Pages

Showing posts with label පරිගණකය. Show all posts
Showing posts with label පරිගණකය. Show all posts

Sunday, July 24, 2011

හිතේ දුකින් ලියා දන්වන වගනම්......

2006 අවුරුද්දෙ ජනවාරි මාසෙ 16 වෙනිද මම අලුත්ම වැඩකට මුල පිරුව...ඒ දවස් වල නම් මේ ගමන මෙච්චර දුරක් එන්න වෙයි කියල කොහෙත්ම හිතුවෙ නෑ. කෝ ඉතින් පටන් ගත්ත වැඩේ කියන්න බැරි උනානෙ...
එදා ඒ විදිහට තමයි "නදුන් උයන" පටන් ගත්තේ.

කොටින්ම කියනවනම් බ්ලොග් ලියන්න අතපොත් තිබ්බෙ එදා තමා... මට මතක හැටියට එ කාලෙ වෙද්දි මූනු පොත තිබුනෙත් නැද්ද කොහෙද.. නමුත් "සමාජ ජාලකරණ" කියන සංකල්පය ඒ කාලේ වෙද්දි ප්‍රචලිත වෙන්න පටන් අරන් තිබුන... මම හා හා පුරා කියල ඔය කියන විදිහෙ සමාජ ජාල ගිනුමක් හදාගත්තේ "නදුන් උයන " වෙනුවෙන්. හැබැයි අපි අද පාවිච්චි කරන බ්ලොගර් හරහා නෙවෙයි. "www.multiply.com" කියන අඩවිය හරහා...

මෙන්න තියනව මම හා හා පුරා කියල ලියපු බ්ලොග් සටහන...

http://somarathne.multiply.com/journal/item/1/I_have_strted_blogging

අපෝ හෙන චාටර්... ස්පෙලින්ග් වත් හරියට නෑ... ඒ උනාට... එදා ඉඳලම බ්ලොග් ලියන්න ගත්ත.... මුලින්ම ඉතින් කඩ්ඩෙන් තමයි ලියුවෙ... ඔය අතරෙ මම සිංහලෙන් පලකරපු පලවෙනි ලිපිය තමයි මෙ...

" සටන් විරාමය සමඟ ගිය ගමනක අවසානය ".. මේක ඇවිල්ල ලියුවෙ නම් මම නෙවේ.

මෙන්න මමම ලියපු පලවෙනි සිංහල බ්ලොග් සටහන.... ""
(http://somarathne.multiply.com/journal/item/83/83)

ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි ඒ වෙද්දි සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයත් බිහි වෙලා තිබ්බ...
එයාල හා හා පුරා කරපු පලවෙනි බ්ලොග් මැරතොන් එකටත් මම සෙට් උනා ආසාවෙන්ම.....

ඔය වෙද්දි මට ඔනෙ වෙලා තිබුන කවුරුත් වගේ පාවිච්චි කරන බ්ලොගර් ගිනුමක් යටතට මගෙ බ්ලොග් එක අරන් එන්න,... ඔන්න ඉතින් මම මැරතොන් එක දිව්වේ අලුත හදපු නදුන් උයනේ ඉඳන්.

ඔන්න ඔහොම යද්දි තමයි ටික කාලෙකදි , නදුන් උයනට හෙනහුරා කඩාපාත් උනේ...
මගේ බ්ලොග් එකේ "R‍SS" වැඩකරන්නෙ නැතුව ගිහින් තිබුන මොකක් හෝ තාක්ශණික හේතුවකට... මම දාන කිසිම බ්ලොග් සටහනක් සිංහල බ්ලොග් කියවනයේ පලවුනේ නෑ.. (හරියට දැන් වගේ... )
මට මාර දුකයි.... RSS හදා ගන්නත් බෑ... පරන බ්ලොග් එක දාල අලුත් බ්ලොග් එකකට යන්නත් දුකයි... [නදුන් උයන නමට මම ඒ තරම්ම ආදරේ කලා.. ]

ඔන්න අන්තිමේදි මම තීරනය කලා... මගෙම නදුන් උයන බ්ලොග් එක මකල දාල අලුත් නදුන් උයනක් ගොඩනගන්න.....

"අවසරයි මට නදුන් උයනේ සැරිසරන්නට යළිත් .... " කියල තමයි 2009 ජූලි මාසෙ 11 වෙනිදා 3 වෙනි පාරටත් අලුත්ම නදුන් උයනක් බිහි උනේ.... ඔන්න ඉතින් මමත් ඔය අනම් මනම් ලිය ලිය හිටිය... ඔය අතරේ මගෙන් බ්ලොග් ලියන පුරුද්ද නැති වෙලාම යන තරමට කාර්යාලයේ වැඩ අධික උනා.. :(
මට ගොඩාක් කාලයක් බ්ලොග් ලියන්න බැරි උනා...
ඔය අතරෙදි සිංහල බ්ලොග් කියවනයත් අලුත් උනා...
අලුත් මූනු ගොඩක් ඇවිත් තිබුන...
ඒ වගේම සිංහල බ්ලොග් කියවනයට අලුත් නීතියකුත් ඇවිත් තිබුන...
දවස් 90 කින් සටහනක් නොදාපු බ්ලොග් ඉවත් කරනවා කියල...
ඔන්න ඔය විදිහට තමා සිංහල බ්ලොග් කියවනයෙන් නදුන් උයන ඈත් වෙලා ගියේ....

