කට්ටියම දන්නවනේ කෙන්යාව කියන්නේ අප්‍රිකනු මහද්වීපයේ පිහිටා තිබෙන නැගෙනහිර අප්‍රිකානු කොටසට අයිති රටක්. සංචාරක කර්මාන්තය එක් ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙච්ච රටක්. ඒ කියන්නේ අධික ලෙස සංචාරක ආකර්ෂණයක් තිබෙන රටක්.. මේ සංචාරක ආකර්ෂණයට ප්‍රධාන හේතුවක් වෙන්නේ මෙහි ඇති වනෝද්‍යාන සහ කාලගුණ තත්වය කියලයි මට හිතෙන්නේ.. ඔන්න ඉතින් මටත් කෙන්යාවට ඇවිත් කෙටි කාලෙකින්ම වගේ වාසනාව පෑදුනා කෙන්යාවේ තියන වනෝද්‍යානයක චාරිකාවක යෙදෙන්න.. ඒ කිව්වේ අර සෆාරි එකක් කියල සිංහලෙන් කියන්නේ.. ඔන්න අද මම විස්තර කරන්නේ මගේ පලමු සෆාරියෙ අත්දැකීම් තමයි.
ඔන්න අපිත් ගමනට එකතු උනා තුන් දෙනෙක්... තුන් දෙනාම ලාංකිකයෝ..මග පෙන්වන්න උනෙත්, රියදුරු මහත්තයම තමා... (අහ්හ් එකක් කියන්න ඕනේ.. මෙහේ රියදුරෝ නම් අර චෙන්නයි වල ත්‍රීරෝද රථ රියදුරෝ වගේ නෙවෙයි.. ලෙසටම කඩුව කොටන්න පුලුවන්... ඒක හන්ද මාර්ගෝපදේෂක කමට රියදුරු මහත්තයත් මරු... සාක්කුවටත් වාසි නෙව.. ) ඔන්න ඉතින් තුන් දෙනාම පිටත් උනා උදේ පාන්දර 6 වෙද්දි අපේ නවාතැනෙන්.. ඔන්න පැය බාගෙකින් වගේ අපි බලා පොරොත්තු වෙච්ච තැනට ආව... අපේ චාරිකාව යොදාගෙන තිබුනේ.. "නයිරෝබි ජාතික වනොද්‍යානය" වෙත.. ඔන්න දැන් කට්ටියම ඉන්නේ ඇතුල් වෙන තැන. ( ඒ කියන්නේ ටිකට් කඩන මාමල ඉන්න තැන :) )
ඔන්න අපි ටිකට් එහෙම අරගෙන (ලංකාවෙදි බස් වල හොරෙන් ගියාට මෙහේ පාර්ක් වල හොරෙන් යන්න බෑනේ.. ) ඇතුල් වුනා වනෝද්‍යානය බලන්න.
මම ඉස්සෙල්ල කියුවනේ අපේ දවසේ නවාතැන "නයිරෝබි ජාතික වනොද්‍යානය" කියල. මේ ජාතික වනොද්‍යානය පිහිටල තියෙන්නේ කෙන්යාවේ අග නුවර වෙන නයිරෝබි නගරයේම තමා... හිතාගන්නකො දැන්.. රටක අගනුවර සීමාවෙම තියනව වන ජීවි උද්‍යානයකුත්.මටනම් මුලදි මේ කතාව හරිම අමුතුම දෙයක් උනා..
ඇයි අප්පේ අපේ අගනුවර "වන ජීවි උද්‍යානයක්" තියා තව ටික කාලෙකින් ගහක් කොලක් හොයාගන්නත් බැරිවෙන සයිස් එකක් නේ තියෙන්නේ..
ඔන්න ඉතින් කයි වාරු ඇති... දැන් අපි සත්තු බලමු... අපි මුලින්ම දැක්කේ මුවන් විශේෂයක්. අර ඇන්ටිලොප් කියල කියන්නේ මුන්ටද කොහෙද.. ඔන්න දැන් එකා දෙකා සත්තු දකිනව... අපි කට්ටියටම මාර හැපි.
ඇයි ඉතින් මෙහෙම අත්දැකීමක් ලබන්නේ පලවෙනි පාරටනේ.. ඒ මුවොන්ට පස්සේ ගෝන විශේෂයක් කියල අපිට හිතුන තවත් සිවුපාවෝ රන්චුවක්.. ( නම හරියටම දන්න කවෘ හරි ඉන්නවනම් පහලින් ලියල යන්ට හොඳේ.. )
ඔන්න ඊට පස්සේ අපේ මග හරස් කරන් ඉන්නේ ගිනි කුකුල්ලු වර්ගයක්.. කැලේම ඉන්න මී හරක් රංචුත් විශාල වශයෙන් ඉන්නව.. මෙන්න ඉන්නව දැකල පුරුදු තවත් සතෙක්...
මේ ඇවිල්ල පැස්බරා නෙව...!!! පියාඹන්න බැරි පක්ෂියා කියලනේ කියන්නේ.. හප්පේ.. උගේ සරීරෙ දරාගෙන ඌට පියාඹන්න බැරි එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.. මෙතන ඔය කලු තටු තියෙන්නේ පැස්බර නෝනලටනේ.. දුඹුරුවට ඉන්නේ පැස්බර මහත්තයට... ( නොනල දෙන්නෙක් එක්ක ඉන්න හැටි... මහත්තයෙක් කියන්න වටින්නෙත් නෑ. )
මෙන්න ඉන්නව අපි දැකපු එකම රයිනෝ... අපේ රටේනම් ඉතින් ගොඩක් වහලවල් වල මෙයාලුනේ ඉන්නේ.. :)
මේ බලන්නකෝ ජිරාෆ් කොච්චර උස උනත් කෑම කන්න විඳින දුක.. !!! වැඩිය උස යන්න හොඳ නෑ කියන්නේ ඕකනේ...
