අද නම් මාරම
සතුටකින් තමයි ලිපිය ලියන්නේ.. මොකද මගේ බ්ලොග් උපන් දිනේ සමරන්න ගොඩක් දෙනෙක්
ඇවිල්ල ගිහින් තිබුණා. ඒ හැමෝටම ස්තූතියි.. මගේ එක් බ්ලොග් සටහනක් වෙනුවෙන් ලැබුණු
වැඩිම ප්‍රතිචාරත් ලැබුනේ ඒ උපන්දින සටහනට තමයි.
කෙන්යාවේචාරිකා යන අතරේ අපි එදා ආවේ නරකාදියේ දොරටුව හෙවත් "හෙල්ස් ගේට්" ජාතික
වනෝද්‍යානයට කියල දැන් මතකයි නේ. එදා මම නැවැත්තුවේ "යක්ෂයාගේ නිදි යහන"
ළඟට ඇවිල්ල ආපසු හැරුණා කියන තැනින්නේ. ඔන්න අපි ආපසු එන ගමනේදි මග දුරක් ආවට
පස්සේ එක්තරා තුන් මන් හංදියකට ලඟා උනා. එක පැත්තක් අපි දැන් මේ එන පාර,
අනික් පසින් අපි
මුලින් ආ මග,
සහ අනිත්
පසින් අලුත්ම පාරක්.. අපේ මග පෙන්වන්නා මේ අළුත් පාර දිගේ අපිව එක්කන් ගියා.
මෙහිදී කිව
යුතු සුවිශේෂී දෙයක් තියනව.. මේ මග පෙන්වන්නන් කොතරම් පරිසරයට ආදරෙයිද කියන එක
අපිට ඇත්තටම අවබෝධ උනේ මේ සිද්දිය නිසා. මග දිගට අපි යද්දි තැනින් තැන පුන්චි
පුන්චි පොලිතින් කවර වැටිල තිබුනා. හැබැයි ගොඩක් නෙවෙයි.. ඉතා පොඩ්ඩක්.. මේ මග
පෙන්වන්නා ඒ සියල්ල අහුල ගත්තා. අතර මගදි හමු වෙන විසි කළ හිස් වතුර බෝතල මෙන්ම
බීම බෝතලත් ඔක්කොම මෙයා ලොකු බෑග් එකක දාගෙන එකතු කර ගත්තා.පරිසරයට කොච්චරටම ආදරය
කරන මිනිස්සුද කියල හිතුනේ ඒ සිද්දියෙන් තමයි. මෙයාල මෙහෙම එකතු කරන හන්ද ඒ පරිසරය
ඉතාපිරිසිදුව තියෙන බවත් කියන්නම ඕනේ...
ඔන්න මම දැන්
කියුවනේ අපි යනව අලුත්ම පාරක කියල... ඇත්තෙන්ම මේ පාර නම් අර ලාවා ගලපු කාණු වගේ
පටු පාරවල් නෙවෙයි. නමුත් මේ ප්‍රදේශයෙනුත් ඈත අතීතයේ ලාවා ගලා ගොස් තියෙන බවට
සාධක නම් ඕනෑ තරම් තිබුනා.. ඒ වගේම සමහර තැන් වලින් යද්දි දැනිච්ච ගෙන්දගම්
ඝන්දයත් අපිට හරිම අප්‍රසන්න ගතියක් එක් කලා. ඒත් අපි මේ යන්නේ , පළමුව උණු වතුර දිය
ඇල්ලක් බලන්න... දිය ඇල්ලක් කියුවට අපේ රටේ වගේ මහ විසාල එකක් නොවෙයි.පුන්චි දිය
පාරක්.. බලන්නකෝ මේ යටින් තියන පින්තූර 2.
*********************
මුල්ම
ඡායාරූපයේ තියෙන්නේ ඉහල ඉඳන් වැටෙන දිය පහරක්.. ඔය දිය පහරට ලන් වෙද්දිම තමයි අපි
දැක්කේ ඒ වතුරෙන් දුම් දානව කියල.. අපිත් ශේප් එකේ අත පොඩ්ඩක් දාල බැලුව.. හොඳට
රස්නේ දැනෙන උනු වතුර පාරක් තමයි වැටෙන්නේ.. කොතන හරි උනු දිය උල්පතකින් තමයි මේ
වතුර පාර ගලනවා ඇත්තේ..