ඊට පස්සේ මම අයෙමත් නදුන් උයනේ සැරිසරන්න පටන් ගත්ත මේ අවුරුද්දේ ජනවාරි මාසෙ ඉඳල....
ඊට පස්සේ ඔන්න බිහිවෙලා තිබ්බ හැම සින්ඩියකටම ගිහිල්ල ලියපදිංචිත් උනා...
ඒ හැමෝම නදුන් උයන තමන්ගේ සින්ඩි වලට ඇතුලත් කලත්...... මගේ බ්ලොග් කියවීමේ මහ ගෙදර උනු සිංහල බ්ලොග් කියවනය , නදුන් උයන යලිත් පිලි අරන් තිබුනේ නෑ... මම දෙවරක්ම යලි ලියාපදිංචි උනත් නදුන් උයනේ සටහන් සිංහල බ්ලොග් කියවනයේ දැක්කෙ නෑ.

මෙහෙම වෙන්න විශේෂ හෙතුවක් මම අද වෙනතුරුත් දන්නෙ නැ...
ඉස්සර වගේ නදුන් උයන පැත්තේ දැන් කුරුල්ලො වැඩිය පියාඹන්නෙ නෑ. ඔහොම යද්දි අයෙත් පලතුරු හැදෙන එකත් නවතීද කියල මට අයෙමත් බයකුත් තියනව....
මේ ලඟදි දවසක අපේ ඇඩ්මින් අය්යට ඊ-ලිපියකුත් යැවුව.. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ....
ඉතින් නදුන් උයනට අහම්බෙන් හරි ආපු ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ සිංහල බ්ලොග් කියවනයට ඇතුලු වෙන්න මට කරන්න පුලුවන් මොනවද කියල අදහසක් කියන්න කියලයි....
"නදුන් උයන" සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරවු !!! කියල මට උද්ඝෝෂණයක් කරන්න බෑනේ...
කරන්න පුලුවන් එකම දේ තමයි මේ..
අන්තිමටත් කියන්නේ මේ හේතුව හන්ද නදුන් උයනේ මම නම් ඉන්නේ බොහොම දුකෙන් කියල තමයි.... !!! :(

Monday, May 23, 2011

"NEXiT 2011" වසරේ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය ගැනයි මේ...

ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගත්ත මට ඒක ඉදිරියටම කරන්න ඕනෙ කියල හිතුනෙ මට ලැබුනු ප්‍රතිචාර හන්දයි... තාම ඉතින් මාව සිංහල බ්ලොග් කියවනයට නම් ඇතුල්කරල නැ... [මට දුකේ බෑ]...

අනිත් කාරණය තමයි.. මෙ දවස්වල ඔය පුන්චි පහේ රන්ඩු කරගන්න නමකට මගෙ මෙ බ්ලොග් එකේ නමේ [නදුන් උයන] කෑල්ලකුත් සම්බන්ද වුනාට, ඔන්න මම නම් ඔය රන්ඩු වලට යන එක්කෙනා නෙවේ ඔන්න.

දැන් බහිමුකො අපේ මාතෘකාවට .... සමහර විට ඔයාලත් ඉතින් මේ ගැන දැනටමත් දන්නව ඇති...

මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ පීඨය ගැන කට්ටිය දන්නවනෙ... ඒක තමයි ලංකාවෙ තොරතුරු තාක්ෂණය නමින්ම බිහිවෙච්ච පලමු විශ්ව විද්යාලීය විද්‍යා පීඨය. තේරෙන බාසාවෙන් කියුවොත් "Faculty" එක.

(ඔකෙන් තමයි ඉතින් අපිත් යමක් කමක් ඉගෙන ගත්තේ... ඇත්තටම කියනවනම් හම්බ කරන් කන්න රස්සාවක් කරන්න ඉගෙන ගත්තෙ ඔතනින් තමා)
2001 වසරෙදි ලංකාවෙ සරසවි පද්ධතියට එකතුවෙච්ච අපේ පීඨයටත් දැන් වයස අවුරුදු 10ක්. ඒ කියන්නෙ දෙන් ඉතින් දැනුම් තේරුම් තියන වයස....

ඔන්න ඉතින් අපේ මේ 10 වැනි සංවත්සරය සමරන්න කට්ටියම යමරෙට වැඩ... අවුරුදු 5 දි , 7 දි තිබ්බ වගෙ ලොකු ප්‍රදර්ශනයක් තියන්න තමා සැලසුම...

"NEXiT" කියල නම් කරල තියන තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙ මොරටුව සරසවි භූමියේදිමයි. මේක පටන් ගන්නෙ මැයි මාසෙ 24 වෙනි අගහරුවාදා. 26 වෙනිදා වෙනකන්ම මහ ගොඩක් දැනුම බෙදල දෙන්න තමයි මෙ මල්ලිල නංගිල ටික ලක ලෑස්ති වෙන්නෙ.

තොරතුරු තාක්ෂණයේ නව ප්‍රවනතා ගැන දැනගන්න මේක හොද අවස්තාවක් වෙවි... පාසැල් යන නංගිල මල්ලිලට වගෙම තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන හැමොටම මෙම ප්‍රදර්ශණය බලන්න එන්න කියල ආරාධනා කරනවා...

