Pages

Sunday, September 25, 2011

කන්නන්ගර මැතිදුන්ගේ නම විකුණා අධ්‍යාපන අයිතීන් වැනසීම.


මීට අවුරුදු දෙකකටත් වඩා ඉස්සර "එකම කතාවක් , අවසානය දෙකක් " ලිපිය ලියුවට පස්සේ එදිනෙදා ජීවිතයේදී කතා බහ කරන මාතෘකාවක් ගැන ලිපියක් ලියා නැහැ. එක දිගටම චාරිකාසටහන් ලියන්නත් අමාරුයි නේ.. ඒක හන්ද අද පොඩ්ඩක් ලියන්න යන්නේ මේ දවස් වල අපි කතා කරන දෙයක් ගැන. 

ඊට මූලික හේතුව වුනේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිඳුන් පසුගිය දිනක සමරන්නට යෙදුනු නිසා. සැබැවින්ම මෙතුවක් කල් අපිට අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා ලැබුනු සහනය නම් කිසිදා මිල කල නොහැකියි. අද අපි යම් රැකියාවක් කරමින් ජීවත් වනවාද, එහි ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සතු විය යුතුයි කියලයි මගේ මතය.  නදුන්ගේ මේ අදහස එක්කල ගොඩක් දෙනෙක් එකඟ වෙයි කියලත් විශ්වාසයි.  

නමුත් අද දවසේ මොකක්ද මේ නිදහස් අධ්‍යාපන කප්පාදුව කියල කතිකා වෙන්නේ.. මේ ගැන පොඩ්ඩක් හොයල බලමු.  දැන් මේ නිදහස්  අධ්‍යාපන කප්පාදුවක් ගැන බොහෝ විට කතිකා වෙන්නේ උසස් අධ්‍යපන ක්ශේත්‍රයේ  තමයි. 
[තවමත් පාසැල් වැසී යාමේ තත්වය ලංකාවේ තිබුනත් ඒ තියෙන්නේ රටේ ලමයි අඩුවීම සහ නගරයට ඇදී යාම කියන කරුනු නිසා මිසක්, රජයෙන් මුදල් වෙන් නොවීමක් නිසා නම් නොවෙයි. ]

ඉතින් මෙන්න මා සොයාගත්ත දත්ත:
  2008 වසරේ ලංකාවේ සරසවි වලට ඇතුලත් කරගත් සිසුන් ගනන: 20621
  2010 වසරේ ලංකාවේ සරසවි වලට ඇතුලත් කරගත් සිසුන් ගනන: 21730
(වෙනස සිසුන් 1000 (5%)  ක් පමන වූ ඉතා සුලු වැඩිවීමකි )
  2008 වසරේ ලංකාවේ සරසවි වලට වියදම් කල මුලු මුදල: 13,116, 028,000.00
  2010 වසරේ ලංකාවේ සරසවි වලට වියදම් කල මුලු මුදල: 13,756, 816,000.00
(වෙනස : මිලියන 650 කට වඩා වැඩිය. නමුත් ලංකාවේ ජනගහන වර්ධනයත් සමග මෙම ප්රමතිශතය මවිසින් සැසඳුවේ නැත. )

ඉතින් දැන් කල්පනා කරල බලන්නකෝ මේ නිදහස් අධ්‍යපන කප්පදුව කියන කතාවේ ඇත්ත නැත්ත... ඔන්න මම නම් කියල දෙන්න යන්නේ නෑ... නමුත් මේ ගනන් බලන ඕනෙම අයෙක්ට තේරෙනව මූල්යමය වශයෙන් කිසිම අඩුවක් වෙලා නැතත්,සිසුන් ඇතුලත් කරගැනීම නම් වැඩි වෙලා තියෙන්නේ ඉතාමත්ම සුලු ගනනකින් කියල. ඉතින් එහෙම නම් අපි රටේ සැලසුම් හදන අයට බල කරන්න ඕනේ "කප්පාදුව නවතනු" කියල නෙවෙයි, "තවත් වැඩිපුර අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනු." කියලයි. අපි වගේ ආර්ථිකයක් තියන රටකට අධ්‍යාපනය වෙනුවෙන් කල හැකි ආයෝජනය ගැනත් ඉතින් හිතන්න වෙනව.. නමුත් ඉතින් සහනාධාර දෙනව වගේ නෙවෙයි නේ අධ්‍යපනය වෙනුවෙන් වැය කරන එක. ඒක ආයෝජනයක්නේ.. අපේ රටේ සැලසුම් හදන්නෝ ඕව ඉතින් හිතන්න ඕනේ....

නිදහස් අධ්‍යාපනය ගැන කතාවෙන ගමන්ම මේ දවස්වල ඇසෙන දෙයක් තමයි "මාලබේ වෛද්‍ය විද්‍යාලය". මීට පෙර ඒ වෙනුවෙන් එරෙහි වෙච්ච සිසුන් සහ දේශපාලුවන් ට අමතරව දැන් රටේ ඉන්න වෛද්‍ය වරුත් විරුද්ධයි කියල ප්‍රකාශ කරනව.. 