දෙවන
ඡායාරූපයේ තියෙන්නේ ඒ විදිහට ගලා හැලෙන වතුර පාරවල් ගොඩක්... මම නම් මේ පළමු වතාවට
තමයි උනු දිය ඇල්ලක් ඇස් දෙකෙන් දැක ගත්තේ,... ඒ වගේම ඒ වතුරට අත් දෙක අල්ලල බැලුවෙත්..
වැඩේ කියන්නේ ඒ වතුරෙන් අත හේදුවහම, අතත් සල්ෆර් ගඳයි.
ඔන්න මේ උනු
දිය ඇල්ල බලල ඉස්සරහට යද්දි අපිට යන්න තිබුනේ පුන්චි දිය පාරක් හරහා... මේ දිය පාර
දිගේ තමයි අර ඉහලින් කඩන් හැලෙන උනු වතුර පාරත් යන්නේ. ඒක හන්දා මේ වතුර පාර ටිකක්
රස්නෙයි. ඔන්න අපි ඉස්සරහට යද්දි මෙන්න අපිට හම්බ උනා හෙල්ස්ගේට් වලදී හමුවන
උනුසුම්ම දිය උල්පත් අතරින් දෙවෙනි තැන ගන්නා උනු දිය උල්පත.. ඒක තමයි මේ...
උල්පතෙන් දුම්
දානව අපේ පියවි ඇසට පෙනුනත්, කැමරා කාචයටනම්
හසු කරගන්න බැරි උනා.. මේ උල්පතේ ජලය සෙල්සියස් 40 ක වගේ උෂ්නත්වයක් තියනව කියල තමයි අපේ මග
පෙන්වන්නා කියුවේ. මේ උනු දිය උල්පතේ ජලයත් , නිදහසේ ගලා යන දිය පාරට එකතු වෙනව... එතනින්
තව ඉස්සරහට යද්දි මෙන්න තියනව තවත් පුන්චි දිය උල්පත් 3ක් .
මේ දිය උල්පත්
තුන තමයි එතන තිබුන උනුසුම්ම දිය උල්පත් 3.
මෙහි ජලය සෙල්සියස් 70
ට ආසන්න බව තමයි අපිට
දැනගන්න ලැබුනේ.. හැබැයි වතුර ගොඩක්ම රස්නෙ බවත් නටන වතුර වගේම උෂ්ණත්වයක් එහි
තිබුණ බවත් අපිට හොඳටම අවබෝධ උනා... මේ ආකරයෙන් උනු දිය උල්පත් කිහිපයක්ම අවට තිබුණු
බවත්,
ඒ සියල්ල
අතරින් ඔය ඉහලින් තියන උල්පතේ ජලය අතිශය උනුසුම් බවත් කියන්නම ඕනේ. ඔන්න අපිත්
දැන් උනු දිය උල්පත් බලල ඉස්සරහට යනව...
මේ අතරෙදි අපේ
නියාමක වරය ඇහුව, මේ බැලුව ඇතිද,
තව දේවල් බලන්න ඕනෙද
කියල...අපි ඉතින් අද දවස පුරාවටම දැක්කේ කවදාවත් දැකපු ඒව නෙවෙයිනේ.. ඉතින් අපිට
තිබුනේ තවත් ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එකක් ගන්න. අපිත් කියුව, හා හා තව දේවල් බලන්න
යමු කියල... ඔන්න ඉතින් බුවා කියපි, තව පැය එක හමාරක් විතර යයි හැබැයි කියල... අපිටත් වැඩිය
ඒ ගැන තේරුමක් තිබුනේ නැති හන්දා අපිත් හා හා කියල අපේ ගමන දික් කරගත්ත...
දැන් මේ
වෙද්දි අපි ලඟ තියෙන්නේ එක වතුර බෝතලයක් සහ එක කජු පැකට් එකක් විතරයි... [දැන්
වෙලාව 2 විතර උනත්
අපි දවල්ට කාල හිටියෙත් නෑ.. ]
ඔන්න ඉතින්
අපි ඉතුරු ටිකත් යන්න පිටත් උනා..
ඔන්න දැන්
යනවා.... යනවා... යනවා..... ඉවරයක් නැතුව යනවා...
බලන්න කියල
විශේෂ දේකුත් නෑ... යන මගටම තියෙන්නේ ලාවා ගැලූ මාර්ගය.. ඔන්න අපේ කට්ටියටත්
පොඩ්ඩක් වගේ අමාරුව දැනුනේ මෙහෙම පයින් ඇවිදගෙන යද්දි. කොහොමත් මේ වෙද්දි
කිලෝමීටර් 10 ක් විතර අපි
ඇවිල්ල තිබුනේ..