තවත් විශේෂයක් වෙන්නෙ කට්ටියට අමුතුම ආකාරයේ පරිගනක ක්‍රීඩාමය අත්දැකීමකුත් මෙහිදී ලබන්න පුලුවන් වෙවි... (කට්ටියට මුදලින්ම තෑගිත් දෙනවයි කියන්නෙ.. :D :D :D )

ඉතින් ඔන්න 24,25,26 දවස් තුනෙ, මොරටුව සරසවියෙ තොරතුරු තාක්ශණ විද්‍යා පීඨ පරිශ්‍රයට ඇවිල්ල "NEXiT" අත්දැකීම විඳගන්න ඕනේ.. හොඳේ...
ඒ වගේම මේ ගැන වැඩි විස්තර මෙන්න මේ මූනු පොතේ රසික පිටුවෙන් බලාගන්න පුලුවන්.... (http://www.facebook.com/pages/NEXiT-2011/117736818308329)


Sunday, February 27, 2011

තාක්ෂණික සොරකමක් කවුරු හරි කලොත් ......... බේරිලි බොරු ...

බොහොම කාලෙකට පස්සෙ නදුන් උයනට අවා සටහනක් කරන්න. ගොඩක් දෙනෙක්ට දෙනට ප්රශ්නයක්
වෙලා තියන තවත් අයට ලගදිම ප්රශ්නයක් වෙන්නත් පුලුවන් දෙයක් ගෙන තමා කත කරන්න යන්නෙ...

පහුගිය දවස්වල අපි මාධ්‍ය ඔස්සේ අහපු දෙයක් තමයි මේ face book හරහා නොයෙක් සමාජ අකටයුතුකම් වෙනව කියන එක. (මටනම් ඉතින් එකෙන් හොදක් මිසක් නරකක් නම් වෙලාම නැ... )
Face book විතරක් නොවේ, දැන් අන්තර්ජාලය හරහා වෙන සියලුම අසාධාරණ කම් වලදි අපට පිහිට වෙන්න කට්ටියක් ඉන්නව...


ඒ කට්ටිය තමයි පරිඝනක හදිසි ප්‍රතිචාර කණ්ඩයම.
CERT (Computer Emergency Responce Team) කියල තමයි මෙයාලව හදුන්වන්නෙ.
අපි කවුරුත් දන්න ඩොට් එල් කේ කණ්ඩායමේම තවත් කොටසක් විදිහටයි මෙයල වැඩ කරන්නෙ.
දැන් හිතන්නකො ඔයගෙ face book ගිනුමෙ මුර පදය කවුරු හරි හොරකම් කරල කියල.
එ වගේම ගුගුල් මේල් හරහා ඔබෙ නමින් වෙන කවුරු හරි මේල් යවනව කියල. මෙ වගේ තාක්ෂණික සොරකමක් කවුරු හරි කලොත් ඔබට පුලුවන් මෙම ආයතනයට පැමිණිලි කරන්න.

අන්තර්ජලය ඔස්සෙ නැත්නම් දුරකතනයෙන් / ඊ මේල් හරහා වුනත් ඔබට මෙ පැමිණිලි ඉදිරිපත් කරන්න පුලුවන්.

මෙන්න විස්තර :


ෆැක්ස් මගින් : +94 11 2 650912

විද්‍යුත් තැපෑල මගින් : info@techcert.lk

දුරකතන මගින් : +94 11 4 219125
කාර්යාලයට පැමිණීමෙන්. : TechCERT , 545/1 ඩි සොයිසා පාර, මෝල්පේ, මොරටුව


මෙයාල නීති ක්‍රියාත්මක කරන ආයතනත් එක්කත් ලගින් වෙඩ කරනව කියල ආරන්චියි..

ඔයලත් මෙ වගෙ ප්‍රශ්න වලට මුහුන පානව නම් , වහාම ඒ ගැන වාර්තා කරන්න. සහනයක් ලැබෙවි.

Friday, July 31, 2009

අතිශයින්ම දෙමව්පියන්ට පමණයි.... !!! දෙමව්පියන් වන්නට සිටින අයද බැලුවාට කම් නැත.....

මේ දිනවල බොහෝ සෙයින් කතිකා වන්නේ ළමා පරපුරට අනවශ්‍ය දේ අළුත් තාක්ෂණයත් සමඟ ඇවිත් ඇති බවකි. නමුත් අපි දන්නා විදිහට නම් තාක්ෂණය අනවශ්‍ය දේ පාලනයට ද තාක්ෂණය දස්සය.

අද මම මේ කියන්නට යන්නේ වින්ඩෝස් විස්ටා ඔස්සේ තම දරුවා වෙනුවෙන් විශේෂයෙන් පාලනය කරන ලද පරිශීලක ගිණුමක් සකස් කරගන්නේ කෙසේද කියායි. මෙම පහසුකම තාක්ෂණය සමඟ වැඩ කරන බොහෝ දෙනා දන්නවා ඇති. නමුත් නොදන්නා අයට කියා දීම තුලින් පරිගණකයට නිරපරාදේ බැනුම් අහන්නට නොවනු ඇත.

