්චරස් විදිහට ඉස්සරහටම ඇදෙනව..

මේ පහලින් තියන ඡායාරූපය අසලින් තමයි ලාවා ගලායන්න පටන් ගත් ස්ථානය තිබුනේ. එතැන සිට දෙපැත්තටම විශාල කාණු හාරාගෙන තමයි ලාවා ගලා ගොස් තිබෙන්නේ.

 
 
අපි කොච්චර උනන්දුවෙන් ඉදිරියට ගියත් අපේ නාසයට නම් දැනුනේ මහා අපුලක්. මොකද අපි මේ ඇවිද යන්නේ ඇත්තම ගෙන්දගම් පොලොවක නිසා. මේ ප්‍රදේශය පුරාවටම, පාෂානගත සල්ෆර් හෙවත් ගෙන්දගම් පැතිරිලා තියෙන්නේ.. සමහර තැන් වලදි හුස්ම ගන්නත් අපහසු වන් තරමටම සල්ෆර් ගඳ නහයට දැනෙන්න ගත්තා... 

අපි තවත් ඉදිරියට ගියා... අපි යන්නේ මේ ලාවා ගිය මගේ එක කොණක් සොයාගෙන.. කොටින්ම කියනව නම් දෙපැත්තට ගලපු ලාවා මාර්ගය, එක් පැත්තකදී, විශාල බාධාවකට අසු වෙලා එතනින් ඉදිරියට කාණුව හෑරිලා නෑ.. ඔය විදිහට ගලා ගිය පාරේ ලාවා සුලියක් වගේ කැරකිලා මහා කුහරයක් හැදිල තියනවා.. ඒ තමයි මේ..

  
මෙතනට කියන්නේ "යක්ෂයාගේ නිදි යහන" කියල.. තේරෙන බසින් කියන්නේ "ඩෙවිල්ස් බෙඩ් රූම්" කියල. :) 

ඔන්න ඔතනින් ලාවා ගිය මග මෙන්ම , අපි ගිය මගත් නතර උනා.. එදා ලාවා මාර්ගය ආපසු හැරුනා වගේම අපිත් ආපසු හැරුනේ මේ පැරණි ගිනි කන්දේ අදටත් සක්‍රීය කොටසක් වෙත පය තැබීමේ අරමුණ ඇතිව..   

මේ වෙද්දි නම් අපි කට්ටියට ටිකක් ඇති වෙලා තිබුනේ, මහන්සියටම... නමුත් අපි සැලෙයි.. 

අපි හැමෝම හිටියේ නටන උනු වතුර එන උනු වතුර ලිං බලන්න, පොලොවෙන් දුම් දාන හැටි බලන්න, පොලොව යට මහ ගල් දියවෙලා පොලව මතු පිට "ජොබ ජොබ" ගගා නටන හැටි බලන නොතිත් ආශාවෙන්...

ඔන්න ඉතින් ඒ ටික නදුන් උයනට එන්නේ මීළඟ ලිපියෙන් තමයි.. මොකද මෙගා නාට්ටියක් ලියන්න බඩු තියෙද්දි එක දවසින් ඉවර කරන්න බෑනේ... 

ඔන්න එහෙනම් මීළඟ ලිපියකින් ළඟදිම ඉතුරු විස්තර ටික බලාපොරොත්තු වන්න..

[පහුගිය කලයේ මම නිතර යන එන බ්ලොග් වලටවත් කොමෙන්ටුවක් දාල යන්න බැරි වීම ගැනත් කණගාටු වෙනව...  ]