මේ විරුද්ධ වීම් වලට එක් එක් පිරිස් දක්වන්නේ විවිද හේතු. සමහරු කියන්නේ සල්ලි වලට දොස්තර වෙන්න පුලුවන් වෙයි කියලාය. සමහරු කියන්නේ උසස් පෙල සාමාන්‍ය සාමාර්ත 3 කින් දොස්තර වෙන්න පුලුවන් වෙයි කියලාය. අදාල ආයතනයේ ඉගැන්වීම නියමාකාරයෙන් සිදු නොවේ කියා කණ්ඩායමක් පවසති(රෝහල් වලට ඇතුලුවීමටවත් මේ සිසුන්ට අවසර නොලැබෙන තත්වයක් තුල තත්වයෙන් උසස් දොස්තරලා බිහි වේ යැයි සිතිය නොහැක ). තවත් සමහරු පවසන්නේ මේ ඇරඹෙන්නේ නිදහස් අධ්‍යාපනය වැනසීමේ වැඩපිලිවෙල කියාය. එස්. බී. මීට මූලිකත්වය ගෙන කටයුතු කරන නිසා "එස්. බී කරන නිසා" විරුද්ධ කණ්ඩායමකුත් සිටිති. මේ හේතු එකින් එක ගෙන විස්තර කිරීමට මගේ බලාපොරොත්තුවක් නැත. 

නමුත් මෙහිදී මාවිසින් විශ්වාස කරන පරිදි නම් "පුද්ගලික සරසවි ලංකාවේ බිහිකල යුතුය, එමෙන්ම රජයේ විශ්ව විද්‍යාල මගින්ද මුදල් අයකරගෙන කරනු ලබන බාහිර උපාධි වැඩසටහන් වඩා විධිමත් කල යුතුය." එසේ කියන්නට හේතු ගනනාවක් මාහට සිතේ. 

අන්තරේ පෝස්ටර් වල ලියා ඇති පරිදි, "උපාධි කඩ" බවට මේවා පත් වේවිද?මුදල් තිබූ පමණින් කඩෙන් ගොස් පරිප්පු කිලෝ එකක් ගන්නා ලෙසට උපාධි ගන්නට බැරි බව නම් පැහැදිලිය.කොපමණ මුදල් ගෙවූවත්, විභාග සමත් විය යුතුය.(රජයේ සරසවි "උපාධි දන්සැල්" නොවන්නේද එහි ආ පමනින් උපාදියක් ගන්නට නොහැකි නිසාය,සරසවියක කටු කෑ ඕනෑම අයෙක් මේ බව දන්නවා ඇත.) උසස් පෙලට එස් 3ක් ගත්තද ඔහුට අදාල විෂය කරුනු අවබෝධකරගෙන සරසවියේ විභාග (ප්‍රායෝගික පරීක්ෂණද ඇතුලුව )  සමත් වීමට හැකිනම් ඔහු වෛද්‍යවරයෙකු වීමේ වැරැද්ද කුමක්ද?
නමුත් අදාල ආයතනයේ නිසි පරිදි අධ්‍යාපන කටයුතු සිදු වනවාද කියා සොයා බැලිය යුතුය. එය රාජ්‍ය මැදිහත්වීමෙන් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. දැනට රජයේ සරසවි වල පමනක් ක්‍රියාත්මක තත්ව පාලන වැඩසටහන අදාල සරසවි තුලටත් ව්‍යාප්ත කරවා එහි ගුණ දොස් සොයා බැලිය යුතුය.අපේ මේ උද්ඝෝෂකයින් අවධානය යොමු කල යුත්තේ ඒ වෙතය. නමුත් එවැන්නක් වෙනුවෙන් බල කර සිටීම පෞද්ගලික සරසවි වල ඉගෙනගන්නා සිසුන්ට කරන උදව්වක් බැවින් එවැනි පරහිත කාමී සටනක් අද අපිට දැක ගත් නොහැක.  

පෞද්ගලික සරසවි පිහිටුවීමේ සහ නිදහස් අධ්‍යාපනය විනාස වීමේ සෘජු සම්බන්ධයක් නොපෙනුනත් වක්‍රාකාර සම්බන්ධයක් නම් පෙන්නුම් කරයි.එනිසා අපි අරගල කල යුත්තේ පෞද්ගලික සරසවි පිහිටුවීම ට නොව කිසියම් වූ ක්‍රමයකින් නිදහස් අධ්‍යාපනයට එනු ලබන බාධක විනාශ කිරීමටය.

 මෙලෙස කියන මට නම් කිසි දිනක එවැනි සරසවියක ඉගෙනගැනීමට වරම් නොලැබුණි. එක් හේතුවක් වූයේ රජයේ සරසවියකට තේරීමට තරම් වාසනාවන්ත වීමයි. අනිත් හේතුව රජයේ සේවකයෙකු වූ මාගේ පියාට නම් කිසි දිනක මෙවැන් සරසවියකට අපව යවන්නට නොහැකි වන බව දැන සිටීමයි. 