[මා ලිනක්ස් / උබුන්ටු/ ෆෙඩෝරා ආදී කොට ඇති නිදහස් මෘදුකාංග - මෙහෙයුම් පද්ධති සමඟ වැඩි දුර වැඩ කර නොමැති නිසා (සිංහලෙන් ද ඇතැයි පැවසෙන) එම මෙහෙයුම් පද්ධති තුලද මෙවැනි අතිශය සරල මාපිය පාලකයක් ඇත්නම් එහි පිහිටුම් සකස් කර ගන්නා ආකාරය ද පහතින් දක්වන මෙන් මෙම සටහන කියවන නිදහස් මෘදුකාංග - මෙහෙයුම් පද්ධති භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටිමි. ]

පියවර 1:

විස්ටා මෙහෙයුම් පද්ධතියේ පාලක පුවරුව වෙත යන්න.

පියවර 2:
පරිශීලක ගිණුම් හා පවුලේ සුරක්ෂිතතාව යටතේ ඇති “ඕනෑම පරිශීලකයකු සඳහා මාපිය පාලක සිටුවන්න” තෝරා ගන්න. (මෙහිදී අමතර අවසර ලබා දීමක් අවශ්‍ය වීමට පුළුවන. )
පියවර3:
දැන් ඔබට ලැබෙන්නේ පහත පරිදි තිරයකි.


ඔබේ දරුවා වෙත වෙනම පරිශීලක ගිණුමක් තිබීම මෙහිදී අවශ්‍ය වේ. එම පරිශීලක ගිණුම පරිපාලක මට්ටමේ ගිණුමක් නොවිය යුතු අතර සම්මත මට්ටමේ ගිණුමක් විය හැකිය. දරුවා වෙනුවෙන් වෙනම ගිණුමක් නැත්නම් “නව පරිශීලක ගිණුමක් තනන්න” ඔස්සේ දරුවා වෙනුවෙන් නව ගිණුමක් අරඹන්න. ඒ සඳහා පහත තිරය ඔබට ලැබේවි. මෙහි ගිණුම් නාමය දී ගිණුම තනන්න.


මෙහිදී මවිසින් දුන් නම : “පොඩි පුතා”

පියවර 4:
දැන් ඔබට මීළඟ තිරය ඔස්සේ මාපිය පාලකයේ සිටුවම සකසන්නට පුළුවන්.

පළමු ව මාපිය පාලක කොටසේ “මත, වර්තමාන සිටුවම් බලපවත්වන්න යන්න තෝරා ගන්න. (මෙහිදී වර්තමාන සිටුවම් යනු දැනට පරිගණකයේ පවතින මාපිය පාලක සිටුවමයි. එහි සාරාංශ විස්තරයක් දකුණු පසින් දැක ගත හැකියි. )

මීළඟට ක්‍රියාකාරකම් වාර්තාකරණය සඳහා ද අදාළ සිටුවම තෝර ගන්න. මෙම සැකසුම හරහා ඔබට පහත පරිදි අදාල ගිණුමේ ක්‍රියාකාරකම් වාර්තාවක් දැකගැනීමට පුළුවන. පිවිසි වෙබ් අඩවි, යෙදුම්, ක්‍රීඩා, ඊ තැපෑල, ක්ෂණික පණිවිඩ සහ මාධ්‍ය භාවිතයන් පිළිබඳ වාර්තාවක් මෙහිදී ලැබේ.


පියවර 5:
දැන් ඔබට තිබෙන්නේ අවශ්‍ය පරිදි මාපිය පාලක සිටුවම් සකස් කිරීමයි. මෙහිදී මූලික අංශ 4 ක් ඔස්සේ ඔබේ දරුවාගේ පරිගණක ක්‍රියාකාරකම් සීමා කළ හැක.

1.Windows Vista වෙබ් පෙරහන:


මෙම තිරය ඔස්සේ ඔබේ දරුවා වෙනුවෙන් සිදුකරනු ලබන පාලනයන් ඔබේ කැමැත්ත පරිදි සිදු කරන්න.

මෙහි “නිශ්චිත වෙබ් අඩවි වලට ඉඩ දෙන්න සහ අවුරන්න” යන කොටස යටතේ ඇති “ඉඩ දුන් සහ අවුරන ලද ලැයිස්තුව සංස්කරණය කරන්න” නම් සබැඳියට ගිය විට වෙබ් අඩවි වල ලිපින ඔස්සේ සීමාවන් පැනවීමට හැකිය.

ඊට පහලින් ඇති කොටස ඔස්සේ වෙබ් පිටුවල අන්තර්ගතය අනුව සීමා කිරීම් සිදුකළ හැකිය. මෙහිදී වැඩි, මධ්‍යම සහ කිසිත් නැත යන මට්ටම් වලට අමතරව අපට අවශ්‍ය පරිදි සකස් කළ හැකි “අභිමත” නම් වූ විකල්පය ද අප සතුයි.

මෙලෙස සැකසීමෙන් පසු “හරි” බොත්තම ක්ලික් කරන්න

2. කාල සීමා


මෙමගින් දරුවා පරිගණකය භාවිත කරන පැය ගණන සීමා කළ හැකිය. අදාල කොටු මත ක්ලික් කිරීමෙන් එම කාලය තුල අදාල ගිණුම ඔස්සේ පරිගණකයට ඇතුළු වීම වළකයි.


