Pages

Sunday, November 6, 2011

කාන්දුවන තෙල් එකතු කරගත්තොත් ..... !!!


අද මට මේ ලිපිය ලියන්න හිතුනේ ඊයේ පෙරේදා ලංකාවේ පත්තර වල තිබ්බ එක් පුවතක් කියෙව්වට පස්සේ. මම හිතනව මේ ලිපිය කියව ඔබත් මම මේ කියන ප්‍රවෘත්තිය දැනටමත් දන්නව ඇති කියල... අපේ රටේ කොළඹ ඉඳල තෙල් ගෙනියන නලයක් පසු ගිය දවසක කාන්දු වීමක් පටන් අරගෙන තිබුනා. ඒක අලුත් වැඩියාකරනකන් අපේ අසල් වැසියො ටිකත් නිකන් ඉඳල නෑ..  තමුන්ට හැකි හැකි පමනට කාන්දු වෙච්ච තෙල් එකතු කරන්න පටන් ගත්ත කියල තමයි මම ඒ ලිපියේ කියෙව්වේ.. 

මට ඒ ලිපිය කියවද්දි ඇත්තටම අපේ රටේ මිනිස්සු ගැන ඇති උනේ පුදුමාකාර දුකක්..මේ ලිපිය කියවගෙන යද්දි ඔයාලටම තේරෙයි ඒකට හේතුව... ඛණිජ තෙල් නලයක් කාන්දු වෙනව කියල දැනගත්තහම අපි හැමෝම දුවන්නේ ඒවා එකතු කරන්න.. නමුත් අපි ඔය අහුවෙන අහුවෙන බාජනේට දාගෙන එන බොරතෙල් වලින් අපිට ගන්න පුලුවන් ප්‍රයෝජනය ඉතා අඩුයි. මොකද ඒවා පිරි පහදු කරල නැති නිසා.. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ, ඒ නලේ කාන්දු උනේ බොරතෙල් ද, නැත්නම් පිරිපහදු කළ ඩීසල් හෝඅ පැට්ට්‍රෝල් ද කියල. හරි අපි හිතමු පිරි පහදු කරපු පැට්‍රොල් කියල. ඔන්න ඉතින් එකතු කරගත්තොත් බඩුම තමා...  කියල අපේ කට්ටියත් යනව එකතු කරන්න...

මම දැන් එන්නම් මේ ගැන තියන මගේ අත්දැකීම කියන්න... කට්ටියම දන්නවනේ මම මේ දවස්වල ඉන්නේ කෙන්යාවේ කියල... මම පහූගිය ටිකේම දැම්මේ කෙන්යාවේ ලස්සන ගැන විස්තරනේ.. (කියවපුනැති අය ඉඔන්නවනම් මෙතනින් ඒ ලිපි පෙලම කියවන්න ). මේ කියන්න යන්නේ පසුගිය සැප්තැම්බරයේ මුලු කෙන්යාවම හඬවපු තිත්ත කතාවක් ගැන.

ඔය මම උඩින් ලියල තියන විදිහටම කෙන්යාවෙත් ඔය විදිහට තෙල් නලයක කාන්දුවක් සිද්ද උනා... මේ කාන්දුව සිද්දවෙච්ච තැනට ආසන්නව ඉතා දිළිඳු ගම්මානයක් පිහිටල තිබුන..මේ අයත් ඉතින් අපේ අය වගේම තමා... කල්ල මරේ කියල ගියා තෙල් එකතු කරන්න.. අහු වෙන අහුවෙන බාජනත් අරගෙන... පොඩි ලමයි.. ලොකු ලමයි.. ගැහැණු - පිරිමි භේදයක් නැතුව හැමෝම එකතු උනා තෙල් එකතු කරන්න... ඔය අතරේ මේ දුප්පත් ගම්මනය හරහා ගලන පොඩි ඇළපාරක් තියනව.. මෙහෙ ඉන්න කෙන්යානුවන්ගේ ටිකිරි මොලේ කියන්නේ කට්ටිය එකතු වෙලා අර කාන්දු වෙන තෙල් පාර, මේ ඇල පාරට හරව ගත්තලු.. දැන් ඉතින් තමුන්ගේ ගේ ලඟින්ම තෙල් ටික එකතු කරගන්න පුලුවන්නේ.. කට්ටියම ඇළ දෙපැත්තේ ඉඳගෙන තෙල් එකතු කරනව... 

ඔය අතරේ එක පාරටම මහා පිපුරුම් හඬක් එක්ක මහා ගිනි ජාලාවක් පැන නැග්ගලු...

මේක කියවන හැමෝම දන්නවනේ ඛණිජ තෙල් කියන්නේ වහා ගිනි ඇවිලෙන සුලු දෙයක් කියල... ඉතා පුංචි හේතුවක් / අත පසු වීමක් ඇති ඛනි ජ තෙල් වලට ගිනි ගන්න...එක පාරටම කොතනකින් හරි පටන් ගත්ත ගින්න මොහොතකින් අර ඇල පාර දිගේ හැම තැනටම පැතිරුනා... තෙල් එකතු කර කර හිටපු අයට හිතා ගන්නවත් බැරි උනා...ඔවුන් හැමෝම මොහොතකින් අඟුරු බවට පත් උනා..අර ගම්මානෙම මොහොතකින් ගිනි ගත්ත... මෑත ඉතිහාසයේ කෙන්යාවේ අඳුරුම දවස විදිහට මේ දවස ඉතිහාසයට එක් උනා. පසු දින පුවත් පත්වල තිබුනු විදිහට මියගිය ගනන 120 ඉක්මවල තිබුන... තවත් විශාල පිරිසක් පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත වෙලා තිබුනා.. 