නමුත්.... රජයේ සරසවියට තේරීමට තරම් වාසනාව අඩුවන අපේම සොයුරු/ සොයුරියන්ට ඒ නිසාවෙන්ම උසස් අධ්‍යාපන සිහිනය සුනු විසුනු කර දැමිය යුතුද? ඔවුන්ට මුදල් තිබුනත් , නැතත් ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා නැති කිරීම අප කිසිදා නොකල යුතුය. සතියේ දවස් 5 තිස්සේ රැකියාව කර, ඒ වැටුපෙන්  සති අන්තයේ පෞද්ගලික උපාධි හදාරන මිතුරන් ඕනෑ තරම් අපිට හමු වී තිබේ. ඔවුන් මහා ධන කුවේරයින්ගේ දරුවෝ නොවේ. ඔවුන්ටද ඇත්තේ මහන්සි වී ඉගෙනගෙන හොඳ රැකියාවක් කිරීමේ ආශාවයි. දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් වැය කිරීමට මුදල් තිබේ නම්, ඔවුන්ට ඉගෙන ගන්නට පරිසරයක් ඇති කිරීම රජයේ යුතුකමක් යැයි මට සිතේ.ඔවුන්ද උගතුන් වූ විට ඒ බුද්ධිය යෙදවෙන්නේද මේ රටේ දියුනුවට බව අමතක නොකල යුතුයි.ඔවුන් නිසි පරිදි අධ්‍යාපනයක් නොලදහොත් ඔවුන් මේ රටට බරක් වන බවද අපි මතකයේ තබාගත යුතුයි.විදෙස් රටක ඉගෙනගන්නට නම් වැයකලයුතු මුදල අති මහත්ය. එපමණ මුදලක් සෑම කෙනෙක්ටම වැයකිරීම කල නොහැක්කකි. නමුත් එසේ බොහෝ දෙනෙක් පිට රට යන්නේ අප රට තුල ඉගෙනුම් අවස්ථා නොමැති නිසාය. එලෙසින් කිසියම්ම හෝ මුදලක් අපේ රටට ඉතුරු වේ යැයි සිතිය හැක.කිව යුතු තවත් කරුනක් නම් එලෙස පිටරටින් ඉගෙන ගෙන පැමිණෙන සිසුන්ට ඇති අවස්තාවක් වත් අපේ රටේ ඉගෙනගන්නා වෛද්‍ය සිසුන්ට ලබානොදීමට/නොලැබීමට හේතුව අපිට නම් අපැහැදිලිය.    

මේ ලිපිය තවත් දිගු වන බැවින්, තවත් හේතු දැක්වීම මදකට පමා කරමි. අවසන් වශයෙන් පවසන්නට ඇත්තේ, රටේ අනාගතය වෙනුවෙන් පෞද්ගලික සරසවි ඇතිකිරීම අත්‍යාවශ්‍යම කරුනක් බවත්, නිදහස් අධ්‍යාපනය වැනසීමක් මීට සෘජුව සම්බන්ධ වන්නේ කෙසේද යන්න මා තවමත් සොයමින් සිටින බවත්ය.                    

17 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

Anonymous said...

මමත් රජයේ සරසවියක දැනට ඉගෙනුම ලබන සිසුවෙක්.. අපි සරසචි වරම් ලබන්න වාසනාවන්ත වුණා. දක්ෂ වුණා. එහෙම වුණා කියලා රජයේ සරසවි සිසුන් අතිශය බහුතරයක් පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන වලට විරුද්ධ නෑ. අප තරම් වාසනාවන්ත නොවූ පිරිසකගෙ උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැති කරන්න තරම් අපි කුහක නෑ.

දේශපාලන හා අන්තවාදී මත දරන සුළුතරය මගේ අදහසට එකඟ නොවනවා ඇති.

සැ.යු - අද වනවිට පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන විසින් ඉන්ජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර වල උපාධි පිරිනමයි. නමුත් එම උපාධිම රජයේ සරසවි වල හදාරන සිසුන් ඊට විරුද්ධව කටයුතු කරනවාද? නැත. ඔවුන් දෙපිරිස අතර ඒ වෙනුවට විශාල තරඟකාරීත්වයක් පවතී. එයි හොඳ ප්‍රතිඵල දැන් රටට ලැබෙමින් පවතී.

සංකල්ප said...

ඔය මාලඹේ හොර උපාධි කඩයට විරුද්දව අපි ඉන්නකාලෙත් පිකටින් කලා. දැන් අපේ මල්ලිලාත් පිකටින් කරනවා. ඒත් තාම වෙනසක් උනේ නෑ.

රටේ ඉන්න අධ්‍යාපන ඇමතියාම කියනවනම් පුද්ගලික උපාධි කඩ දාන එක රජයේ ප්‍රතිපත්තියක් කියලා තවත් කවර කතාද අයියා !!!!1

නදුන් උයන said...
This comment has been removed by the author.
නදුන් උයන said...

මධුරංග:
"මාලඹේ හොර උපාධි කඩයට " කියා ඔබ කියා තිබෙනවා. එහි වචන 2ක් ගැන මට පොඩි ප්‍රශ්නයක්. එය "හොර" උනේ කොහොමද? සහ "කඩයක්" උනේ කොහොමද?