3.ක්‍රීඩා
පරිගණක ක්‍රීඩා සම්බන්ධ පාලනය කිරීම් මේ ඔස්සේ කළ හැක. මෙහිදී පරිගණකයේ ස්ථාපිත ක්‍රීඩාවන්ගේ නම් හරහාද මෙම පාලනය සිදු කළ හැකිය.


4. නිශ්චිත ක්‍රම ලේඛ ඉඩදීම සහ අවුරා දැමීම
මේ හරහා දරුවාට අවසර ඇති පරිගණක වැඩසටහන් තෝරාගන්න.

ඔබේ දරුවා වෙනුවෙන් සකස් කළ මාපිය පාලකය දැන් සකස් කර අවසන්.

පියවර 6:

දැන් නව ගිණුම හරහා පරිගණකය පුරන්න. මෙහිදී දරුවාගේ ගිණුම වෙනුවෙන් රහස් පදයක් ද ඇතුල් කරන්න.

සැ:යු: ඔබේ පරිපාලක ගිණුමේ රහස් පදය දරුවා වෙතට ලැබෙන්නට සැලැස්වීමෙන් වළකින්න.

මෙම ලිපිය සකසන්නට මූලික හේතුව වූයේ නවීන තාක්ෂණය දරුවන් වෙත නුසුදුසු බව පවසමින් මේ දිනවල පවතින මහා ඝෝෂාවයි. නමුත් පරිගණකය පාලනය සඳහාද මේ අයුරින් විවිධ ක්‍රම හඳුන්වා දී තිබේ. එය එසේ වුවද මේ ආකාරයේ කුමන පාලන විධි හඳුන්වා දුන්නත් ඒවා අතික්‍රමණය කිරීමට ක්‍රම දින දින සොයා ගැනේ. එබැවින් ඔබේ දරුවා පරිගණකය භාවිත කරන අයුරු මෙන්ම දරුවා පිළිබඳ වද විමසිල්ලෙන් සිටීම ඔබේ වගකීමයි.

මෙම ලිපියේ කරුණු මුද්‍රණය කරගැනීමට හෝ කිසිවෙකුට යැවීමට අවශ්‍ය නම් මෙම ගොනුව බාගත කරගන්න.

Thursday, July 23, 2009

දැන් ඉතින් ශුද්ධ සිංහලෙන්ම ලියන්න .... තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව ගැනයි මේ....

අපි සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරන් දැන් කොච්චර කල්ද? ඇත්තම කියනව නම් අපිට තාමත් බෑනෙ ඉංග්‍රීසි වචන 2 - 3 ක් දාන්නෙ නැතිව බ්ලොග් එක ලියන්න. හුඟක් වෙලාවට මේකට හේතුව වෙන්නේ අපි භාවිත කරන වචන (විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී) බොහොමයකට නිවැරදි සිංහල වචන මොනවාද කියා අපි දන්නේ නැති කම. නැතහොත් අපි දන්න වචනෙ අනිත් අය දනීද දන්නෙ නෑ කියන සැකය. ඔය අනම් මනම් හේතු කොච්චර තිබ්බත් අපි තනිකර සිංහලෙන්ම බ්ලොග් සටහනක් ලියන්න උත්සාහ කරල නෑනෙ.

අපි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී සිංහලෙන් ලියන ලිපියක පහත ආකාරයේ කොටසක් දැක්කොත් අපිට මහ පුදුමයක් නොවෙයිනෙ.
"එම software එක දැන් ඔබේ Computer 1 ට install කරගන්න.ඉන් පසු ඔබේ Computer 1 restart කරන්න. දැන් ඔබේ user account එකෙන් log වෙන්න."

නමුත් මේ වගේ වාක්‍යයක් ඔබ ඉංග්‍රීසි බසින් කවදාවත් ලියනවාද?
"I wanted to go to කඩය in the morning. But I didn't have ඇතිවෙන්න සල්ලි to buy that පොත. Any way my parents පොරොන්දු වුණා to buy that පොත"

අපි කෙසේ වත් එවැනි වාක්‍යයක් ලියන්නේ නෑනේ. "කඩය, ඇතිවෙන්න සල්ලි,පොත,පොරොන්දු වුණා" කියන වචන වලට ඉංග්‍රීසි වචන දන්නෙ නැහැයි කියලා අපි ඒ විදිහට ලියන්නෙ නෑනෙ. හරි විදිහට ඉංග්‍රීසියෙන්ම ලියන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් මෙහි මුලින් ඇති අපි සිංහල වාක්‍යය ගැන මීට වඩා සැලකිල්ලෙන් ලියන්න ඕනෙ කියලයි මට හිතෙන්නේ.

හරි.. දැන් මට ශුද්ධ සිංහලෙන්ම ලියන්න ඕනෙ කියමුකෝ. දැන් මම සිංහලෙන් කියන වචනය දන්න නැති වචන ටික තෝර ගනිමු. " software ,Computer ,install ,restart ,user account ,log" මේවට කියන සිංහල වචන මොනවද? දෙයියො තමා දන්නෙ කියල ඔබට හිතෙන්න පුළුවන්. අපේ මේ ගැටළුවට දැන් විසඳුමක් තියෙනවා.