මොහොතකින් අඟුරු වූ මිනිස් ජීවිත....
මොහොතකින් අඟුරු වූ මිනිස් ජීවිත....


තෙල් එකතු කරන්න ගිහින් තමුන්ගේ මරණය තමුන් විසින්ම ළඟා කරගතු පිරිසක්.. මේ මරණවලට ඇත්තටම වග කියන්න ඕනේ කවුද කියන එක මටනම් තවමත් ප්‍රෙහෙලිකාවක්... 


දැන් හැරෙන්නම් අපේ රටේ සිද්ධියට... අපේ රටේ උනත් මේ වගේ මොහොතකදි අපේ මිනිස්සු වැඩ කරන හැටියි, කෙන්යාවේ මිනිස්සු එදා වැඩ කරපු හැටියි අතර වෙනසක් නෑ වගේ නේද?

මම මේ ලිපිය ලියුවේ අපේ රටේ මිනිස්සු අතර පුංචි හරි දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් කියන අරමුණින්... තෙල් කාන්දුවක් වෙනව නම් තෙල් එකතු කිරීම පැත්තක තියල ඒ පැත්තෙවත් ඉන්නෙ නැතුව ආරක්ශිත තැනකට යන එක තමයි හොඳම විසඳුම... අපිට කෙන්යාවේ ඛේදවාචකයෙන් ඉගෙනගන්න පුලුවන් ලොකුම පාඩම ඒකයි...!!!

මේ ඛේදවාචකයේ අතුරු කතාවක්: 
[මේ වගේ සිද්දියක් උනහම , අපි ගැන අවධානයෙන් ඉන්නේ කවුද කියන එකත් හරියටම දැනගන්න පුලුවන්... මේ පුවත දැනගෙන අපෙන් විස්තර අහල, සුව දුක් විමසපු හැමෝටම ස්තූති කරන්නත් මේ ලිපිය අවස්තාවක් කරගන්න කැමතියි... ඒ වගේම අපි ගැන හොයල බලයි කියල බලාපොරොත්තු වෙච්ච අය මේ ගැන වචනයක් වත් කතා නොකරපු වෙලාවේ පොඩි දුකකුත් ඇති උනා.. ] 

Sunday, October 30, 2011

තවත් [ආලවන්ත] රජෙක් මහ වනයක් මැදදී හමුවුනෙමි... !!!


පසුගිය ලිපියෙන් මම ලියුවේ කෙන්යාවේ නකුරු ජාතික වනෝද්‍යානයේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලන් නරඹපු හැටි නේ. කට්ටිය ගොඩ දෙනෙක් ප්‍රතිචාරත් දක්වල තිබුන එක ගැන සංතෝසයි. මම එදා ඒ චාරිකාවේ සම්පූර්ණ විස්තරය ලියුවේ නැති වග ඔයාල දන්නවනේ. ඔන්න අද හදන්නේ ඒ චාරිකාවේ ඉතුරු විස්තර ටික ලියන්න. 

අන්තිමට අපි කතා කලේ කැලේ යාලුවො දෙන්නෙක් ගෝරියක් දාගත්ත හැටි නේ. මෙන්න ඉතින් ගෝරියේ අලුත්ම දර්ශන :)


බලන්නකෝ ඉතින් එකෙක්ගේ අනක් අස්සට අනිකගේ අනක් පටලවගෙන කරන ගෝරිය.අපේ ඇස් එකම තැනකට රඳවාගෙන වි. 15ක් විතර තියන් ඉන්න මේ යාලුවො දෙන්නට පුලුවන් උනා.වන සත්තු වගේ මිනිස්සු ගෝරි දාගන්නව ඇස් දෙකට දැකල තිබුනට, වන සත්තු දෙන්නෙක් මෙහෙම මුහුනට මුහුන කරන පයිට් එකක් දැකපු පළමු වතාව තමයි මේ. හැබැයි ඉතින් මෙයාලත් නියම ශිල්පීය ක්‍රමේටම වැඩේ දෙනව වගේ තමයි පේන්නේ...  
ගහ මරාගන්න තැන් වල වැඩිය ගැවසෙන්න හොඳ නෑ කියල තියන හන්ද ඔන්න අපි තව ටිකක් ඉස්සරහට සේන්දු උනා... අපේ මාර්ගය වැටිල තියෙන්නේ නකුරු ජලාශය වම් අත පැත්තෙන් පෙනෙන නොපෙනෙන දුරින්... දකුණු අත පැත්තෙන් වනන්තරය තමයි. වනන්තරය කියුවට මේක හරියට සිංහරාජේ වගේ ඝන වනාන්තරයක් නොවෙයි. මේ පින්තූර වලිනුත් ඔයාලට ඒක තේරෙනවනේ... මෙන්න ටිකක් දුර යද්දි වම් අත පැත්තෙන් පේනව ටිකක් දැකල පුරුදු මූනු ටිකක්... අහ්හ් .. බලපුවහම මේ මී හරක් නේ... අර ඉංගිරිසියෙන් කියන්නේ "බෆලෝ" කියල මෙයාලටනේ... 