එයින් කල හොර වැඩ කීපයක් පොඩ්ඩක් ලියල දාන්න.. අපි හැමෝටම දැනගන්න. (ඔබ උද්ඝෝෂණ වලට සහභාගී වූ නිසා සමහර විට ඔබ සතුව කරුනු ඇති.)
කඩයක් කියන වචනයට නම් මම තදින්ම විරුද්ධයි. ලිපියේ සඳහන් ව ඇති පරිදි, අපිට කවුරු හරි කියුවොත් උපාධි දන්සැලකින් උපාධි අරන් කියල... අපි ඒකටත් එකඟ නෑ නේද?

නදුන් උයන said...

@විසිතුරු : සම්පූර්ණයෙන්ම එකඟයි. ඔබ සටහන් කර ඇති කාරණය ඉතාමත් වටිනව. NIBM, SLIIT, IIT, කියන ආයතන තුනෙන් ඉගෙන ගන්නා බොහෝ පිරිසක් අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විවිද මට්ටමේ රැකියා කරමින් රටට විශාල සේවයක් කරනවා.. ඒ වාගේම රාජ්‍ය විශ්ව විද්‍යාල වලට හොඳ තරඟයක් දෙන්නට තරම් ඔවුන්ට හැකිවී තිබෙනවා.. ඒක ඉතා හොඳ ප්‍රවනතාවක්...

Test Profile said...

ඇත්තට ඒක හොර උපාධි කඩයක් උනත් මං හිතන්නේ ඒ වගේ දෙයක් අවශ්‍යයි කියලා. මොකද මිනිස්සුන්ට තම තමන්ගේ හැටි තේරුම් අරගෙන ප්‍රා​යෝගික ලෝකයේ ප්‍රශ්න වලට මුහුන දෙන්න නම් ඒ වගේ දේවල් තියෙන්නේ ඕනේ.....

Anonymous said...

@ නදුන් උයන
ඒක හොර කඩයක් තමයි , එහෙම කියන්න තරම් මධුරංග සහෝදරයට කොන්දක් තිබීම ගැන මම ආඩම්බර වෙනවා .
ඒක හොර වෙන්නෙ ලංකාවෙ වෛද්‍ය විද්‍යාලයක් පිහිටවන්න අනුමැතිය ගත යුතු ආයතන එකකින් වත් අනුමැතියක් නැතුව සිසුන්ගේ මුදල් වංචා කරන ආයතනයක් නිසා
කඩයක් වෙන්නෙ එස් තුනක් ගත්ත තාත්තට ලක්ශ 70 ක් විතර තියෙන ඕනේ මෝඩයෙක්ට ගිහිල්ලා දොස්තර වෙන්න හදන නිසා . මේ අය ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල වල ළමයි එක්ක එකම විභාගයක් ලියන්නත් ලෑස්ති නෑ . හිතින් දන්නවා ඒ ලෙවෙල් හිච්චි සිලබස් එක හරියට පාඩම් කරගන්න බැරිව මෙඩිසින් කරලා අනිත් ළමයි එක්ක තරඟ කරන්න බෑ කියලා

Anonymous said...

මම දන්න තරමින් කොහෙන් ආවත් දොස්තල ලියාපදින්චිය ගන්න නම් MBBS අවසාන වසර විබාගය ලියලා සමත් වෙන්න ඕනේ. මාලබේ කට්ටියට ඒක පාස් වෙන්න පුලුවන් නම් අවුලක් නෑනේ.

Anonymous said...

Final common MCQ එක විතරයි හැමෝටම පොදු . අනිත් ඒවා මෙයාලට ඕනි විදිහට තියාගෙන පාස් වෙතැකි . අනිත් එක ඕනිම ළමයෙක් උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයකට යන්න ගොඩක් මහන්සි වෙනවා . තව හැකියාවක් / උනන්දුවක් නැති කෙනෙක් උසස් පෙළ ඇණගෙන තාත්තගෙ සල්ලි වලින් එතනට ඒම කොච්චර දුරට සාධාරණ කියලද ඔයාට හිතෙන්නෙ ? එතකොට අර මහන්සි වෙලා විභාගෙ ලිව්ව ළමයට තමගෙ ප්‍රතිපලේ වටිනාකමක් දැනෙයිද ?

නදුන් උයන said...

@Anonymous1:
මාගේ බ්ලොග් අඩවියට සෑම විටම පැමින බොහෝ අදහස් නොපැකිලව ලියල යන මදුරංග මල්ලිගේ අදහසට මම ගරු කරනවා. මම ඉදිරිපත් කර ඇත්තේ මාගේ අදහසයි. නමුත් මදුරංග මල්ලිට ආවඩමින් නිර්ණාමිකව අදහස් පල කලේ ඔබට ඔහුට තරම් පණ ඇති කොන්දක් නැති නිසාදැයි මම දන්නේ නෑ.

නමුත් මමත් නොදැන සිටි කාරණාවක් ඔබ මතු කර තිබෙනවා.ඒ තමයි අනුමැතිය ගත යුතු ආයතන. කරුණාකර එම ආයතන මොනවාද කියාත් ලියුවානම් ගොඩක් පැහැදිලියි.ඒ වාගේම එවැනි ආයතන වලින් අනුමැතිය ලබාදීමේදී සොයා බලන කරුනු කාරණාත් දැනගන්නට කැමතියි. එය අදාල නීති පටිපාටියට විරුද්ධව පිහිටුවා ඇත්නම් එය ඔබ කියනා ආකාරයට "හොර" ආයතනයක්. නමුත් පසු කාලීනව, ඔබ ඔය සදහන් කර ඇති ආයතන වල නිසි අවසරය ලබා වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටවූ වොත් එය ඔබ පිලිගන්නවාද?