ඉතා මෑතදී නිකුත් වූ වින්ඩෝස් විස්ටා සහ ඔෆිස් 2007 සිංහල අතුරු මුහුණත් හි භාවිත වන වචන ඇසුරින් සකස් කළ "තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව" අපට දැන් ලොකු සේවයක් කරාවි. අපි භාවිත කරන ඉංග්‍රීසි වචනයට අදාලව සිංහල වචනය හොයා ගන්න මේ පොත් පිංච හරහා හරිම ලේසියි. ඉංග්‍රීසි අකුරු අනුපිළිවෙළට සකස් කර ඇති පොත් පිංච පිටු 67කින් යුක්තයි.

මෙහි සඳහන් වචන කීපයක් මේ...
access -ප්‍රවේශය / ප්‍රවේශ වන්න
baseline - පාද රේඛාව
check box - සලකුණු කොටුව
gadget - මෙවලම
mouse - මූසිකය
scroll -රෝල් කරන්න
worksheet - වැඩපත

මේ වචන අපි ටික කළක් භාවිත කරන කොට අපිට ඉබේම පුරුදු වෙයි. මොනව උනත් මේ පොත් පිංච නම් ඉතාමත්ම වටිනව.

මේ අයුරින් හෙල බස එක්ක හැප්පුණු ව්‍යාපෘතිය පිටුපස බොහෝ දෙනෙක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා ලෙස සැලකෙන දිවංගත මහාචාර්ය වී කේ සමරනායක මැතිදුන්ද මේ පසුපස ඉඳල තියනව. ඊට අමතරව මහාචාර්ය ජේ බී දිසානායක මහතා ප්‍රමුඛ සිංහල භාෂා විශාරදයින්, ආචාර්ය රුවන් වීරසිංහ මහතා ප්‍රමුඛ කොළඹ සරසවිය, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ප්‍රමුඛ මොරටු සරසවිය, රෙෂාන් දේවපුර මහතා ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, සයන්ස් ලෑන්ඩ් කෝපරේෂන් ආයතනය සමඟින් එකතු පහදු වෙලා මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගම තමයි මෙම පොත් පිංච ප්‍රකාශයට පත් කරල තියෙන්නේ. ඉතින් මේ හැමෝටම ස්තූතියි.

මයික්‍රොසො‍ෆ්ට් ශ්‍රී ලංකා ආයතනයේ "ගමට IT" වැඩසටහන යටතේ තමයි මෙම පොත් පිංච එලි දැකල තියෙන්නේ. අන්තිම පිටුවේ මිලකුත් සටහන් වෙනව. ඒත් මේක පොත් කඩවල් වල නම් මම දැක්කෙ නෑ. නමුත් මයික්‍රොසොෆ්ට් ආයතනය නොමිලේම බෙදනව කියලයි දැනගත්තෙ. (මට නම් නොමිලේම ලැබුනේ අද පැවති .Net පරිශීලක සමාජයේ රැස්වීමේදී.)

දැන් ඉතින් ශුද්ධ සිංහලෙන්ම ලියන්න බැරියැයි... ඕන තරම් .....


Sunday, July 12, 2009

සිංහලෙන් ඔෆිස් හෙවත් පරිගණක සිංහල කරණයේ යෝධ පිම්ම ....

මගේ මුල් ලිපියෙන් මම කතා කළානේ. විස්ටා මෙහෙයුම් පද්ධතියේ සිංහල අතුරු මුහුණත ගැන. දැන් කතා කරන්නේ ඔෆිස් 2007 සිංහල අතුරු මුහුණත ගැන. මෙම අතුරු මුහුණත දැනට ක්‍රියාකාරී වන්නේ වර්ඩ් - එක්සෙල් - පවර් පොයින්ට් සහ අවුට්ලුක් යන මෘදුකාංග සඳහා පමණයි.

දැන් ඉතින් කතා මදෑ. බලන්නකෝ මේ මෙනු ටිකට වෙලා තියන දේ.

බොහෝ දුරට සිංහල වචන වලට පරිවර්තනය වෙලා. Home වෙනුවට මුල් පිට!. Insert වෙනුවට ඇතුල් කරන්න! Header වෙනුවට ශීර්ෂකය! Footer වෙනුවට පාදකය! සිංහල භාවිතාවේ වරදක් නම් නෑ. පුරුදු වෙනකොට හරියයි. හැබැයි “පිටු පිරිසැලසුම” කිව්වහම ටිකක් තේරෙනව මදිද මන්ද? ඒ මොනව උනත් ටූල් ටිප් එකෙන් දෙන උදව්වත් සිංහලෙන් ම දෙන එක නම් හොඳයි. විශේෂයෙන්ම අපිත් ඉතිං ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තට තවමත් ඉංග්‍රීසි හැකියාව අවම පිරිසක් ඉන්නවානේ. ඒක හන්දා සිංහල උපදෙස් හුඟක් වටිනව කියලයි මට හිතෙන්නේ.

