මීට අවුරුදු
දෙකකටත් වඩා ඉස්සර "එකම කතාවක් , අවසානය දෙකක් " ලිපිය ලියුවට පස්සේ
එදිනෙදා ජීවිතයේදී කතා බහ කරන මාතෘකාවක් ගැන ලිපියක් ලියා නැහැ. එක දිගටම චාරිකාසටහන් ලියන්නත් අමාරුයි නේ.. ඒක හන්ද අද පොඩ්ඩක් ලියන්න යන්නේ මේ දවස් වල අපි කතා
කරන දෙයක් ගැන.
ඊට මූලික හේතුව වුනේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස
සැලකෙන සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිඳුන් පසුගිය දිනක සමරන්නට යෙදුනු නිසා.
සැබැවින්ම මෙතුවක් කල් අපිට අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා ලැබුනු
සහනය නම් කිසිදා මිල කල නොහැකියි. අද අපි යම් රැකියාවක් කරමින් ජීවත් වනවාද, එහි ගෞරවයෙන් සැලකිය
යුතු කොටසක් මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සතු විය යුතුයි කියලයි මගේ මතය. නදුන්ගේ මේ අදහස එක්කල ගොඩක් දෙනෙක් එකඟ වෙයි
කියලත් විශ්වාසයි.
නමුත් අද දවසේ
මොකක්ද මේ නිදහස් අධ්‍යාපන කප්පාදුව කියල කතිකා වෙන්නේ.. මේ ගැන පොඩ්ඩක් හොයල බලමු.
දැන් මේ
නිදහස් අධ්‍යාපන කප්පාදුවක්
ගැන බොහෝ විට කතිකා වෙන්නේ උසස් අධ්‍යපන ක්ශේත්‍රයේ තමයි.
[තවමත් පාසැල් වැසී යාමේ තත්වය ලංකාවේ
තිබුනත් ඒ තියෙන්නේ රටේ ලමයි අඩුවීම සහ නගරයට ඇදී යාම කියන කරුනු නිසා මිසක්, රජයෙන් මුදල් වෙන්
නොවීමක් නිසා නම් නොවෙයි. ]
ඉතින් මෙන්න
මා සොයාගත්ත දත්ත:
2008 වසරේ ලංකාවේ සරසවි වලට ඇතුලත් කරගත් සිසුන්
ගනන: 20621
2010 වසරේ ලංකාවේ සරසවි වලට ඇතුලත් කරගත් සිසුන්
ගනන: 21730
(වෙනස සිසුන් 1000 (5%) ක් පමන වූ ඉතා සුලු
වැඩිවීමකි )
2008 වසරේ ලංකාවේ සරසවි වලට වියදම් කල මුලු
මුදල: 13,116, 028,000.00
2010 වසරේ ලංකාවේ සරසවි වලට වියදම් කල මුලු
මුදල: 13,756, 816,000.00
(වෙනස : මිලියන
650 කට වඩා වැඩිය. නමුත්
ලංකාවේ ජනගහන වර්ධනයත් සමග මෙම ප්රමතිශතය මවිසින් සැසඳුවේ නැත. )
ඉතින් දැන්
කල්පනා කරල බලන්නකෝ මේ නිදහස් අධ්‍යපන කප්පදුව කියන කතාවේ ඇත්ත නැත්ත... ඔන්න මම
නම් කියල දෙන්න යන්නේ නෑ... නමුත් මේ ගනන් බලන ඕනෙම අයෙක්ට තේරෙනව මූල්යමය වශයෙන්
කිසිම අඩුවක් වෙලා නැතත්,සිසුන් ඇතුලත්
කරගැනීම නම් වැඩි වෙලා තියෙන්නේ ඉතාමත්ම සුලු ගනනකින් කියල. ඉතින් එහෙම නම් අපි
රටේ සැලසුම් හදන අයට බල කරන්න ඕනේ "කප්පාදුව නවතනු" කියල නෙවෙයි, "තවත් වැඩිපුර අධ්‍යාපනය
වෙනුවෙන් වැය කරනු." කියලයි. අපි වගේ ආර්ථිකයක් තියන රටකට අධ්‍යාපනය වෙනුවෙන්
කල හැකි ආයෝජනය ගැනත් ඉතින් හිතන්න වෙනව.. නමුත් ඉතින් සහනාධාර දෙනව වගේ නෙවෙයි නේ
අධ්‍යපනය වෙනුවෙන් වැය කරන එක. ඒක ආයෝජනයක්නේ.. අපේ රටේ සැලසුම් හදන්නෝ ඕව ඉතින්
හිතන්න ඕනේ....