මෙතන ලස්සන වැඩේ කියන්නේ අපි අනිත් සත්තු දැකපු හැටියම පුදුම වෙලා වගේ බලන් ඉන්න බව අපේ රියදුරු මහත්තයට මේ වෙද්දිත් අවබෝධ වෙලා තිබුනේ... දැන් අර මී හරක් ටික දැක්කට පස්සේ අපි කිසි සද්දයක් නෑ..මෑන්ටත් ෆුල් අවුල්. අපි කුලු- මී හරක් ටික දැකල නෑ කියල හිතපු රියදුරු මහත්තය අපිට උන් ටික පෙන්නන්න මාරම ට්‍රය් එකක් දෙනව... අපිටත් ඉතින් අර නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියුව වගේ මේ මී හරක් රන්චුව දිහා මැජික් බලනව වගේ බලන් හිටියේ නෑ... 
ඒත් එක පාරටම අපි ඔක්කොගෙම ඇස් නතර උනේ කුලු- මී හරක් අතරේ ඉන්න ටිකක් අමුතු විදිහේ යාළුවෙක් ළඟ.. කට්ටියට පුලුවන්ද බලන්න මෙයාව අඳුරගන්න... අනිත් අයට වඩා පොඩ්ඩක් අලු පාටට හුරු හමක් තිබුන නිසාවෙන් මෙයාව ලේසියෙන්ම හඳුනගන්න අපිට පුලුවන් උනා... ඔන්න මී හරක් ගොඩේ ඉන්න එක්කෙනාව අඳුරගන්න බැරි අයට තමයි මේ සමීප රූපය...  


 අපි මෙයා දිහා විශේෂයෙන් බලන් ඉන්න බව තේරුම් ගත්ත "රයිනෝ" යාලුව ආවනේ අපිව හොයාගෙන.. අම්මෝ ළඟට එද්දි තමයි මෙයාගේ ප්‍රමාණය ගැන අවබෝධයක් ඇති උනේ. දෙහිවල සත්තු වත්තෙදි ඉස්සර දැකල තිබුනට මූ ගැන ලොකු මතකයක් තිබුනේ නෑ.මෙයාගේ ප්‍රමාණය තීරණය කරන්න ඔය ළඟ තියන වෑන් එකත් උදව්වට ගන්නකෝ. කොහොම හැරි මෙයාට වාසනාව තිබුනා නඳුන් උයනේ මූන දාගන්න... (එහෙමත් එක්කෙනෙක් ට තමයි ඒ වාසනාව උදා වෙන්නේ.. ) තව දෙයක් ... රයිනෝ කියන සතාගේ විනාශයට හේතු වෙලා තියෙන්නේ උගේ අඟ ලු... අර හැකියාව වැඩි කරන බේත් හදන්න මූව මරල අඟ ගන්නව කියන්නේ... තව ටික කාලෙකින් අපිට මූව දකින්න වෙන්නේ වහලේ තියන ඇස්බැස්ටස් සීට් එකෙ විතරක් වෙයිද දන්නේ නෑ..  


මේ බලන්නකෝ මෙයා... මෙයා කරන්නේ බොරදියේ මාළු බාන එකනේ.. මේ පුංචි වතුර පාරෙත් මාලු පැට්ටෙක් එහෙම ඉන්නවද කියල තමයි මෙයා බලන් ඉන්නේ.. සුදු ඇඳගෙන මාලු බාන කොක් හාමිලට වඩා, මේ කොක් හාමි එක අතකට හොඳයි.. මොකද එයා කළු කොකෙක් බව දකින හැමෝටම තේරෙනවනේ... බලන්නකෝ මුගේ හොටේ පාට ... හරියට පින්සලකින් පාට ගාල වගේ...     

 මේ යාළුවත් අපේ සයන්තන් ගේ කැමරාවේ සටහන් උනේ, ඌ උදේම නාල ඇවිත් අව්ව තපින කොට.. මේ කොයි කොකාගෙත් තියන විශේෂය තමයි මුන්ගේ හොට අති විශාල වීම. තමුන්ගේ තරමට වඩා විශාල කටවල් මිනිස්සුන්ට ලැබිල නැති එක ගැන නම් හරිම සන්තෝසයි.. :)  
 
 
ඔන්න අපි තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට මුන ගැසුන ලස්සනම ලස්සන කුරුලු රංචුවක්. රංචුවක් කියුවට මෙතන වැඩිය හිටියේ නෑ. ඒත් මුන්ගෙ මොකක්දෝ අමුතු අහිංසක ගතියක් සැඟවිලා තියනව කියල අපිට හිතුනා.. මෙයාල අර කොක් හාමිල වගේ වේගයෙන් ඉගිල්ලෙන්නෙ එහෙම නෑ.. හෙමින් සැරේ ඇවිදගෙන ඉස්සරහට යනව... පින්තූරෙට ගන්න උනත් ඉතින් ලොකු අමාරුවක් උනේ නෑ.. [අනිත් අය ඉතින් කැමරාව අටව ගන්නකොට ඉගිල්ලිලා ඉවරයි නේ... ]


කොහොමද මෙයා.. ස්වභාවධර්මය මේ තරම් ලස්සන නිර්මාණ කරල තියනවද කියලත් හිතෙනව... මෙයා කුකුළ් පවුලට අයත් පක්ෂියෙක් කියල තේරුනේ මෙයාගේ කරමළේ නිසා තමයි. බළන්නකො මෙයාට ලොකු ආඩම්බරයක් එක් කරළ තියන ඔටුන්න...ඒ වගේම මුගේ ශරීරය පුරාවටම තියන පාට ගණන..කළු පාට, සුදු පාට, තැඹිලි පාට, කහ පාට, ක්‍රීම් පාට, දුඹුරු පාට.... හප්පේ... පාට කීයක නම් සංයෝගයක් ද?