ඔන්න එක තැනකට
අපි ආවට පස්සේ අපේ මග පෙන්වන්නා කියුව මෙහෙම කතාවක්...
"මෙතනින් ඉස්සරහට
ගියොත් ආයෙ මේ පාරේ ආපහු එන්න බෑ.. අපි යනවද? ඔයාල කොන්ෆිඩන්ස් ද " කියල.. මේ යකා මේ
මේ මොනව අහනවද?
දැන් මේ ගමන
යන්නනේ පිටත් උනේ.. අපිත් ඉතින් ගත් කටටම කියුව යමු යමු කියල...
ඔන්න චුට්ට දුරක්
යද්දි මහා හෙලක්.. !!!
දැන් මේ හෙල දිගේ අපි බහින්න ඕනේ.. බැස්සොත් ආයේ උඩට එනවා නම්
බොරු.. තනි කෙලින් තියන ගලක් , අඩි 12 ක විතර ප්‍රපාතයක්
තියෙන්නේ... අම්මෝ.. දැන් නම් මතක් වෙනකොටත් බය හිතෙනවා... මේ ප්‍රපාතයේ අඩි 5ක් විතර පහලින් තියනව
පුන්චි ගැට්ටක්,. ඔන්න දැන් අපේ
අරමුන පලමුව මේ ගැට්ටට බැහැල, ඊට පස්සේ
බිමටම පනින්න.. මේ ප්‍රපාතයේ ලස්සන වැඩේ කියන්නේ මේ ගල් තලාව උඩින් වතුර පාරකුත්
ගලනව..ඒක හන්ද මේ ගල පුරාවටම දිය සෙවෙල් බැඳිල, ඔන්න අපේ උපදේශක වරයා මුලින්ම බැස්සා අර මම
කියුව පුන්චි ගැට්ටට.. ඒක ගැට්ටක් කියන්නේ අඟල් 6 ක් විත ඇති වැඩිම උනොත්...
දැන් බුවා බැහැල
අපිට කියවනවා , එක එක්කෙනා
බහින්නලු..
බහින්න නෙවේ.. හිතන්නත් බයයි...
මොකද අපි කවුරුවත් එතන ජීවිතාරක්ෂක කබා
වත්, කඹ වත් අරන්
ගිහින් හිටියේ නෑනේ.. ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි ඉස්සෙල්ලම බැස්සේ දුලීප..
මුලින්ම අපි අපේ පය තිබ්බේ අර මනුස්සයාගේ උරිස්සට. ඊට පස්සේ මේ මනුස්සය අපිට කියපි
අර ගලක් හොඳට අල්ල ගන්න කියල... ඔන්න ඊට පස්සේ එයාගේ කර උඩ තියල තිබ්බ පතුල් දෙක ඒ
මනුස්සයගේ අත් දෙකෙන් අරන් එයාගෙම කකුල් දෙක උඩින් තියාගත්තා.. මොකද එතන අපේ කකුල්
වත් තියනන් තරම් ඉඩක් නෑ.. දැන් මම ඉන්නේ අර මනුස්සයගේ කකුල් උඩ... පැත්තකින් තිබ්බ
ගලක් හොඳට අල්ලගෙන... දැන් බුවා මගෙ අත් ඩෙකින් හොඳට අල්ල ගත්තා... ඊට පස්සේ මට
කියුව, මගේ කකුල් දෙක
එයාගේ කකුල් දෙක උඩින් අයින් කරල ප්‍රපාතයට දාන්න කියල.. දැන් මම ඉන්නේ මෙයාගේ අතේ
වාරුවෙන්... මෙන්න බුවා එක පාරටම කියපි දැන් මම ඔයාව අත අරිනව, එතකොට කෙලින්ම බිමට
පනින්න කියල..
දැන් ඉතින් මොනව කොරන්නද? කාටත් තියෙන්නේ එක පනයි කියල පැන්නේ නැතැයි
බිමටම... හප්පේ...
එහෙමත් ට්‍රිප් එකක් !!!
ඔන්න කොහොමෙන්
කොහොමෙන් හරි ඒ බාධකේ පසු කරගෙන ඉස්සරහට ආව කියමුකො.. දැන් නම් කිසිම සංචාරකයෙන්
පේන්නත් නෑ. අපි 4 දෙනා විතයි ඉන්නේ...