මෙන්න ඉන්නව සීබ්‍රා... අප්පේ මෙහෙ ඉන්න සීබ්‍රා තොගේ... අන්තිමට දැකලම එපා වෙන තරමටම සීබ්‍රා දැක්ක. මෙතන තියන දිය පාරට මුන් දහස් ගනනින් ඇවිල්ල වතුර බීල යනව.. අපි දුටුව ලස්සනම දර්ශනය තමයි අපි යද්දි සීබ්‍රා රංචු පිටින් වතුර බිව්ව දිය පාර ලඟින් අපි ආපසු එද්දි එතන හිටියේ විශාල කුරුල්ලෝ සමූහයක්... හරියට වෙලාව බෙදා ගෙන වගේ..කට්ටිය අතරේ... ඈතින් දැක්ක තවත් ඇන්ටිලොප් රන්චු සමූහයක් පෙල ගැහිල මේ දිය පාර පැත්තට එනව... මට හිතෙන්නේ ඊලඟ වාරය උන්ගේ වෙන්න ඇති... බලමුකො සත්තුත් ස්වභාව ධර්මයේ තියන සම්පත් බෙදා හදාගෙන පාවිච්චි කරන හැටි...
තවත් ඇල පාරක් ගාවට ආපු අපේ රියදුරු මහත්තය කියුව දැන් වාහනෙන් බැහල යමු කියල.. ඔන්න අපිත් මෙයා පස්සෙන් යනව පයින්... මෙන්න මේ ඇල පාරේ ඉන්නව කිඹුල්ලු... හිපෝලත් ඉන්නව කියල හෙව්වට අපිට නම් හම්බ උනේ නෑ.. :(
ආයෙත් වාහනේ නවත්වපු තැනට ඇවිල්ල ඔන්න රථයට ගොඩ වෙන්න හදදි තවත් සංචාරකයො ටිකක් එනව මාර්ගෝපදේෂකයෙක් එක්ක පයින්.මාර්ගෝපදේෂකවරයගේ අතේ තුවක්කුවකුත් තියනව. එතනදි තමයි දැන ගත්තේ අපි තුවක්කුවක් තියා අතේ පොලු කෑල්ලක් වත් නැතුව ඇවිදල තියන තැන සමහර වෙලාවට සිංහයොත් ඉන්නවලු... හපොයි... හිටියනම් ඉතින් අද නදුන් උයනේ සුදු කොඩි තමයි....
හැබැයි ඔන්න ඔය කතාවෙන් අපේ සිංහයො බලන්න තියන ආසාව වැඩි වුනා...ඔන්න අපි දැන් සිංහයො ඉන්න තැනක් හොයාගෙන යනව... අතර මගදි හම්බවෙන වාහන වලිනුත් අහ අහ යනව... ඔන්න එක තැනකට ආවහම ඈත ඉන්නව අපි හොය හොයා හිටපු අපේ යාලුව... අපේ රියදුරු මහත්තය කියුව අපි වෙන පාරකින් ඌ ඉන්න ලඟටම යමු කියල... ඔන්න ඉතින් අපිත් විදල ගියා... ඒ උනාට අපිට වඩ සිංහය ඉස්සර වෙලා.. ඌ අපිටත් හොරෙන් යන්නම ගිහින්... අපේ සිංහ සිහිනය බොඳ උනේ අන්න එහෙමයි.. (හැබැයි මීටර් 2-3ක් ලඟින්ම හිටපු සිංහයෙක් මගේ දෙවන සෆාරියේදී මුන ගැහුන.. එයා ගැන පස්සේ ලියන්නම් කෝ... )
තවත් ඉතින් වල් ඌරො, මුව වර්ග වගේම විවිදාකාර කුරුල්ලො නම් ගොඩක් දැක ගන්න පුලුවන් උනා...
ඔය සීබ්‍රා රංචුවට එහායින් පේන්නේ කෙන්යාවේ කාර්ය බහුල අග නගරය...ලොකයේ මේ ආකරයේ ඡායාරූපයක් ගන්න පුලුවන් එකම වනෝද්‍යානය මෙතනලු.. ඒ කියන්නේ පිටිපස්සෙන් නගරයේ තට්ටු ගොඩනැගිලි පෙනෙද්දී, වන සත්තුන්ව ඡායාරූපයකට ගන්න පුලුවන් මෙහෙදි විතරලු....
ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි කෙන්යාවෙදි සුන්දර දවසක් ගෙවිල ගියේ ඔය විදිහට තමයි...
අපිත් දවල් 1 විතර වෙද්දි එතනින් පිටත් වුනේ ඉර අවුව වැඩි වෙද්දි සත්තු එලියට බහින්නේ නැති බව හොඳටම දන්න නිසයි..
මේ ලිපිය කියවන කවුරු හෝ කෙන්යාවට එනවනම් "නයිරෝබි ජාතික වනෝද්‍යානය" ට එන්න අමතක කරන්න නම් එපා...
අපි ආපසු එන ගමනේදී තවත් අතර මග නැවතුනු තැන් වල විස්තරත් අරගෙන ඊලඟ ලිපියෙන් හමු වෙමු...

