මෙයාව නම් කට්ටිය අඳුරනව නේද? මේත් බැබුන් පවුලේ යාලුවෙක්... මූගේ කටත් පොඩ්ඩක් කොකෙක් වගේ ඉස්සරහට ඇවිල්ල තියෙන්නේ.. ඒ කියන්නේ හොම්බ ටිකක් ඉස්සරහට ඇවිල්ල ... ඒ වගේම පුන්චි ඇස් දෙකේ තියන තියුණු බැල්ම.. !!! මූ නිකන් අපි දිහා බලන් හිටියේ හරියට නෑදෑවරිගය දිහා බලනව වගේනේ...

මෙච්චර වෙලා අපි කොච්චර නොදැකපු සත්තු දැක්කත් අපේ සිතේ පොඩි දුකක් තිබුණා.. අපි විශේෂ පුද්ගලයෙක් මුළු කැළය පුරාවටම හෙව්ව... එයාව දකින කන් අපේ ඇස් වලට නිවනක් නොලැබෙන වගත්, අපේ හිත් වලට සැනසීමක් නැති වගත් අපිට හොඳටම අවබෝධ වෙලා තිබුනේ... අපි හෙව්වේ වෙන කාවවත් නෙවෙයි. කැළේ රජාව.. රජා උනත් කූඩු වෙලා ඉන්න රජෙක් නෙවෙයි අපි හෙව්වෙ.. සැබැවින්ම කැලේ නිදහස අත් විඳින කැලේට ඇත්තටම රජෙක් වගේ හයි - කම් පාන ඇත්තම රජෙක්... මෙන්න අපි ඉස්සරහට යද්දි රජා ඉන්නව... අපි යන පාරේ ඉඳන් මීටර් 2-3ක් වගේ ළඟට ඇවිත්... මෙන්න අපි දැකපු කැලේ රජා...     


බලන්නකෝ මෙයා රජා වගේ ඉන්න හැටි.. තේජාන්විත පෙනුම.. !!! [හැබැයි ඉතින් මූන පුරාම මැස්සො වහල හිටියේ ...] මෙයා අපිට දිවත් දික් කළා නෙව.. !!! අපි මෙයාව දකිද්දි මෙයා හිටියේ තණකොළ ගොල්ලේ හොඳ නින්දක් දාගෙන.. අපිව දැකලද නැත්නම් වෙන හේතුවකටද මන්ද ඔය විදිහට අපි දිහා බලන්න පටන් ගත්ත..මෙයා ඉන්නේ අපිට ගොඩක් ළඟින්ම හන්ද අපි අපේ රියදුරු මහත්තයටත් කියුව, කෝකටත් වාහනේ ස්ටාර්ට් එකේම තියා ගන්න කියල. කියන්න බෑනේ කොයි වෙලාවේ මෙයාට සිංහ[ල] මස් කන්න හිතෙයිද කියල..  
ඉතින් අපි ඔහොම ටික වෙලාවක් බලා ඉන්නකොට අපිට තේරෙනව, මේ සිංහයාට කකුල් 6 ක් විතර තියන බවක්.. අපිත් තව ටිකක් හොඳට බැලුව.. දෙන දෙය්යො ගෙදරටම ගෙනත් දෙනව කියන්නේ මේකනේ... මෙතන එකෙක් විතරක් නෙවේ.. ඔය උඩින් ඉන්න තරුණ සිංහයගේ "සිංහ කෑල්ලත් " මෙතනම දොයි. 


අපි දිහා ටිකක් ආඩම්බරයෙන් බලන් හිටපු මේ සිංහයා තව මොහොතකින් හිටපු විදිහ තමයි මේ... බලන්න රජා උනත් තමුන්ගේ ප්‍රියාවියට දක්වන ආදරය... ආදරයට සීම මායිම් නෑ.. සත්තු මිනිස්සු කියල නෑ.. හරිම සංවේදී දර්ශනයක්...තමුන්ගේ ආදරවන්තියට මොන තරම් රැකවරණයක් දෙනව ඇතිද? මේ වගේ සිංහ ආදරේ ලබන "සිංහ කෑල්ල" ත් ගොඩක් වාසනාවන්තයි  කියල මට හිතුන.


විනාඩි 10 කින් විතර මේ ආදරේ කූටප්‍රාප්තියට ලන් උනා... මෙන්න සිංහ දේනුව උඩු බෙලි අතට වැතිරිලා.. හෙමින් සැරේ තම ආදර වන්තිය ළඟට කිට්ටු වෙච්ච සිංහයා ආදරෙන් සිය ආදර වන්තියව ලෙව කන්න පටන් ගත්ත... ටික වෙලාවකින් දෙන්නගෙම මූනු දෙක එක ළඟ...මුවට මුව තියල දෙන්නම සිප ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ... [ඔන්න ඉතින් ඉතුරු ටික කොටු කොටු.... ] 

මේ ආදර රැඟුම් කොච්චර වෙලා තිබුනද කියන්නවත් අපිට මතක නෑ.. මොකද අපේ සිහිය තිබ්බේ මෙයාල ගැනම විතරයි. ඔන්න ටික වෙලාවකට පස්සේ අපේ තරුණ සිංහය හෙමින් සැරේ කැලේ පැත්තට ටික දුරක් ඇවිදගෙන ගියා මෙන්න මේ විදිහට..  


ඊට පස්සේ ආයෙත් අපිට වැඩිය නොපෙනෙන විදිහට තණකොළ ගොල්ලේ නිදාගත්ත.. ඔන්න ඔහොමයි අපි සිංහයො බැලුවේ.. හැබැයි මේ අත් දැකීමත් කවදාවත්ම අමතක වෙන එකක් නම් නෑ..