යනවා යනවා.. ඉවරයක් නෑ.. දැන් නම් ටිකක් හිතට බයත් එක්ක.... ඒ වගේම මහන්සියි, බඩ ගිනියි.... කකුල් රිදෙනව අම්බානකට.. මමත්
බයේ ගියේ කොයි වෙලේ මටත් මිග්‍රේන් හැදෙයිද දන්නේ නෑ කියල... ඔන්න දැන් බැරිම තැන, අර කජු පැකට් එක කඩාගෙන කෑව.. දැන් වතුර
තියෙන්නෙත් හෙන පොඩ්ඩයි.. අපි තාම මේ යන ගමන් නේ... දැන් මේ දුර ආපහු එන්නත්
ඇපැයි.. ඔන්න ඒක ගැන හිතල පොඩ්ඩක් තොල තෙමා ගන්න විතරක් වතුර ටිකක් බීල ආයෙත්
පිටත් උනා..
මෙන්න ටික දුරක් යද්දි ඈතින්
පේනව, පුන්චි දුම් පාරක්..
මෙන්න මේක පෙන්නල අපේ මග පෙන්වන්නා කියපි "අතනින් තමයි, පොලොවේ හුමාලය එලියට එන්නේ කියල.... "
අපිටත් ඒ කියුව කතාව වැඩිය තේරුනේ නෑ..
දැන් කොහොමත්
අපි ප්‍රධාන දොරටුවේ ඉඳන් කිලෝමීටර් 10 ක් විතර කැලේ
ඇතුලේ ඉන්නේ. අපි තුන් දෙනාටම මාර මහන්සි.. කකුල් රිදෙනව අම්බානට.. දැන් මේක බලන්නේ නැතුව යන්නත් ලෝබයි.. බලන්නත්
තව ගිහින් ඒ දුරත් ආපහු එන්නත් ඇපැයි.. ඒක මතක් වෙද්දි යන්නත් හිත නෑ.. ඔන්න ඉතින්
කොහොමෙන් කොහොමෙන් හරි 5 තැනක විතර විඩා
නිවාගෙන අපි මේ දුම් දාපු තැනට ලං උනා... පේනවද මහ පොලොවෙන් දුම් දාන අපූරුව...
ඇත්තටම මේ
තමයි මේ ගිනි කන්දේ අදට යම් තරමකට හෝ සක්‍රීය කොටස.. මේ දුම් වගේ යන්නේ මෙතන
ගිනිගොඩකින් නෙවෙයි.. මහ පොලොවෙන් ඉහලට එන වතුර තමයි, පොලොවෙ තියන රස්නෙට ජල වාශ්ප විදිහට යන්නේ..
ඔය අතරේ තව දෙයක්... මේ හරියට යද්දි හරිම ඝෝෂා කාරී බවක් තමයි දැනුනේ. හිතන්න
පුලුවන්ද මේ ඝෝෂාව ඇති වෙන්නේ කොහොමද කියල... ඒ සද්දේ තමා, පොලොව යට වතුර නටන සද්දේ. ඇත්තටම ඒකනම් හරිම
අමුතු හඬක්... කට්ටියට හිතාගන්න පුලුවන්නේ, පොලොව යට වතුර
ජොර ගොර ගාල නටන සද්දේ ඈතට ඇහෙනකොට කොහොමද කියල...
මේ පින්තූරෙන්
දුම් දානව හොඳටම පේනව.. මේ හරියේ පස හරිම තුනී.. හරියට කිරි මැටි වගේ... ඒ
සැහැල්ලු බව නිසා වෙන්න ඇති මෙතනින් වාශ්ප උඩට මතු වෙන්නේ...
මේ බලන්න මේ
ඡායාරූපය ගත්තේ ඒ වගේ දුම් දාන එක මූලයකින්. මෙතන ගොඩක් රස්නෙයි.කැමරා කාචයටත්
හානි වෙයි කියල බය හිතුනා. පොලොව අතරින් හැදිච්ච කුහරයකින් තමයි මේ වාශ්ප ඉහලට
එන්නේ...
එතන ඉඳල මීටර්
100
ක් වගේ ඉස්සරහට යද්දි
මෙන්න තියන්ව තවත් ඒ වගේ පොලොවෙන් සෑදුන සිදුරක්.. මෙතන නම් නටන වතුර අර ගල්
අස්සෙන් විදිනව. ඒත් ජලය එලියට ගලන්නේ නෑ.. ජල වාෂ්ප තමයි ඉහලට යන්නේ.. මෙතන
උෂ්නත්වය නම් සෙල්සියස් 100
ට වැඩි. මෙතනම් තව
පොඩ්ඩක් එහායින් මේ බලන්නකෝ තවත් උල්පතක් වගේ යමක්..
