Pages

Sunday, November 11, 2018

ශුද්ධ සිංහලෙන් පරිගණකයෙනුත් ලියමුද .... ? හෙළකුරේ පරිගණකාගමණය ගැනයි මේ......

අවුරුදු තුනකුත් මාස නවයකට පස්සේ නදුන් උයන බ්ලොග් අඩවියට ලිපියක් ලියන්න හිතුනේ විශේෂ කාරණා 2 ක් නිසයි. එකක් තමයි ස්තුති කිරීමක්. දෙවැන්න තමයි දැනුවත් කිරීමක්.

2009 ජූලි 12 වැනිදා මම නදුන් උයනේ ලියපු මේ ලිපියේ ලියැවෙන්නේ "සිංහලෙන් ඔෆිස් හෙවත් පරිගණක සිංහල කරණයේ යෝධ පිම්ම ...." කියන තේමාව යටතේ. එම ලිපිය පුරා ලියවෙන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ඔෆිස් මෘදුකාංග පද්ධතිය සිංහල භාෂාවෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවීම සම්බන්ධව. නමුත් පරිගණක භාවිත කරන බොහෝ දෙනෙක්ට, මෙම මෘදුකාංගය භාවිත කිරීමට  අවශ්‍ය මූලික ඉංග්‍රීසි දැනුම පැවතුනු නිසාත්, එම මෘදුකාංගය තුල භාවිත කළ සිංහල වචන බොහෝ දෙනෙක්ට පහසුවෙන් ග්‍රහනය නොවූ නිසාත්, එම ව්‍යාපෘතිය එතරම් සාර්ථක තත්වයට පත්වුනේ නෑ.

නමුත් සමකාලීනව පරිගණක සිංහල භාවිතයේ යෝධ පිම්මක් ඇතිකලේ, SETT- BROWSER / DECODER එකයි. එනම්, සිංහල අකුරු කිසිවක් ස්ථාපනය නොකළ පරිගණකයක පවා, සිංහල වෙබ් අඩවි ගැටලුවකින් තොරව දකින්නට මේ හරහා හැකි වුනා. මේ කාර්‍යයට මූලිකවම කැපවී ක්‍රියාකලේ ලාංකික තරුණ පරිගණක ඉංජිනේරුවෙක් වන ධනික පෙරේරා තරුණයා.

එමගින් නොනැවතුන ඔහුගේ සුවිශේෂීම නිර්මාණයක් උනේ, "හෙළකුරු" යතුරු පුවරුව හදුන්වා දීමයි. පලමුව මෙම යතුරු පුවරුව හදුන්වා දුන්නේ ජංගම දුරකතන වෙතයි. සමාජ මාධ්‍ය අඩවි වල බොහෝ දෙනක් හෙළබසින් අකුරු කරන්නේ මේ ඇප් එකට පිංසිද්ධ වෙන්න. "ජාති ජාති... තද තද..." ,  "චාමර ඔයා... " කියල බොහෝ දෙනෙක් ඒ දවස්වල ලියුවේත්, "ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව , ජනතා පරමාධිපත්‍යය " වගේ හර බර වචන මේ දවස්වල ලියවෙන්නේත්,  හෙළකුරු භාවිත කරන මිලියන 4 කට අධික ජංගම දුරකතන උපාංග හරහායි.



මෙම හෙළකුරු යතුරු පුවරුව මෙතුවක් කාලෙකට ජංගම දුරකතන හරහා අපේ භාෂාව ව්‍යාප්ත කරන්නට උපරිම මෙහෙයක් ඉටු කලත්, පරිගණක තුල සිංහල ටයිප් කිරීමට හෙළකුරු තුලින් ඉතාමත් පහසු උනේ නෑ. මෙවැනි දිගු ලිපියක් නම් හෙළකුරු වෙබ් මුහුනත (www.helakuru.lk) මත යතුරු ලියනය කොට නැවත් පිටපත් කර අවශ්‍ය තැන ඇලවීම කළහැකිව තිබුණා.

නමුත් සිංහලෙන් වැඩකරන කාර්‍යාල වලට , සුලු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට වගේම, විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ට සිංහලෙන් අවශ්‍ය තැන සෘජුවම යතුරු ලියනය කිරීමේදී දැඩි අපහසුතා වලට ලක්වන්නට සිදු උනා. [ගුගුල් ආදාන මෙවලම් මේ කාර්‍යයට දායකත්වයක් දැක්වූවත් එහි යම් යම් ගැටලු නිසා ජනතාව වැලද ගත්තේ නැහැ. ]

හැබැයි මේ සියලු ගැටලු වලට විසදුමක් ලබා දෙමින්, හෙළකුරු මගින් පරිගණක සදහා වන යතුරු පුවරුව මෘදුකාංගයක් ලෙස නිකුත් කර තිබෙනවා.  දැන් එම මෘදුකාංගය භාවිත කර, ඔබට අවශ්‍ය ඕනෑම තැනක සිංහලෙන් අකුරු කරන්නට හැකියාව තියනවා.