ඔය උඩින් තියන ඡායාරූපය ගත්තේ මේ කැලේම තියන පොඩි කඳු ගැටයක් උඩ ඉඳල. මෙතනට පේනව අපි දවසම ගත කරපු නකුරු ජාතික වනෝද්‍යානයම.. නකුරු ජලාෂයත් ඔයාලට පේනව ඇතිනේ...  අපි ගිය මාර්ගය නම් පැහැදිලිවම පේනව.. මෙතන තමයි ඉතින් අපේ අවසාන දැක්ම.. ඊට පස්සේ අපි යලිත් ප්‍රධාන දොරටුව දෙසට ගියේ අපේ ගමනාන්තයත් සනිටුහන් කරමින්.. 
අහ්හ් ඔය අතරේ දැන් වෙලාවත් 3 පහු වෙලා. උදේට කන්න කියල තෙල් දාල හදාගෙන ආපු කඩල එක මතක් උනේ ඒ වෙලාවෙදි. සත්තු දැකපු හන්ද අපිට බඩ ගින්නක් ආවෙම නෑනේ.. ඔන්න ඉතින් එන අතර මගදි 'පික්-නික්' පිටියක් ළඟට ඇවිල්ල අපි කඩලත් කාල එන්න පිටත් උනා..කොහොම හරි ආපසු ප්‍රධාන දොරටුවෙන් පිට වෙනකොට වෙලාව 4 ට විතර ඇති... 
සර්ව සම්පූර්ණ වන චාරිකාවක් අවසන් උනේ ඔන්න ඔය විදිහටයි.. 
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව... 
ඔන්න අපි ආපහු එද්දි අපිට වෙච්ච දේ... මෙහේ තියනව බඩ ඉරිඟු ග්‍රිල් කරල බැදපු කරල් පාරේ විකුනන්න. අර අනුරාධපුරේ යද්දි අපේ රටෙත් තියෙන්නේ තම්බල විකුනන්න.. අන්න ඒ වගේ. ඔන්න අපි කට්ටියටත් ඕනේ උනා ඕකක රස බලන්න.. අපි ඔන්න නැවැත්තුව වාහනේ එහෙම විකුණන තැනක.. වෙච්ච දේ ඔයාලම බලාගන්නකෝ.. 


හරියටම වෙළෙන්දො 9ක් ඇවිල්ල අපිට එල්ල කලේ නැතෑ.. බඩ ඉරිඟු රොකට් ප්‍රහාරයක්.. වීදුරුව ඇරල තිබ්බ ඉස්සරහ හිටපු අයට වෙච්ච දේ හිතා ගන්න පුලුවන් නේද

අදත් මගේ බ්ලොග් සටහනට ඡායාරූප අනුග්‍රහය අපේ ගමන් සගයින් වුනු සයන්තන් සහ හර්ෂගෙන්.

නකුරු චාරිකාව ඉවර උනාට කෙන්යාවේ විස්තර ඉවර නෑ.. වසර දහස් ගනනකට ඈතදී ඇතිවූ ගිනි කන්දක් බලන්න ගොස් - ඇත්තටම ගෙන්දගම් පොලොවේ පය ගැසූ විස්තරයත් ළඟදීම බලාපොරොත්තු වෙන්න ...        
  

Saturday, October 22, 2011

පියාඹනකොටත් සුදුපාට නොවූ කොක්කු සහ ....


අධික කාර්ය බහුල බව නිසාම සති කීපයකකින් නදුන් උයනේ සටහනක් තබන්නත් බැරි උනානේ. ඔන්න බොහොම අමාරුවෙන් පොඩි වෙලාවක් දාගත්ත නදුන් උයනේ සටහනක් ලියන්න. 
අදත් ලියන්න යන්නේ අප්‍රිකානුචාරිකාවක් තමයි. අප්‍රිකානු කියුවට කෙන්යා චාරිකාවක්

කෙන්යාවේ චාරිකා සටහන් වල අලුත්ම සටහන් ලියවෙන්නේ "නකුරු ජාතික වනෝද්‍යානය" ගැන. ඇත්තෙන්ම අමුතුම ආකාරයේ අත්දැකීම් රැසක් ලැබිච්ච ගමනක් කියන්න පුලුවන්. 