මෙහි තියන තවත් විශේෂයක් තමයි සංවාද කොටු සහ විසාඩ් පවා සිංහලෙන් ඉදිරිපත් කර තිබීම. මීට පෙර Mail Merge කරන්නනම් ඒ ගැන දැනන් ඉන්නම ඔනේ. ඒත් දැන් තේරෙන සිංහලෙන් මේ කියල තියෙන්නේ කරන විදිහ

ඒ විතරක් නොවෙයි. දැන් දිය සලකුණු හෙවත් water mark වුනත් සිංහලෙන් තියනවා. සිංහල ශබ්ද කෝෂයත් ඉතා වටිනවා. හැබැයි වචන ගොඩක්ම අඩුයි. නමුත් දීල තියන වචන ටිකත් මදැයි. “ පිලිබඳ ” කියල යතුරු ලියනය කළහම මෙන්න යටින් රතු ඉරක් වැටෙනව. ඒක මතට ගියහම මෙන්න “ල” මූර්ධජ වෙන්න ඕනෙලු. නණ ලළ බේදය මතක් වුනේ එතකොට.




අවුට්ලුක් මෘදුකාංගය සමගින් අත්දැකීමත් හරිම අමුතුයි. තැපෑල - දිනදසුන - කාර්යයන් - හමුවීම් මේව නම් ඉතිං අමුතු වචන නොවෙයි නේ. මේ හැම දෙයකම තියෙන්නේ සිංහල පරිශීලකයෙක් වෙනුවෙන් දී ඇති සහයෝගයක් තමයි.

මට නම් තේරෙන විදිහට මෙය පරිගණක සිංහල කරණයේ යෝධ පිම්මක් වේවි.
මෙම භාෂා අතුරු මුහුණත. XP මත වුවත් ඔෆිස් 2007 වෙත මෙම අතුරු මුහුණත ස්ථාපනය කළ හැකියි.

මෙන්න සබැදුම : http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx

ඔබේ අත්දැකීම ගැනත් පහතින් ලියන්න ආරාධනා කරනවා.

විස්ටා - ඔෆිස් 2007 දැන් සිංහලෙන් ....

මීට වසර ගණනාවකට ඉහතදී පරිගණකය හැඳින්වූයේ සමාජයේ ඉහල පෙලේ පුද්ගලයින් භාවිත කරන සුඛෝපභෝගී - ඉහල පැලැන්තියේ තාක්ෂණික මෙවලමක් ලෙසයි. නමුත් අද වන විට ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පරිගණකය සාමාන්යල ජනතාව අතරට ගිහින් අවසානයි. තවත් නොබෝ කලකින්ම සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙසට පරිගණකය සඳහන් වීම අපි කාටත් වැලැක්විය නොහැකියි. පරිගණකයේ උපත ඇමෙරිකාවේදී සිදු වුවත් මුළු ලෝකයේම විද්‍යාඥයින්, තාක්ෂණිකඥයින් , උගතුන් පරිගණක තාක්ෂණයේ දියුණුවට කර ඇති මෙහෙය අති විශාලයි. මුල් කාලයේදී පරිගණකය හැසිරවූයේත්, අපගේ අවශ්‍යතා ඉටු කරගත්තේත් ඊටම ආවේණික භාෂා වලින්. පසුකාලයේදී පරිගණකය හැසිරවීම මෙන්ම අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අප එදිනෙදා භාවිත කරන භාෂාවන් යොදා ගැනීම ඇරඹුණා. නමුත් මුල්වරට බොහෝ පරිගණක පරිශීලකයන් අතර ජනප්‍රිය වූයේ ඉංග්‍රීසි බසයි.

ඒ සියල්ල පරිගණකය හා බැඳුණු අතීත කතා. අද වන විට පරිගණක තාක්ෂණය මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී අවසානයි. ඒ කෙසේ වෙතත් ලෝකය පුරා පරිගණකය හා තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත වෙද්දී යම් යම් ගැට‍ළු ද පැණ නැගුණා. ඉන් එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ මුළු ලෝකයේ ජනගහණයෙන් වැඩි පිරිසකට ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සේ වැඩ කිරීම‍ට නොහැකි වීම. ඒ නිසාවෙන්ම පරිගණක භාවිතය අත හරින්නට තරම් ජනතාව පසුබට වූයේ නෑ. ඒ වෙනුවෙන් විසඳුම් සොයා ගියා. “ දේශීය කරණය” නම් වූ සංකල්පය පරිගණකය වෙතටත් ළඟාවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටයි.

මෙසේ තාක්ෂණය ඉදිරියට යද්දී අපේ රටේ අපේ බස - සිංහල භාෂාවත් මග නැවතුනේ නෑ. විවිධ ක්‍රම හරහා සිංහල බසින් පරිගණකය මගින් වැඩ කරගැනීම ඇරඹුණා. තමුන්ගෙ මවු භාෂාවෙන් තමුන්ගෙ වැඩ කරගන්නව කියන්නෙ සැබැවින්ම වාසනාවක්. මෙහිදී සිංහල යුනිකේත ක්‍රමයේ හඳුන්වා දීම ඉතා වැදගත් සංධිස්ථානයක් කියලයි මට හිතෙන්නේ. ඊට පසු විවිධ මෘදුකාංග සිංහලෙන් දේශීයකරණය වෙලා එළියට ආවා. ෆයර්ෆොක්ස් මෙන්ම තන්ඩබර්ඩ් මෘදුකාංග 2 සිංහල බසින් පැමිණීම මෙම සිංහල-දේශීයකරණයේ මීළඟ සංධිස්ථානයයි.