කඩයක් වීම සහ දන්සැලක් වීම කියන කාරණය සම්බන්ධයෙන් මා සටහන් කර ඇති කාරණය ඔබ තවමත් අවබෝධ කරගෙන නැහැ. සරසවියකට ඇතුලු වූ පමණින් උපාධියක් ලබන්නට බැරි බව අපි හැමෝම දන්නවා. මාලබේ ස්ලිට් ආයතනයට උපාධි බලාපොරොත්තුවෙන් ඇතුලුවන සිසුන්ගෙන් උපාධිය තෙක් ඉගෙනගන්නේ කොපමණ සීමිත සිසුන් ගනනක් ද? දෙමාපියන්ට මුදල් තිබූ පමණින්ම උපාධියක් ලබන්න බෑ, සිසුන් විභාග සමත් නොකර.
රජයේ සරසවි වල සිසුන් සමග විභාග වලට යොමු කිරීම ඉතා හොඳ දෙයක්. අන්න එවැනි යෝජනා තමයි ගෙන ආ යුත්තේ. නැතුව ආයතනය තහනම් කිරීම හෝ එම සිසුන්ගේ ඉගෙනුම් අවස්ථා නැති කිරීම නොවේ.(කෙසේ වෙතත් රජයේ සරසවියේ අන්තිමයාගේ ලකුණට වඩා ලකුණු ගන්නා එක් සිසුවෙක් හෝ පෞද්ගලික සරසවියෙන් බිහි වූවොත්, එය රජයේ සරසවි පද්ධතියටම වස නින්ගිරාවකි.)
මා වෛද්‍ය ක්ශේත්‍රය හොඳින් දන්නේ නෑ, නමුත් තොරතුරු තාක්ෂණය පැත්තෙන් උදාහරණයක් කියන්නම්.මේ ක්ශේත්‍රයේ පොදු විභාග නැතත් හැමෝගේම හැකියාවන් මැන බැලෙන අවස්ථා තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ඉමැජින් කප්, ගුගුල් සමර් ඔෆ් කෝඩ්, බෙස්ට් කොලිටි සොෆ්ට්වෙයර් අවෝඩ් ආදී ජාතික තරඟ වලදී රජයේ සරසවි වල සිසුන් තරමටම ස්ලිට්, අයි.අයි.ටී, එන්.අයි.බී.එම්. ආදී ආයතන වල සිසුනුත් දස්කම් දක්වනවා. රැකියාවේදී ඔවුන් බොහෝ දෙනෙක් එකම මට්ටමක තමයි සිටින්නේ. එස් 3යි කියා කියුවාට, ඔවුන්ටද ඉගෙනුම් අවස්තා දුන් විට ඔවුන්ද ඉගෙනගන්නා බවයි මගේ විශ්වාසය.

නදුන් උයන said...

@Anonymous2:
ඔබේ අදහසට මම එකඟයි.. මගේ අදහසත් අර රුසියානු වෛද්‍ය විද්‍යාල වලින් එන සිසුන්ට බෙදන හැන්දෙන්ම මොවුන්ටත් බෙදන්න...

නදුන් උයන said...

@@Anonymous3:
ඔබ කියා ඇති පරිදි අවසාන පොදු විභාගයක් පවත්වනවාද? එසේනම් "@Anonymous1" සටහන් කර ඇති පරිදි එකම විභාගයක් වත් ලියන්නේ නෑ කිය ලියා තිබෙන්නේ බොරුවක්ද?
මා ලිපිය මැද කියා ඇත්තේද මෙයයි. පොදු තත්ව පාලන ක්‍රමයක් ඇති කළ යුතුයි. එවිට රජයේ සරසවි වල පවා තරගයක් ඇතිවී වඩා හොඳ ප්‍රතිපල ලැබේවි.
මාලබේ සිසුනුත්, කොළඹ - පේරා සිසුනුත් සියලු දෙනා අරගල කළ යුත්තේ එවැනි දේ වෙනුවෙන්.

ඔබ අසා තිබෙනවා "තව හැකියාවක් / උනන්දුවක් නැති කෙනෙක් උසස් පෙළ ඇණගෙන තාත්තගෙ සල්ලි වලින් එතනට ඒම කොච්චර දුරට සාධාරණ කියල", එතකොට එයාල කියයි , "හැකියාවක් ඇති සහ උනන්දුවක් ඇති කෙනෙක් උසස් පෙළ සුලු ලකුණු ගණනක් මදි වෙලා, තාත්තගෙ හෝ තමුන්ගේ සල්ලි වියදම් කර ඉගෙනගෙන එතනට ඒමට තියන අවස්ථාව කවුරු හරි නැති කරනව නම් ඒක කොච්චර දුරට සාධාරණද?"