ඔන්න ඉතින් අපේ චාරිකාවට එකතු උනේ අපේ සගයො දෙන්නයි, ඒ දවස් වල කෙන්යාවේ චාරිකාවක නිරත වුනු අපේ සහෝදර - සමාගමේ සාමාජිකයෝ දෙන්නෙකුයි තමයි. කට්ටිය ඔක්කොම පස් දෙනයි. හදිස්සියෙ ගමන යොදාගත්ත හන්ද ඉතින් ගමන යන්න ඉස්සෙල්ල දවසේ තමයි අපි ඉතින් වාහනයක් සූදානම් කර ගත්තේත්. ඔන්න ඉතින් ඉස්සෙල්ල දවසේ රාත්තිරියේ වාහනයක් එහෙම සෙට් කරගෙන "නකුරු" යන්න අපි සැලසුම් කරගත්තේ උදේ 4 ට විතර පිටත් වෙන්න. ඔන්න ඉතින් කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නෑ කියනව වගේ අපිට ඉතින් ට්‍රිප් එකක් යද්දි ඉතින් කන්න බොන්න හදාගෙන යන විදිහේ වෙනසක් නෑනේ. ඔන්න අපිත් ට්‍රිප් එක යන්න සෙට් කරගත්තේ කඩල තෙම්පරාදුවක්
උදේ පාන්දර 3 ට විතර නැගිටල, කඩල එහෙම ලෑස්ති කරගෙන ඔන්න අපි ගමන යන්න පිටත් උනා. අපි ඉන්න නයිරෝබි නගරයේ ඉඳල කිලෝමීටර 200 කට ආසන්න දුරකින් තමයි මේ "නකුරු" වනෝද්‍යානය  පිහිටල තියෙන්නේ.     
ඔන්න අපි ගමන පිටත් උන වෙලාවේ ගත්ත ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ.උදේ පාන්දර නිසා අපේ ගමනට මීදුමෙනුත් බාධා සිද්ද උනා.ඉද්ද ගැහුව වගේ පාරක තමයි අපි ගියේ.අපේ රියදුරු මහත්තයත් පළමු වතාවට තමයි මේ ගමන යන්නේ.ඉතින් අපිට මග කියන ජී පී එස් පැන්චත් පොඩ්ඩක් විතර අපිට උදව් වුනා ගමනාන්තයට ළඟා වෙන්න. 

අපේ ගමනාන්තයට අපි ළඟාවෙමින් ඉන්නවයි කියන දේ අපිට මුලින්ම දැනුනේ පාරේ සවිකරල තියන මේ විදුලි පහන් වලින්. නකුරු වනෝද්‍යානය වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ "ෆ්ලෙමින්ගෝ" කුරුල්ලන්ගේ රජ දහනක් විදිහට. ඉතින් මේ ආසන්නයේ මාර්ග විදුලි බල්බත් සකස් කරල තියෙන්නේ විශාල ෆ්ලෙමින්ගෝ කුරුල්ලන්ගේ හැඩයට.  


දැන් අපි ඉන්නේ වනෝද්‍යානයේ දොරටුවෙන් ඇතුල් වූ ආසන්නයේමයි. නකුරු වන උයනේ එක මායිමක් නකුරු ජලාශය. මේකේ තමයි මම අර මුලින් කියපු ෆ්ලෙමින්ගෝ කුරුල්ලො ඉන්නේ. ඔන්න අපි නකුරු ජලාශය කරා යන ගමනේදී අපිට මුලින්ම හමු වූ යාලුවන් ටික. 


 මෙතන රථයෙන් බිමට බැහැල මේ යාලුවො ටිකත් එක්ක ඡායාරූපයක් ගන්නත් අපිට වාසනාව උදා උනා. මෙයාලට කියන්නේ ඇන්ටිලොප් කියල බව "එන්ඩෝ... සත්තු බලන්න එන්ඩෝ...... " ලිපිය කියවපු අය දන්නවනේ... 
ඔන්න අපි ටිකක් ඉදිරියට යද්දි තව යාලුවො සෙට් එකක් හම්බවුනානේ.
 
  එයාල උදේ පාන්දරම මේ පොලිම් ගැහිල යන්නේ කන්න බොන්න මොනව හරි හොයා ගන්න වෙන්න ඕනේ. මොකද අව්ව තදට පායන්න ඉස්සෙල්ල කට්ටිය දවසට කෑම බීම ටික එහෙම සෙට් කරගන්නව ඇතිනේ.බැබුන් යාලුවො මේ විදිහට පාර හරස් කරගෙන හිටියට මොකෝ අපිට යන්න කිසිම බාධාවක් නොකර දෙපැත්තට උනා. අපිත් ඉතින් ලැබුනු අවසරයෙන් හෙමින් සීරුවෙ එතනින් මාරු උනා. 

ඔන්න තව ටිකක් ඉස්සරහට යද්දි අපිට මුන ගැහුනෙ මෙන්න මෙයාල... මෙයාලව නම් අපේ යාලුවන්ට පොඩ්ඩක් දැකල පුරුදු ඇති නේද?
 
මට හොයගන්න පුලුවන් වුනු විදිහට නම් මූට කියන්නේ " helmeted guinea-fowl". මේ විදිහට නකුරු උද්‍යානය තුල විවිද පක්ෂී විශේෂ 450 ක් පමණ හමුවෙනව.වැඩේ තියෙන්නේ ලස්සන ලස්සන කුරුල්ලො දැක්කට මොකෝ අපි උන්ගේ නම් දන්නේ නෑනේ.. කුරුල්ලගේ ලස්සන බලා ඉඳල එනව(පොටො 2 - 3 කුත් අරගෙනම. ). කට්ටියම එකතු වෙලා අපිට පොඩි රංගනයකුත් පෙන්නල එහෙම කට්ටිය පාරෙන් අයින් උනේ අපිට ඉඩදෙන්න... නිකන් හරියට ඔයාලට තියන ෂෝ එක ඉවරයි කියන්න වගේ.  මෙයාල ළඟත් විනාඩි 10 ක් විතර බලන් ඉඳල අපි ඉදිරියටම ගියා.   

අපිට මීළඟට නෙත ගැටුනේ මහ වනයේ අහිංසක යාලුවො දෙන්නෙක්. 