අද වන විට මෙම මාවතේ යෝධ පියවරක් තබන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකිවෙලා තියනවා. ඒ විස්ටා මෙහෙයුම් පද්ධතියත්, ඔෆිස් මෘදුකාංගයත් සඳහා භාෂා අතුරු මුහුණත් හෙවත් Langauge Interface Pack (LIP)හඳුන්වා දීමත් සමඟ. සිංහල බසින් පරිගණක භාවිත කරන්නන් වෙනුවෙන් එළි දැක්වුණු මෙම විස්ටා - ඔෆිස් සිංහල භාෂා අතුරු මුහුණත සැබැවින් ම අපව මවිත කරවනවා කිව්වොත් නිවැරදියි.


“භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් (Language Interface Pack -LIP) යනු, වින්ඩෝස් විස්ටා වැනි යම් මෙහෙයුම් පද්ධතියක හෝ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වැනි පරිගණක වැඩසටහනක මුහුණත, භාවිත කරන්නාගේ දේශීය භාෂාවෙන් හැඩ කිරීමට සමත්වන මෘදුකාංගයකි. යම් මූලික භාෂාවක් (සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බස) පදනම් කරගෙන පරිගණකය තුල මෙහෙයුම් පද්ධතියක් හෝ පරිගණක වැඩසටහනක් ස්ථාපනය කළ පසු ඒ මත මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් ස්ථාපනය කිරීමෙන් මුල් මෙහෙයුම් පද්ධතියේ හෝ පරිගණක වැඩසටහනේ වදන් සහ හැඩතල සැලකිය යුතු ලෙස අදාල දේශීය භාෂා‍ව වෙත පරිවර්තනය වීම සිදුවේ. මේ වන විට වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලය සඳහා සිංහල භාෂාව වෙනුවෙන් වූ මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් හඳුන්වා දී තිබේ. මෙය ස්ථාපනය කළ විට ඔබේ පරිගණකයේ සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ මූලික මෙනු, බොත්තම්, උපදෙස් සහ විස්තර සැලකිය යුතු ලෙස සිංහල මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී සිදුවනුයේ මෙම මෘදුකාංග වලදී භාවිත වූ ඉංග්‍රීසි වචන සඳහා සිංහල වදන් පෙලක් මුසු කිරීමයි.” (උපුටනය: මයික්‍රොසොෆ්ට් මූලික හඳුන්වා දීමේ ගොනුවෙනි)"

පළමු වරට මෙවැනි අත්දැකීමක් ලද විට මා පුදුමයට පත්වූයේ මෙහෙයුම් පද්ධතියේ බොහෝ ස්ථාන වල සිංහල වදන් පමණක් ම දුටු නිසාවෙන්. මේ අත්දැකීම කිහිපයක් ඔබත් සමඟ බෙදා ගන්න කැමතියි. මෙන්න විස්ටා පාලක පුවරුව හෙවත් control panel එක:සැබැවින්ම පුදුමාකාරයි නේද?. මෙහිදී මූලික මෙහෙයුම් පද්ධතිය පමණක් නොව ඒ සමඟ සබැඳි මෘදුකාංග සඳහා ද අදාළ පරිවර්තනය සක්‍රීයයි. උදාහරණයක් ලෙස අපිට හුරුපුරුදු Media Player එක දැන් හැඳින්වෙන්නේ “මාධ්‍ය ධාවකය” යන නමින්. Calendar එක දින දසුන වෙලා. Movie Maker සළරූ නිමැවුම් කරු වෙළා. මෙම මෘදුකාංග අභ්‍යන්තරයේදීද මෙනු, බොත්තම්, විස්තර, උපදෙස් බොහෝ දුරට සිංහල බසින් පෙන්නුම් කරනවා.




හැබැයි ඉතින් මෙහි අඩුපාඩු බොහෝ ඇති. නමුත් අඩුපාඩු ගැන කතා කරනවාට වඩා කරල තියන මහා කාර්යය ගැන කතා කරන එක වටිනවා කියල හිතෙන හින්ද මම අඩුපාඩු ගැන මෙතන කතා කරන්න යන්නෙ නෑ. මේ යෝධ කාර්යයට මයික්‍රොසොෆ්ට් සමඟ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ දේශීය භාෂා විශාරදයින් එකතු වෙලා ලබා දීල තියෙන්නේ හොඳ සහයෝගයක්. (අනේ තව කවුරු හරි මීට අමතරව උදව් කළා නම් ඒ අයටත් ස්තුතියි. නැත්නම් ෆයර්ෆොක්ස් පිටවුණු වෙලාවෙ වගේ දැන් මගේ දිහාවට අවි අමෝරාගෙන එයි, මමයි මේක කළේ කියලා.) මේ හැමෝටම ස්තූතියි.

ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම ගැන මීළඟ සටහනේ ලියන්නම්.

මේ අත්දැකීම වියදමකින් තොරවම ලබන්න. මෙන්න සබැඳුම:

වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspx

මයික්රොwසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:
http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx

පරිගණකයට ස්ථාපනය කරල බලල අදහසකුත් දක්වන්නකෝ....