පළමුව කියන්නම් මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගත හැකි තැන. https://www.helakuru.lk/  වෙබ් අඩවියට පිවිසිලා, එහි දකුණු තීරුවේ පහල ඇති පරිගණක සදහා ඇති බොත්තම් ඔස්සේ ඔබේ මෙහෙයුම් පද්ධතියට අදාලව මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. ඉන්පසු එය පරිගණකය තුල ස්ථාපනය කර,  ස්ථාපනය සම්පූර්ණ වීමට සුලු කාලයක් ලබාදෙන්න.

දැන් ඔබේ පරිගණකයේ පහල දකුණු කෙලවරේ, භාෂා පුවරුවෙන්, සිංහල යතුරු පුවරුව තෝරාගෙන ඔබට අවශ්‍ය දෙයක් අවශ්‍ය තැනක ලියන්නට පුලුවන්.

මෙහිදී ඔබට හුරු පුරුදු සිංග්ලිශ් ක්‍රමයට ලියන්න පුලුවන්. උදාහරණයක් විදිහට, අම්මා කියල ලියන්න, "ammaa" විදිහට ලියුවානම් හරි.

විශේෂයෙන්ම කියන්නට අවශ්‍ය‍යි, මේ හරහා
ජී මේල් තුල කෙලින්ම ඊ මේල් ලියන්න ,
වර්ඩ් - එක්සෙල් තුල සිංහලෙන් ලිපි ලියන්න,
පවර් පොයින්ට් තුල අපේ බසින්ම ප්‍රසන්ටේෂන් හදන්න,
බ්ලොගර් වල බ්ලොග් ලියන්න,
ඕනෑම වෙබ් අඩවියක සිංහලෙන් දත්ත ඇතුලත් කරන්නත්
පුලුවන්.

ඒ වාගේම තමයි,
ඊ තක්සලාව වගේ වෙබ් අඩවි තුල ඇති ප්‍රශ්න පත්‍ර වලටත් සිංහලෙන් උත්තර ලියන්න පුලුවන් දැන්.
වන් නෝට් වල සටහන් හදා ගන්න වගේම
ගුගුල් ශීට් වල වැඩකරන්නත්

මෙම යතුරු පුවරුවෙන් පුලුවන්. ඒ වාගේම ඔබ ආයතනයේ භාවිත වන සුවිශේෂී මෘ දුකාංග තුලත් මෙය භාවිතකරන්නට බොහෝවිට හැකි වේවි.

මම මේ ලිපිය ලියුවේ මේ ගැන දැනගන්න අවශ්‍ය අය දැනුවත් කිරීම එක අරමුණක් කරගෙන. අනිත් කරුණ තමයි, මෙවැනි නිර්මාණයක් එලි දක්වපු ධනික පෙරේරා තරුණ ව්‍යවසායක මහතාට ස්තුති කිරීමක් වශයෙන්. ඊට හේතුව තමා ලංකාව තුල මෙවැනි ව්‍යාපෘති රජය මගින් මැදිහත්ව කළ යුතුව තිබුනත්, එවැන්නක් මෙතරම් සාර්ථක සහ ස්ථායී ලෙස ප්‍රකාශනය කලේ ඔහු සහ "භාෂා ලංකා ආයතනය" නිසා. එවැන්නක් බිහි නොවුනා නම්,  වසර ගණනාවකට පසු සිංහලයේ අකුරු අනාගත් පරපුරේ භාවිතයෙන් ඉවත් වන්නටත් ඉඩ තිබුණා.


( ඡායාරූප : හෙළකුරු මුහුණු පොතේ පිටුවෙන්. )

අවසානයට ලියා තබන්නම්, හැකිනම් මෙම මෘදුකාංගය මිලදීගෙන තවත් මෙවැනි නිර්මාණ කරන්නට ඔවුන්ට ශක්තියක් වන්න. පුද්ගලික භාවිතය සදහා නොමිලේ ලබාදෙන මෘ දුකාංගය වෙනුවෙන්, ඔබට කැමතිනම් රු. 1000/- ක් ගෙවන්නත් පුලුවන්

0 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...