සැබැවින්ම විභාග ප්‍රශ්න පත්‍රයක් එලෙස වැරදි සහිතව තිබීම මම කිසි ලෙසකින්වත් අනුමත නොකරමි. නමුත් මේ කතාව ඇසුණු මට අපි පාසැල් ගිය කාලයේ සිදුවූ සිද්ධි කීපයක්ම මතක් විය. අද සිදුවන දේ ද සැසඳු විට....
අර සුප්‍රසිද්ධ වෙළඳ දැන්වීමේ ඇති "එකම කතාවක් , අවසානය දෙකක් " පාඨය මතක් වුණි.
කතාවේ ආරම්භය:
පාසැල් විභාග දිනය උදා විය. අද විද්‍යාව විෂයයි. මෙන්න ප්‍රශ්න පත්‍ර බෙදන්නට පටන් ගනී. ප්‍රශ්න පත්‍රයේ පහත ආකාරයේ වැරදි/ මුද්‍රණ දෝෂ කීපයක් ඇත.
- මෙහි ඇති ප්‍රශ්න 8න් 5කට පිළිතුරු දෙන්න. (නමුත් ප්‍රශ්න පත්‍රයේ ඇත්තේ ප්‍රශ්න 7කි.)
- 50 km බරැති සිමෙන්ති කොට්ටයක්......
- ගැඩවිලා ාගාවියාගේ මිතුරෙකි. ("ෙ" වෙනුවට "ා" මුද්‍රණය වී ඇත.)
- දිග මනින ඒකකයක් වන්නේ .... km, cm, g, mm
- පහත රූප සටහන පිළිබඳව කළා ඇගයීමක් කරන්න. (නමුත් රූපය නැත)
- පහත ඔරලෝසු වල වෙලාව නිවැරදිව දක්වන්න. (ඔරලෝසුවල කටු දකින්නට නැත)
මෙන්න එදා මේ ගැටලුව විසඳුනු හැටි.
අදාල විෂය භාර ගුරුවරයා විභාග ශාලාවට එයි. මෙසේ කියයි. "ළමයි, මෙන්න මේ දේවල් මේ විදිහට නිවැරදි කර ගන්න... "
- මෙහි ඇති ප්‍රශ්න 7න් 5කට පිළිතුරු දෙන්න. (ප්‍රශ්න පත්‍රයේ ඇත්තේ ප්‍රශ්න 7ක් නිසා.)
- 50 kg බරැති සිමෙන්ති කොට්ටයක්......
- ගැඩවිලා "ෙ"ගාවියාගේ මිතුරෙකි. ("ා" වෙනුවට "ෙ" යොදාගන්න.)
- දිග මනින ඒකකයක් නොවන්නේ .... km, cm, g, mm ( නො අකුර වැඩිපුර යොදාගන්න)
ගණිත ගුරුතුමිය ඇවිත් ඔරලෝසුවේ නිවැරදිව කටු තියෙන්න ඕන හැටි කළු ලෑල්ලෙ ඇඳල ගියා. කට්ටියම ඒක බලල උත්තර ලිව්ව.
සමහර විටක ඔය ගැටලු තැන් අදාල ගුරුවරිය දකින්නෙත් කවුරු හරි ළමයෙක් ගිහින් ඇහුවහම තමයි.
දිග විතරක් දීපු සෘජුකෝණාස්‍රයක පරිමිතිය හොයන්න ප්‍රශ්නයක් තිබුණ මට තාමත් මතකයි. කවුද බ්‍රයිට් කේස් එකක් ඕක මිස්ගෙන් ඇහුවහම මිස් හැමෝටම කිව්ව "අදාල සෘජුකෝණාස්‍රයේ පළල මීටර් 2 යි"කියල ලියා ගන්න කියල.
වැරදි ටික හැදුව ගුරුතුමිය ගියා. විභාගෙත් ඉවරයි. ළමයින්ට ලකුණුත් තියනව. ඊළඟ වාර විභාගෙදිත් සමහර විට ඔය වගේම වෙන්න පුළුවන්... ඔය වගේ ගැටලු වලින් ළමයෙක්ට පේපරේ අවුල් ගියා කියල අපි නම් ඇහුවෙ නෑ.සියළු පහසුකම් තියනව කියන රාජකීය විද්‍යාලයේත් (1995- 1998 අතර අවුරුද්දක) සෞඛ්‍ය ප්‍රශ්න පත්‍රය නිසි දිනට මුද්‍රණය කරන්නට බැරුව ඒ දවසෙදි "බුද්ධාගම" ප්‍රශ්න පත්‍රය දුන්නා. මේ දේ කිව්වෙ දවසකට කලින්.
ඔය වගේ සිද්ධි ඕන තරම් වෙලා ඇති... අපි හැමෝටම....
මෙන්න මෙදා මේ ගැටලුව විසඳෙන හැටි.
ගැටළු ඇති බව ළමුන් දැනගනී. ගුරුවරුද දැන ගනී. ළමයි ඒ ගැන ගුරුවරුන්ට කියන්නේ ද නැත. ගුරුවරු වැරදි ටික නිවැරදි කර දරුවන්ට කියන්නේද නැත.
විභාගය අවසන් වූ පසු ළමයි යන්නේ ප්‍රදේශයේ "කුණු 1 st" වාර්තාකරු හොයාගෙනය. නැත්නම් කෝල් කරන්නේ "අටට කියන්න" ටය. එදා ගුරුවරයාට කියූ දේ අද "මාධ්‍යවේදී" මහා ගැලවුම් කාරයා ඉදිරියේ කියා පායි. මේවාට විසදුමක් බලා පොරොත්තු වන්නේ ඔහුගෙනි.
නැත්නම් රට හදන්නට මග කියන දේස-පාලුවෙක් ලඟට යයි. එදා ගුරුවරයාට කියූ දේ අද "රට හදන" දේස-පාලුවා ඉදිරියේ කියා පායි. මේවාට විසදුමක් බලා පොරොත්තු වන්නේ ඔහුගෙනි.
අර කුණු 1 st" වාර්තාකරු හෝ අටේ වාර්තාකරු තවත් කුණු ටිකක් එක්කර කුණු රස වැඩිකර රූප කර තමුන්ගේ මහ ගෙදරට එවයි. දේසපාලුවාද කරන්නේ එයමය.
ළගදීම මේ ගැටලුව යුනෙස්කෝ මහා මණ්ඩලයේද කතාබහ වන්නට ඉඩ තිබේ.
අන්තිමට මේකත් ජාතික ප්‍රශ්ණයක් වෙලාය.
(යුද්ධයත් නැති අපි දැන් ජාතික ප්‍රශ්න ඌනතාවයකින් පෙළෙන්නෙමු. )
අවසානය දෙකක්.
එදා මේ වගේ සුළු ගැටළුවක් විසඳුයේ ඒ අයුරිනි. නමුත් අද එය ජාතික ප්‍රශ්නයක් වෙලාය(කරගෙනය) .
පාසැල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැන කතා කරන ඔය මාධ්‍ය වලින් කීයක් ළමයෙක්ට විභාගයට මුහුණ දෙන හැටි ගැන සිය මාධ්‍ය ඔස්සේ වැඩසටහන් කළාද?
හැමෝටම අවශ්‍ය කුණු රහය...... ඒ වෙනුවෙන් අගනා ඉල්ලුමක් අද සමාජයේ පවතී...
ඒ සමාජයේම සාමාජිකයෙකු වන මමත් එය අවබොධ කරගෙන සිටිමි. එනිසාවෙන්ම මේ මාතෘකාව ගැන බ්ලොග් සටහනක් දැමූයෙමි.