"උසස් පෙළ මම උඩින් පාස්, උඹල පාස් නෑ.. මම කැම්පස්, උඹලට ඩිග්‍රී නෑ.. උසස් පෙලින් කෙල උනානම් ජීවිතේම කෙලවෙලා හිටපියවු! " කියන මානසිකත්වයේ ඉන්න අය නම් ඔය "ප්‍රතිපලේ වටිනාකමක්" ගැන කතා කරයි. නමුත් ඒ ලෙවල් කියන්නේ ජීවිතේ නෙමෙයි කියල අර අසමත් වෙච්ච එකා ලෝකෙටම පෙන්නපු දාට, ඔය "ප්‍රතිපලේ වටිනාකම" නැත්තටම නැතිවෙනවා.

අපි ප්‍රතිපලේ වටිනාකම ගැන කතා කර කර ඉන්නවද, නැත්නම් රටට උගත්, බුද්ධිමතුන් පිරිසක් බිහි කරගන්නවද කියන කාරනේ තීරණය කරන්න ඕනේ අපිමයි.

Anonymous said...

නදුන් උයන
1) මගේ නම චතුර , මට බ්ලොග් අවකාශයේ ගිණුමක් නොමැති නිසයි ඇනෝනිමස් ලෙස ප්‍රතිචාර දැක්වීමට සිදුවූයේ . නදුන් උයන කියන්නේ ඔබේ නමද නැත්තම් තවත් ඔබ කිවූ පරිදී කොන්දක් රහිත තවත් ඇනෝනිමස් නමක් දැයි මම නොදනිමි
2)
BOI
UGC
SLMC

වෛද්‍ය සභාව දිගින් දිගටම පුවත්පත් නිවේදන හා මාධ්‍ය සාක්ච්ඡා මගින් මෙම ආයතනය නීති විරෝදී බවට ප්‍රකාශ කරද්දී තව තවත් සිසුන් බදවා ගනිමින් මුදල් ඉපයීම කොතරම් දුරට නීතියට අනුකූලද ?
3) ලංකාවට වෛද්‍යවරින්ගේ හිඟයක් ඟාඑති බවට සංවාදයක් සහිතව නිසි ප්‍රමිතිය යටතේ ආරම්භ කරනා පු.වෛ.වි .වලට විරුද්ධ නොවෙමි . නමුත් දැනට පිටවන උපාධිධාරීන්ට වත් රක්ශා දීමට නොහැකි යැයි ආණ්ඩුව කියද්දී මේ පිටවන අයටත් රක්ශා දීමට ආණ්ඩුව වැය කරන්නේ කාගේ සල්ලිද ?
4) ඔබ ස්ලිට් ගැන දන්නවා වුනාට වෛද්‍ය ක්ශේත්‍රය ගැන අවබෝධයක් නොමැති හැඩයි . 1980 දශකයේ ආරම්භ කල උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිදුවුනේ එවැනි දන්සැල් තත්වයක් තමයි . අවසානයේ එය වසා දමන විට බදවා ගෙන සිසුන්ගේ තත්වය ගැන කරුණාකර සොයා බලන්න
5) හැමෝටම වෛද්‍යවරු වීමට බැහැ. ඒ සදහා යම් බුද්ධි මට්ටමක් අවශ්‍යයි . ලංකාවෙ වෛද්‍යවිද්‍යාලවල සිසුන් තම අවසාන විභාගය 80-90 % සමත්වන විට විදේශ උපාධිධාරීන් ERPM විභාගය 80-93 % අසමත් වෙනවා . මගේ මතය උසස් පෙළ නැමැති "සරල" විභාගයක් නිසි ලෙස සමත් වීමට නොහැකි කෙනාට වෛද්‍ය විද්‍යාව වැනි උසස් පෙළ මෙන් සිය දහස් ගුණයක තර්ක , වපසරිය ආවරණය කර නොහැකි බවටයි . අනික් කාරණය මෙයින් මුදල් අතේ තිබෙන කිහිපදෙනෙක්ට හා වෛද්‍යවරුන්ට සෙත සැලසුනාට පොදු මහජනතාවට හා රෝගීන්ට මේ වෛද්‍යවරු නිසා සෙත සැලසෙන බව ඔබ සිතනවාද ?
6) ඔබ නිකමටවත් සිතා බැළුවාද මේ අය රජයේ විශ්වවිද්‍යාල වල මුදල් ගෙවා ඉගෙනගැනීමට අකමැති කමට හේතුව ? පැහැදිලිවම මොවුන්ට අවශ්‍ය ලෙසට විභාග පවත්වා පහසු උපාධියක් ලබා ගැනීමේ අවශ්‍යතාවය.

Anonymous said...