 බලන්න දෙන්නම එකම බිම බෙදා හදාගෙන ඉන්න හැටි යාලුවො දෙන්නෙක් වගේ. දෙන්නම කන්නෙත් තණකොළ , ඒ උනාට දෙන්න එකම ප්‍රමාණයේ නම් නෙවේ... මුන් දෙන්න දිහා බලා හිටපුවහම ස්වභාව ධර්මයේ නිර්මාණ ගැන කොච්චර දේවල් නම් හිතෙනවද? "කුඩු මුවා" පොඩි උනාට ඌට ආරක්ශාව දෙන්න හොඳ කැරකිච්ච අන් දෙකක් තියනව. සීබ්‍රා ට ශරීරය විශාලව පිහිටල තියනව... බලන්නකෝ හැම සතාටම මොකක් හරි විශේෂයක් සහිතව මැවිල තියන හැටි.
 ඔන්න අපි ආවේ අපි බලා පොරොත්තුවෙන්ම හිටපු ප්‍රදේශයට... මේ තියෙන්නේ නකුරු ජලාශය. ජලාශය පුරාවටම ඉන්නේ විවිධ වර්ගයේ පක්ශීන්. කොක්කු ජාතිම තමයි. බලන්නකො මේ ඡායා රූපයේ ඉන්න කොක්කු වර්ග ටික... ලොකු කොක්කු - පොඩි කොක්කු  - රෝස පාට කොක්කු - කලු සුදු කොක්කු. අවාසනාවට මුන්ගේ නම් නම් මම තවමවත් දන්නේ නෑ. මෙතන ඉන්න ලොකුම කොක්කුන්ට තමයි ලු ෆ්ලෙමින්ගෝ කියල කියන්නේ. කවුරු හරි මුන්ගේ නම් දන්නවනම් පහලින් ලියල යන්නත් අමතක කරනන් එපා.

මේ බලන්නකෝ මෙයාල ටික. මුන්ගේ විශේෂත්වය තමයි හොටයි, බෙල්ලයි යා කරල තියෙන කහ පාට තීරුව. ඒක හරියට පේන්නේ මුන් ඔලුව උඩ අතට හැරෙව්වහම තමයි.


මෙන්න බලන්න පුන්චියට අපි දකින කුරුල්ලෙක් පියාඹන කොට උගේ ප්‍රමාණය.. ඒ වගේම පියාඹනකොට පේන අත් තටු වල වර්ණයයි , වතුරේ ඉන්නකොට වර්ණයයි අතරත් පොඩි වෙනසක් තියනව. කට්ටිය අහල තියනවනේ "කණ කොකාගේ සුද පේන්නේ ඉගිල්ලෙනකොටයි " කියල. මට මුන් ටික පියාඹනකොටත් මතක් උනේ අන්න ඒ කියමන. 

කට්ටියම උදේ පාන්දර රැස්වීමක් වගේ. 

 මේ ඈතට පේන්නෙත් ලක්ෂ ගනන්ක් පක්ශීන්ම තමයි. ඇත්තෙන්ම මේ වගේ දර්ශනයක් සියැසින් දකින්න වාසනාව තිබුන නේද කියලත් හිතෙනව. 

 පහල තියන පින්තූර ටිකත් කුරුලු පාරදීසයේදී ගත්ත මගේ සිත ගත්ත ඡායාරූප ටිකක්... වචන ඕනේ නෑනේ එවයේ සුන්දරත්වය විස්තර කරන්න....  



මෙන්න බලන්නකො මෙයාලගේ කෙරුවාව. එකම වරිගේ වෙලත් ගහ මරා ගන්නවනේ... මෙයාලගේ ගෝරියට හේතුව නම් අපි දන්නේ නෑ..

 
ඒත් ඉතින් මේ ඡායාරූපයේ පේනව වගේ මේ ගෝරිය බලන් හිටපු අය අතරේ පහලින් ඉන්න පුන්චි කුරුල්ලත්, ඈතින් ඉන්න ගෝනටත් අමතරව, අපිත් හිටියා.. 
මේ කාලේ අපේ කට්ටියත් එකම වරිගේ අය ගේ ගෝරි මතක් උනේ මේ පොටෝ එක දකිද්දි. පුන්චි කුරුල්ල ළඟටම වෙලා ගැටුව දිහා බලන් ඉන්නේ දෙන්නව සමත කරන්න තමුන්ට කරන්න දෙයක් නැති හන්ද. ලොකු ලොකු කට්ටිය රණ්ඩුවට පැටලෙනකොට පුන්චි මිනිස්සුන්ට කියල මොනව නම් කොරන්නද? අර ඈත ඉඳන් හොරෙන් බලා ඉන්න එක්කෙනා බලන් ඉන්නේ හරියට "මුන් ඔක්කොම ගෝරි දාගත්තහම අපිට නිදහසේ ඉන්න පුලුවන්" කියල හිතල වගේ. අපේ සමහරුත් එහෙමනේ ඉතින්. අහක හිටපු අපිත් කිසිම සද්දයක් නොකර රණ්ඩුව බලන් හිටියේ අපේ රටේ මාධ්‍යවේදීන් වගේ තමා. කට්ටිය ඇවිලෙන හැටි ලස්සනට පොටෝ ගහල ප්‍රසිද්ධ කළහම මාධ්‍ය කරුවාටනේ ඒකෙත් වාසිය... 

බලපුවහම එක අතකින් කැලේ සමාජයයි - අපේ සමාජයයි දෙකම එක වගේද කියලත් හිතෙනව....

නකුරු චාරිකාවේ තව රසබර විස්තර ගොඩක් තියනව... සිංහයෝ දැකපු හැටි, ළඟට ගිය හැටි.... ඒ විස්තරත් අරගෙන එන්නම් තවත් සටහනකින්... [මේ ඡායාරූප ගත්ත අපේ ගමන් සගයින් වුනු සයන්තන් සහ සමීරටත් විශේෂ ස්තූතියක්  ස්තූතියක් හිමි වෙන්න ඕනේ... ]

Sunday, September 25, 2011

කන්නන්ගර මැතිදුන්ගේ නම විකුණා අධ්‍යාපන අයිතීන් වැනසීම.


