කලකට පස්සේ ආයෙත් හිතුනා නදුන් උයන පැත්තේ ඇවිත් ලිපියක් ලියන්න... අවුරුදු 3 කින් ලිපියක් ලියල නෑ.. බොහෝ ලිපි ලියන්න හිතුවත්, ගොඩක් ඒව මග ඇරිල ගියා... දැන් නම් මගේ බ්ලොග් එක සින්ඩි වලිනුත් ගැලවිලා ඇති..
පසුගිය කාලය පුරාවටම මම ලියුවේ කෙන්යාවේ ගත කරපු ජීවිතය ගැන... රැකියා ස්ථානයේ සේවා අවශ්‍යතාවක් නිසා කෙන්යාවේ වසරක් පමණ කාලයකදී ලබපු අත්දැකීම් ගොඩක් මම ලිපි වලට හරවල තිබුණා.
ඉතින් ලංකාවට පහුගිය කාලයේ මම ආ ගිය තැන් කීපයක් ගැනත් විස්තර ටිකක් ලියන්න හිතුනේ ඒවායේත් කියවන ඔබට යම් හෝ දෙයක් ලබාගන්න පුලුවන් වෙයි කියල හිතල..
පහුගිය දවසක මට අහම්බෙන් වගේ යන්න ලැබුණා කොළඹ නගර සීමාවේ තිබෙන අති පූජනීය විහාරස්ථානයකට...
ඒ තමයි අග්‍රශ්‍රාවක මහා විහාරය...
මේ විහාරයේ පැය කීපයක් ගත කරන්නත් මට අවස්තාව ලැබුනේ අහම්බෙන්.. මරදාන නගරයේ මහා ජනාකීර්‍ණ බවත්, පටු මාවත් ඔස්සේ වැටී ඇති නාගරික නිවාස පේලිත් මැදින් එද්දී සිතට දැනෙන පීඩාවත් මගහැරීයන්නට ගත වූයේ නිමේශයක්. පන්සල ඉදිරිපිට අරලිය ගස් සෙවනේ රැදී සිටි මට ඈතින් දිස් වූයේ ටිකක් අමුතු දර්ශනයක්. එනිසා මම ලංවී බැලුවා විතරක් නෙවෙයි, ඡායාරූපයකුත් ගත්තා...
මේ තමයි අපි කවුරුත් දන්න අනගාරික ධර්මපාල තුමා පාවිච්චි කරපු එතුමාගේ රථය.. මේකට ඒ දවස් වල කියුවේ සෝබන මාලිගාව කියලලු. ඉතා පැරණි වර්ගයේ මෝටර් රථයක් වන මෙය ලංකාව පුරාම ධර්මපාල තුමාව රැගෙන ගිහින් තියනව.. පරම්පරා ගනණක්ම සුදු අධිරාජයට යටත් වෙලා හිටපු ජාතියක ජාතික හැඟීම් නංවන්න එතුමා ගත් උත්සාහය අපි හැමෝම දන්නවානේ. එතුමාගේ මේ සෝබන මාලිගා රථය දැන් මෙහෙම තිබුනට, මේ රථයේ මෑත කාලීන ඉතිහාසය මෙන්න මෙහෙමයි.
මේ වටිනා වස්තුව නවීකරණය කල අපේ රණවිරුවන්ටත්, ඊට අනුබල දුන් නිලධාරීන්ටත් අපි විශේෂ ස්තූතියක් පුද කරන්න ඕනේ.
ඉතින් මම මුලින්ම කියුවනේ මේ පන්සලට මම ගොඩ වැදුනේ අහම්බෙන් කියල.. ඒ කියන්නේ බුදු පුදට ආපු ගමනක් නෙවෙයි.. නමුත් මට මේ ඓතිහාසික බවත් එක්කම පොඩ්ඩක් තොරතුරු හොයන්න හිතුනා.
මේ විහාරස්ථානය මහාබොධි සමාගමට අයත් පින් බිමක්. මේ පන්සල අග්‍රශ්‍රාවක මහා විහාරය කියල හැඳින්වෙන්නේ මේ පන්සලේ තැන්පත් කරල තියනව, බුදුරජානන් වහන්සේගේ අග සව්වන් වන සැරියුත් මහරහතන් වහන්සේගේත්, මුගලන් මහ රහතන් වහන්සේගේත් ධාතූන් වහන්සේලා..
ඒ කතාව මෙහෙමයි...