තවදුරටත්
මා එකඟයි පු.වෛද්‍ය .විද්‍යාල ඇති කරනවා නම්

1) රජයේ අනුදැනීම මත එයට සිසුන් තෝරනවා නම්
උදා- ලකුණෙන් දෙකෙන් මිස් වෙච්ච අය එයට තෝරනවා නම් අවුලක් නෑ
නමුත් මාලබේ ඉන්න බහුතරය උසස් පෙළ තුන් පාරක් කරලා යන්තම් සමත් වෙච්ච උදවිය . මේ වෛද්‍යවරු (උනොත්)ගාවට ඔබ ඔබගේ මව හෝ පියා බයක් සැකක් නැතුව රැගෙන යනවාද ?
2) නිසි ප්‍රමිතියකින් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දෙනවා නම්
3) ලක්ශ 65-100 සොයාගැනීමට අපහසු ළමයි තමයි ලංකාවෙ පොදු බහුතරයක් ඉන්නෙ. ඒ අයට ශිෂ්‍ය ණය ලබා දෙන්න පහසුකම් සලසනවා නම්

නමුත් මාලබේ හොර වෙද කඩේ මේ ලක්ශණ එකක් වත් නැති බවට ඔප්පු වෙලා ඉවරයි . ඉතින් මේකට විරුද්ධයි කීම වැරැද්දක් ද ?

නදුන් උයන said...

@ඇනො. චතුර :

01) ඔබ නිර්නාමිකව මෙහි සටහන් පළ කිරීම ගැන මාගේ කිසිදු බාධාවක් නැත.මා මීට පෙර මතුකල කරුණ වූයේ මාගේ අඩවියේ පාඨකයන් ගේ නම් උපුටා දක්වන්නේ නම් ඔබේද නම සටහන් කිරීමේ වැදගත් කමයි. වසර ගණනාවක් තිස්සේ මවිසින් පවත්වාගෙන් යන මෙම බ්ලොග් අඩවිය නිර්නාමිකව පවත්වාගෙන යනු ලබන්නක් නොවන බවත්, මෙහි ඇති ලිපි සහ සබැඳි ඔස්සේ මාගේ අනන්‍යතාවය ඕනෑම අයෙක්ට දැනගත හැකි බවත් කියන්නට කැමතියි. එලෙසින්ම මෙම අඩවියේ නම "නඳුන් උයන" වූයේ කෙසේද යන්න ගැනත් ලිපි මෙම අඩවියේම ඇති බැවින් ඔබට අවශ්‍යනම් කියවා තේරුම් ගත හැකියි.

02)
ඔබ අවසර ලබාගතයුතු ආයතන 3ක් නම් කර ඇති අතර, මා දන්නා තරමින් (සහ අදාල ආයතනයේ නිල වෙබ් අඩවියේ පල කර ඇති අයුරින් ) එම ආයතනය වෙත ප්‍රතිපාදන කොමිසමේ අවසරය ලැබී තිබේ. ඔබ සඳහන් කර ඇති අනෙකුත් ආයතන දෙකෙන් ලබාගත් යුතු අවසරයන් කුමක්ද? ඒවා ලබාදීමේ පටි පාටිය කුමක්ද යන්නත් (හෝ ලින්ක් එකක් ) සටහන් කළානම් ඉතා අගනේයි. වෛද්‍ය සභාව පුවත්පත් නිවේදන/පුවත් සාකච්චා පවත්වා තම පුද්ගලික මතය පවසනවාට වඩා, අදාල ආයතනය නීති විරෝධී යමක් කරණවානම්, ඒ ගැන පොලීසියට/ උසාවියට පැමිණිලි කර නීතියට අනුව ක්‍රියාකිරීම වඩාත් උචිත බවයි මගේ හැඟීම.

03) අවසානයේ මම කියන කරුනට ඔබ එකඟ වී ඇති බවක් පෙනේ.මෙම ලිපියේද අරමුණ අදාල ආයතනය වෙනුවෙන් පෙනී සිටීම නොවේ. මමද මතු කරණ කරුණ වන්නේ ආයතනයේ අදාල තත්වය පාලනය සඳහා රජයටද මැදිහත්විය හැකි බවයි.එමෙන්ම ඔබ වැන්නවුන් ගේ ඉල්ලීම විය යුත්තේද, අදාල ආයතනයේ ඉගැන්වීම ඉහල නංවන ලෙස බල කිරීම මිස, වසා දැමීමට බල කිරීම නොවේ. රැකියා ගැන නම් කිසිදු ගැටලුවක් ඇති නොවේ. දැනට වෛද්‍ය ක්ෂේත්‍රයේ පමණක් රජයේ සරසවි වල සිසුන්ට රැකියා දෙනු ලැබේ. නමුත් මෙම උපාධි දාරීන්ටද රජයේ රැකියා අවැසිනම් , නිසි සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් තුලින් රැකියා ලබාදිය හැකිය. නැත්නම් ඔවුන්ට පුද්ගලික අංශයට එක් විය හැක. එවිට රජයේ දොස්තරලාටත් පුදිගලික වැඩ නොකර රජයේ සේවයටම කැපවිය හැකිය. :)

04) සොයා බලන්නට විස්තර ඇති තැනකුත් දැක්වූවානම් අගනේය.ඔබේ සටහනේ ඔවුන් ගැන කිසිවක් නැත!.

05) ඊ පී ආර් එම් විභාගය ගැන මාගේ දැනුමක් නොමැත. නමුත් ඔබ කියන්නේ විදේශ උපාදි දාරීන් 80 - 93%ක් ලංකාවට පැමිනිපසු වෛද්‍ය සේවයට එක්වීමට නොහැකිව වෙනත් රැකියාවන් සොයා ඉවත්ව යන බවද? එවැනි ප්‍රතිශතයක් ගැන දැනගත් පලමු අවස්තාව මෙයයි!