මෙතන පුන්චි
ලිඳෙත් වතුර නටනව..
අවට තියන ගල්
පවා උනු වෙලා වගේ තියෙන්නේ මේ උෂ්නත්වයට වෙන්න ඕනේ... කොච්චර අමාරුවෙන් ආවත් මේ
ටික දැක්කහම ඒ අමාරුව කොහෙන් ගියාද මන්ද.. මේ ටික දැක්කහම නම් අනිවාර්යයෙන්ම නදුන්
උයනේ මේ අත්දැකීම නම් බෙදාගන්නවා කියල එතනදිමත් හිතුනා.
මේ බලන්න මෙතන
වෙන දේ... මේ රෝසපාට ගල් විශේෂයක්... මෙතන වෙන්නේ පොලොවේ අධික උෂ්නත්වය නිසා,
මේ ගල් දිය වෙලා,
උඩට ඇවිල්ල... මේකත් මරු "ගල්
වතුරක්" තමයි. බලන්න දිය වෙලා එන ගලුත් ජොර ජොර ගගා නටන හැටි... ඒ වගේම තමයි
මේකත්...
මේ ඇවිල්ල සුදුපාට ගලක්... මෙතනත් ඒ ගල් දිය වෙලා උඩට ඇවිල්ලා... ඔය
බුබුලූ බුලුලු තිය්න්නේ ඔය ගල් දියරය නටන හැටි... සමහර මිනිසුන්ගේ ගල් හිත්
කවදාවත් උනු කරන්න බැරි උනාට ,
මේතනදි ගලක් උනු වෙන්න තරම් පොලොව යට සිද්දවෙන දේ නම්
හිතාගන්නත් බෑ..
හරියටම මෙතනද දන්නේ නෑ,
අපාය
තියෙන්නේ...
මේ දසුන් පෙල
දැක්ක විතරයි.. මහන්සිය කොහෙන් ගියාද නෑ... ඒත් ඉතින් මීටර් 500 ක් එන්න හම්බුනේ නෑ, නැවතත් මහන්සිය දැනෙන්න ගත්තා... අපේ
උපදේශකයා කියුව තව කිලෝමීටර් 2යි ලු දොරටුවට.. ඉතින්
අපිත් හෙමින් සැරේ එන්න පිටත් උනා.. ඔන්න ටික දුරක් එනවා.. පොඩ්ඩක් වාඩි වෙලා
ඉන්නවා... තව ටිකක් දුර එනවා.. අයෙත් ගිමන් හරිනව... ඔය විදිහට හෙමින් සැරේ හෙමින්
සැරේ ආවයි කියමුකෝ අර අපි මුලින් බයිසිකල් වල ඇවිත් බයිසිකල් නවත්තපු තැනට...
මෙන්න
එතනට ආවට පස්සේ අර උපදේශකය කියපි එයා
කිලෝමීටර් 2යි කියුවෙ බොරුවට, ඔයාල එතන ඉඳලත් කිලෝ මීටර් 7 ක් ආව කියල.
හපොයි දැන්නම්
බයිසිකල් පදින්න බෑ.. බෑ.. බෑමයි.. දැන්
මොකෝ කොරන්නේ.. මොනව කොරන්නද,
අපි ආපු මෝටර්
රථය ගෙන්නව ගත්තා අපි ඉන්න තැනට... ඊට පස්සේ බයිසිකල් ටික එතන තිබ්බ කාර්යාලයට භාර
දීල, කාර් එකේ නැගිල ගෙදර
ආව... ඔන්න ඔහොම තමා අපි ගෙන්දගම් පොලොවේ පය ගැහුවේ... මුලු ජීවිතේටම අමතක නොවන
විදිහට...
කෙන්යාවේදී
ගිය වඩාත්ම විඩාබර මෙන්ම,
ඇඩ්වෙන්චරස්
චාරිකාව තමයි මේ...
හප්පේ අද නම්
දිග වැඩිද මන්දා... මොනව කොරන්නද මට ඔය මෙගා නාට්ටිය ලියල පුරුද්දක් නෑනේ.. :(
මීලඟ ලිපියෙන්
ලොව පැරණිම මිනිසා හමුවන්නට නයිරෝබි ජාතික කෞතුකාගාරයට යන්නට හැමෝටම ආරාධනා
කරනවා...