මෙම රහතන් වහන්සේලා දෙනමගේ ශාරීරික ධාතූන් වහන්සේලා 1851 දී ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් පුරා විද්‍යාඥයා විසින් ඉන්දියාවේ සාංචි ස්තූපයේ සිදුකරන ලද කැණීම් වලදී සොයා ගනු ලැබීය. එම ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ලංකා ආණ්ඩුවේ සහ මහාබෝධි සංගමයේ ඉල්ලීමකට අනුව 1955 මාර්තු 19 වැනි දා ලංකාවට වැඩම කරවා කොළඹ 10 මහාබෝධි අග්‍ර ශ්‍රාවක විහාර මන්දිරයේ තැන්පත් කෙරුණි.
ඉන්දියාවේ සාංචි ස්තූපයෙන් සොයා ගන්නා ලද සැරියුත් – මුගලන් මහරතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ ද කොටසක් මියන්මාරයේ ස්වේතගෝන් විහාරයේ ද අනෙක් කොටස ඉන්දියාවේ සාංචි විහාරස්ථානයේ ද තැන්පත් කොට ඇත. වසරකට වරක් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති මෙම ධාතූන් වහන්සේලා වැඩ සිටින කුටියෙන් එළියට වඩමවා සැදැහැවතුන්ට සියැසින් දැක වන්දනාමාන කිරීමේ භාග්‍යය ද උදා වී ඇත. ඒ අනුව ඉන්දියාවේ සාංචි විහාරයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා සෑම වසරකම නොවැම්බර් මාසයේ අන්තිම සතියේ ඉරිදා දින වැඩසිටින කුටියෙන් එළියට වැඩමවා මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරේ. ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ හා ඉන්දීය රජයේ ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම ධාතු ප්‍රදර්ශනය එක් දිනකට පමණක් සීමාවන අතර ගිය වසරේ පමණක් මුල්වරට දින තුනක් ප්‍රදර්ශනය කරනු ලැබීය.
ලංකාවේ අග්‍රශ්‍රාවක විහාරයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා සෑම වසරකම වෙසක් පුන් පොහෝදිනයේ වැඩ සිටින කුටියෙන් එළියට වැඩමවා නැවත ප්‍රදර්ශනයට විවෘත කෙරේ. මෙහිදී වෙසක් පුන් පොහෝ දින හා ඊට පසුදිනයේදී අතිවිශාල ජනතාවක් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා මෙහිදී සියැසින් දැක වන්දනා මාන කරති.
(http://www.lakehouse.lk/budusarana/2011/07/23/tmp.asp?ID=fea04)
විහාරයේ ඉහල මාලයේ බුදුරුවට වම් පසින් රන් කරඩුවක තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා දෑසින් දකින්නට වරම් නොලැබුණත්, ඈතින් සිට වන්දනා මාන කිරීමට මටත් අවස්ථාවක් උදා උනා.
පසුගියදා අති උතුම් පාප් වහන්සේද ලංකාවට වැඩමවූ අවස්ථාවේ මෙම විහාරස්ථානයට ගොස් ගෞරව දක්වා තිබුනා. එතුමාණන් විහරස්ථානයට ඇතුලුවත්ම, සිය පාවහන් ගලවා ආචාර කලබව අපි මාධ්‍යයෙන් දුටුවා.
ඔන්න මම මේ පන්සලේ ඉඳල පාරෙන් අනිත් පැත්ත බලද්දි, තියෙන්නේ මරදාන විද්‍යෝදය පිරිවෙන.
මම ගියා ඒ වෙතටත්. මරදාන විද්‍යෝදය පිරිවෙන කියන්නේ එක යුගයක ලාංකීය බුද්ධිමතුන් රැසක් ජාතියට තිලින කරපු තැනක්. ඒ ජාතික - ආගමික මෙහෙවරේ නියමුවානන් තමයි, හික්කඩුවේ සුමංගල මහා නායක හිමිපානෝ. උන්වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ අනුරුවක් මෙම පිරිවෙන් භූමියේ පිහිටුවල තියනව. ඊට එපිටින් උන්වහන්සේගේ භශ්මාවශේෂ තැන්පත් කරපු ස්මාරකයත් අපිට දකින්න පුලුවන්.
කොළඹ නගරයේ මරදානේ පිහිටල තියන මෙම ආගමික ස්ථාන දෙක ගැන ගොඩ දෙනෙක් දන්නේ නැති නිසා තමයි මේ ලිපිය ලියුවෙ..
ඔබටත් මෙහි යන්න හිතක් ආවනම් , ගිහින් සැරියුත් මූගලන් අගසවු වහන්සේලාගේ ධාතූනුත් වැඳපුදාගෙන එන්න ...
1 දෙනෙක් ප්‍රතිචාර දක්වල:
ස්තූතියි නඳුන්. කාලෙකින් හරි මෙහෙම ලියනවට සතුටුයි. ලස්සන විස්තරයක්.
Post a Comment
මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...