06) රජයේ වෛද්‍ය සරසවි වල මුදල් ගෙවා ඉගෙනගත හැකි ක්‍රමයක් තිබෙනවාද? මම එවැනි ක්‍රමයක් දැනගත්තේද අදයි.

පැමිණියාට සහ අදහස් පල කළාට ඇනොනිමස් චතුරට ස්තූතියි.. !!!

Anonymous said...

02) මෙයට ආයෝජන මණ්ඩලයෙන් වෛද්‍ය විද්‍යාලයක් සදහා කිසිදු අනුමැතියක් ලැබි නෑ . වෛද්‍ය සභාව මෙයට මුලසිටම විරුද්ධත්වය පළ කළා වෛද්‍යවරුන් පුහුණු කිරීමට සුදුසු ශික්ශණ රෝහලක් නොමැති කමින් . මෙහි උපකුලපතිනිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශමේ සාමාජිකාවක් නිසා කූටකමකින් මෙයට වි.ප්‍ර.කො මේ අනුමැතිය ලබාගත්තත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙයට විරුද්ධ මතයක් දරන නිසා එම ගැසට් පත්‍රයේද වලංගු භාවයක් නෑ . එමනිසා පැහැදිලියි මෙය සිසුන්ගේ මුදල් ගසා කන නීති විරෝදී ආයතනයක් බව . කුමක් හෝ අපලයකට එයට කටහැකර දුරදිග නොබලන ඇමතිවරයෙකුගේ ආශිර්වාදය ලැබී ඇති නිසයි මෙය මෙතුවක් කල් පැවතුනේ . එබැවින් වෛද්‍ය සභාවත් මෙතැනදී නාමිකව අසරණයි .
03)
මම මෙය වසා දැමිය යුතු ජනසතු කළ යුතු යැයි නැවතත් පවසනවා

1)ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට මෙහි කිසිදු වැඩපිළිවෙළක් නැහැ . කොටින්ම නමටවත් රෝහලක් නැහැ . වෛද්‍යවරයෙක් පුහුණු කිරීමට රසායනාගාර , සජීවි සාම්පල , විද්‍යාගාර , කුසලතා වර්ධන ඒකක කොතරම් අවශ්‍යදැයි මම ඔබට කිවයුතු නොවේ යැයි සිතනවා. මේ වෛද්‍යවරුන් කවදා හෝ බිහිවූවොත් අහිංසක මහජතාවට මෙන්ම අපිටත් වයසට ගිය දවසක ප්‍රතිකාර කරාවි . නිසි කුසලතාවයක් හෝ පුහුණුවක් නොලද ඔවුන්ගෙන් සිදුවන හානියට ඉඩදී ඇස් කන් පියන් බලා සිටීමට නොහැකි නිසා මම මෙයට විරුද්ධයි
2) මෙය මහජන මුදල් වංචා කරන ආයතනයක්, තවමත් පිළිගත හැකි උපාධියක් මොවුන්ට නැතත් සිසුන්ගෙන් මුදල් මොවුන් ලබා ගන්නවා , ඒ වංචාවට ඉඩ දිය නොහැකියි

04) කරුණාකර ඒ ගැන හැකි නම් සොයා බලන්න . දන්සැලේ වෛද්‍ය උපාධිය කොච්චර බාල උනාද කිවහොත් එහි සිටි බහුතරය උසස් පෙළටවත් ජීව විද්‍යාව නොහැදෑරුවන් . ගෘහ විද්‍යා උපාධිධාරීන්

05)ඉවත්ව යන්නේ නැහැ . ඔවුන් අවුරුදු ගණන් එම විභාගයට පෙනී සිට යන්තම් කවදා හෝ සමත් වෙනවා . ඔන්න ඕකයි තත්වය

06) ඔව් . දැනට නම් වෛද්‍ය විද්‍යාල වල පිටරට සිසුන්ට එය සීමා වී තිබෙනවා.රජයට විශ්වවිද්‍යාල ප්‍රවර්ධනයට මුදල් නැහැ යන තර්කය මතයි මෙම පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වලට ඉඩ සැලසුනේ. එසේ නම් තිබුණු එක් විකල්පයක් වූයේ දේශීය සිසුන් මුදල් පදනම මත මෙයට බදවා ගැනීමයි . නමුත් එයට මෙහි ලොකු ලොක්කන් හා සිසුන් අකමැතිවී එම යෝජනාව නිකන්ම යට ගියා .

Anonymous said...

@ නදුන් උයන
මේක බොහොම පුළුල් සංකීර්ණ මාතෘකාවක් .කවුරු මොනවා කිව්වත් අපිට නම් මෙය තිබීම වාසියක් .මේක තිබුණොත් අපිටත් කවදාහරි මෙකේ ලොකු පඩියකට රස්සා ගන්න පුළුවන් වෙන නිසා , නමුත් නුසුදුස්සන් මේ ක්ශේත්‍රයට ඒමෙන් සිදුවන හානිය ඊට වඩා වැඩි නිසා මම මෙයට විරුද්ධයි
සංවාදයට ඉඩ ලබාදීම ගැන ස්තූතියි මිත්‍රයා. ජය වේවා !

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...