නිදහස් අධ්‍යාපනය
ගැන කතාවෙන ගමන්ම මේ දවස්වල ඇසෙන දෙයක් තමයි "මාලබේ වෛද්‍ය විද්‍යාලය".
මීට පෙර ඒ වෙනුවෙන් එරෙහි වෙච්ච සිසුන් සහ දේශපාලුවන් ට අමතරව දැන් රටේ ඉන්න වෛද්‍ය
වරුත් විරුද්ධයි කියල ප්‍රකාශ කරනව..
මේ විරුද්ධ වීම් වලට එක් එක් පිරිස් දක්වන්නේ
විවිද හේතු. සමහරු කියන්නේ සල්ලි වලට දොස්තර වෙන්න පුලුවන් වෙයි කියලාය. සමහරු
කියන්නේ උසස් පෙල සාමාන්‍ය සාමාර්ත 3 කින් දොස්තර වෙන්න පුලුවන් වෙයි කියලාය. අදාල ආයතනයේ
ඉගැන්වීම නියමාකාරයෙන් සිදු නොවේ කියා කණ්ඩායමක් පවසති(රෝහල් වලට ඇතුලුවීමටවත් මේ
සිසුන්ට අවසර නොලැබෙන තත්වයක් තුල තත්වයෙන් උසස් දොස්තරලා බිහි වේ යැයි සිතිය නොහැක
). තවත් සමහරු පවසන්නේ මේ ඇරඹෙන්නේ නිදහස් අධ්‍යාපනය වැනසීමේ වැඩපිලිවෙල කියාය.
එස්. බී. මීට මූලිකත්වය ගෙන කටයුතු කරන නිසා "එස්. බී කරන නිසා" විරුද්ධ
කණ්ඩායමකුත් සිටිති. මේ හේතු එකින් එක ගෙන විස්තර කිරීමට මගේ බලාපොරොත්තුවක් නැත.
නමුත් මෙහිදී මාවිසින් විශ්වාස කරන පරිදි නම් "පුද්ගලික සරසවි ලංකාවේ බිහිකල
යුතුය, එමෙන්ම රජයේ
විශ්ව විද්‍යාල මගින්ද මුදල් අයකරගෙන කරනු ලබන බාහිර උපාධි වැඩසටහන් වඩා විධිමත්
කල යුතුය." එසේ කියන්නට හේතු ගනනාවක් මාහට සිතේ.
අන්තරේ පෝස්ටර් වල ලියා ඇති
පරිදි, "උපාධි
කඩ" බවට මේවා පත් වේවිද?මුදල් තිබූ
පමණින් කඩෙන් ගොස් පරිප්පු කිලෝ එකක් ගන්නා ලෙසට උපාධි ගන්නට බැරි බව නම්
පැහැදිලිය.කොපමණ මුදල් ගෙවූවත්, විභාග සමත්
විය යුතුය.(රජයේ සරසවි "උපාධි දන්සැල්" නොවන්නේද එහි ආ පමනින් උපාදියක්
ගන්නට නොහැකි නිසාය,සරසවියක කටු
කෑ ඕනෑම අයෙක් මේ බව දන්නවා ඇත.) උසස් පෙලට එස් 3ක් ගත්තද ඔහුට අදාල විෂය කරුනු අවබෝධකරගෙන
සරසවියේ විභාග (ප්‍රායෝගික පරීක්ෂණද ඇතුලුව )
සමත් වීමට හැකිනම් ඔහු වෛද්‍යවරයෙකු වීමේ වැරැද්ද කුමක්ද?
නමුත් අදාල ආයතනයේ
නිසි පරිදි අධ්‍යාපන කටයුතු සිදු වනවාද කියා සොයා බැලිය යුතුය. එය රාජ්‍ය
මැදිහත්වීමෙන් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. දැනට රජයේ සරසවි වල පමනක් ක්‍රියාත්මක
තත්ව පාලන වැඩසටහන අදාල සරසවි තුලටත් ව්‍යාප්ත කරවා එහි ගුණ දොස් සොයා බැලිය
යුතුය.අපේ මේ උද්ඝෝෂකයින් අවධානය යොමු කල යුත්තේ ඒ වෙතය. නමුත් එවැන්නක් වෙනුවෙන්
බල කර සිටීම පෞද්ගලික සරසවි වල ඉගෙනගන්නා සිසුන්ට කරන උදව්වක් බැවින් එවැනි පරහිත
කාමී සටනක් අද අපිට දැක ගත් නොහැක.
පෞද්ගලික සරසවි පිහිටුවීමේ සහ නිදහස් අධ්‍යාපනය
විනාස වීමේ සෘජු සම්බන්ධයක් නොපෙනුනත් වක්‍රාකාර සම්බන්ධයක් නම් පෙන්නුම්
කරයි.එනිසා අපි අරගල කල යුත්තේ පෞද්ගලික සරසවි පිහිටුවීම ට නොව කිසියම් වූ ක්‍රමයකින්
නිදහස් අධ්‍යාපනයට එනු ලබන බාධක විනාශ කිරීමටය.
මෙලෙස කියන මට නම් කිසි දිනක එවැනි සරසවියක
ඉගෙනගැනීමට වරම් නොලැබුණි. එක් හේතුවක් වූයේ රජයේ සරසවියකට තේරීමට තරම් වාසනාවන්ත
වීමයි. අනිත් හේතුව රජයේ සේවකයෙකු වූ මාගේ පියාට නම් කිසි දිනක මෙවැන් සරසවියකට
අපව යවන්නට නොහැකි වන බව දැන සිටීමයි.
නමුත්.... රජයේ සරසවියට තේරීමට තරම් වාසනාව
අඩුවන අපේම සොයුරු/ සොයුරියන්ට ඒ නිසාවෙන්ම උසස් අධ්‍යාපන සිහිනය සුනු විසුනු කර
දැමිය යුතුද? ඔවුන්ට මුදල්
තිබුනත් , නැතත් ඔවුන්ගේ
අධ්‍යාපන අවස්ථා නැති කිරීම අප කිසිදා නොකල යුතුය. සතියේ දවස් 5 තිස්සේ රැකියාව කර,
ඒ වැටුපෙන් සති අන්තයේ පෞද්ගලික උපාධි හදාරන මිතුරන් ඕනෑ
තරම් අපිට හමු වී තිබේ. ඔවුන් මහා ධන කුවේරයින්ගේ දරුවෝ නොවේ. ඔවුන්ටද ඇත්තේ
මහන්සි වී ඉගෙනගෙන හොඳ රැකියාවක් කිරීමේ ආශාවයි. දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන්
වැය කිරීමට මුදල් තිබේ නම්, ඔවුන්ට ඉගෙන
ගන්නට පරිසරයක් ඇති කිරීම රජයේ යුතුකමක් යැයි මට සිතේ.ඔවුන්ද උගතුන් වූ විට ඒ
බුද්ධිය යෙදවෙන්නේද මේ රටේ දියුනුවට බව අමතක නොකල යුතුයි.ඔවුන් නිසි පරිදි අධ්‍යාපනයක්
නොලදහොත් ඔවුන් මේ රටට බරක් වන බවද අපි මතකයේ තබාගත යුතුයි.විදෙස් රටක ඉගෙනගන්නට
නම් වැයකලයුතු මුදල අති මහත්ය. එපමණ මුදලක් සෑම කෙනෙක්ටම වැයකිරීම කල නොහැක්කකි.
නමුත් එසේ බොහෝ දෙනෙක් පිට රට යන්නේ අප රට තුල ඉගෙනුම් අවස්ථා නොමැති නිසාය.
එලෙසින් කිසියම්ම හෝ මුදලක් අපේ රටට ඉතුරු වේ යැයි සිතිය හැක.කිව යුතු තවත් කරුනක්
නම් එලෙස පිටරටින් ඉගෙන ගෙන පැමිණෙන සිසුන්ට ඇති අවස්තාවක් වත් අපේ රටේ ඉගෙනගන්නා
වෛද්‍ය සිසුන්ට ලබානොදීමට/නොලැබීමට හේතුව අපිට නම් අපැහැදිලිය.
මේ ලිපිය තවත්
දිගු වන බැවින්, තවත් හේතු
දැක්වීම මදකට පමා කරමි. අවසන් වශයෙන් පවසන්නට ඇත්තේ, රටේ අනාගතය වෙනුවෙන් පෞද්ගලික සරසවි
ඇතිකිරීම අත්‍යාවශ්‍යම කරුනක් බවත්, නිදහස් අධ්‍යාපනය වැනසීමක් මීට සෘජුව සම්බන්ධ වන්නේ
කෙසේද යන්න මා තවමත් සොයමින් සිටින බවත්ය.