මීට අවුරුදු දෙකකටත් වඩා ඉස්සර "එකම කතාවක් , අවසානය දෙකක් " ලිපිය ලියුවට පස්සේ එදිනෙදා ජීවිතයේදී කතා බහ කරන මාතෘකාවක් ගැන ලිපියක් ලියා නැහැ. එක දිගටම චාරිකාසටහන් ලියන්නත් අමාරුයි නේ.. ඒක හන්ද අද පොඩ්ඩක් ලියන්න යන්නේ මේ දවස් වල අපි කතා කරන දෙයක් ගැන. 

ඊට මූලික හේතුව වුනේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිඳුන් පසුගිය දිනක සමරන්නට යෙදුනු නිසා. සැබැවින්ම මෙතුවක් කල් අපිට අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා ලැබුනු සහනය නම් කිසිදා මිල කල නොහැකියි. අද අපි යම් රැකියාවක් කරමින් ජීවත් වනවාද, එහි ගෞරවයෙන් සැලකිය යුතු කොටසක් මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය සතු විය යුතුයි කියලයි මගේ මතය.  නදුන්ගේ මේ අදහස එක්කල ගොඩක් දෙනෙක් එකඟ වෙයි කියලත් විශ්වාසයි.  

නමුත් අද දවසේ මොකක්ද මේ නිදහස් අධ්‍යාපන කප්පාදුව කියල කතිකා වෙන්නේ.. මේ ගැන පොඩ්ඩක් හොයල බලමු.  දැන් මේ නිදහස්  අධ්‍යාපන කප්පාදුවක් ගැන බොහෝ විට කතිකා වෙන්නේ උසස් අධ්‍යපන ක්ශේත්‍රයේ  තමයි. 
[තවමත් පාසැල් වැසී යාමේ තත්වය ලංකාවේ තිබුනත් ඒ තියෙන්නේ රටේ ලමයි අඩුවීම සහ නගරයට ඇදී යාම කියන කරුනු නිසා මිසක්, රජයෙන් මුදල් වෙන් නොවීමක් නිසා නම් නොවෙයි. ]

ඉතින් මෙන්න මා සොයාගත්ත දත්ත:
  2008 වසරේ ලංකාවේ සරසවි වලට ඇතුලත් කරගත් සිසුන් ගනන: 20621
  2010 වසරේ ලංකාවේ සරසවි වලට ඇතුලත් කරගත් සිසුන් ගනන: 21730
(වෙනස සිසුන් 1000 (5%)  ක් පමන වූ ඉතා සුලු වැඩිවීමකි )
  2008 වසරේ ලංකාවේ සරසවි වලට වියදම් කල මුලු මුදල: 13,116, 028,000.00
  2010 වසරේ ලංකාවේ සරසවි වලට වියදම් කල මුලු මුදල: 13,756, 816,000.00
(වෙනස : මිලියන 650 කට වඩා වැඩිය. නමුත් ලංකාවේ ජනගහන වර්ධනයත් සමග මෙම ප්රමතිශතය මවිසින් සැසඳුවේ නැත. )

ඉතින් දැන් කල්පනා කරල බලන්නකෝ මේ නිදහස් අධ්‍යපන කප්පදුව කියන කතාවේ ඇත්ත නැත්ත... ඔන්න මම නම් කියල දෙන්න යන්නේ නෑ... නමුත් මේ ගනන් බලන ඕනෙම අයෙක්ට තේරෙනව මූල්යමය වශයෙන් කිසිම අඩුවක් වෙලා නැතත්,සිසුන් ඇතුලත් කරගැනීම නම් වැඩි වෙලා තියෙන්නේ ඉතාමත්ම සුලු ගනනකින් කියල. ඉතින් එහෙම නම් අපි රටේ සැලසුම් හදන අයට බල කරන්න ඕනේ "කප්පාදුව නවතනු" කියල නෙවෙයි, "තවත් වැඩිපුර අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනු." කියලයි. අපි වගේ ආර්ථිකයක් තියන රටකට අධ්‍යාපනය වෙනුවෙන් කල හැකි ආයෝජනය ගැනත් ඉතින් හිතන්න වෙනව.. නමුත් ඉතින් සහනාධාර දෙනව වගේ නෙවෙයි නේ අධ්‍යපනය වෙනුවෙන් වැය කරන එක. ඒක ආයෝජනයක්නේ.. අපේ රටේ සැලසුම් හදන්නෝ ඕව ඉතින් හිතන්න ඕනේ....

නිදහස් අධ්‍යාපනය ගැන කතාවෙන ගමන්ම මේ දවස්වල ඇසෙන දෙයක් තමයි "මාලබේ වෛද්‍ය විද්‍යාලය". මීට පෙර ඒ වෙනුවෙන් එරෙහි වෙච්ච සිසුන් සහ දේශපාලුවන් ට අමතරව දැන් රටේ ඉන්න වෛද්‍ය වරුත් විරුද්ධයි කියල ප්‍රකාශ කරනව.. 

මේ විරුද්ධ වීම් වලට එක් එක් පිරිස් දක්වන්නේ විවිද හේතු. සමහරු කියන්නේ සල්ලි වලට දොස්තර වෙන්න පුලුවන් වෙයි කියලාය. සමහරු කියන්නේ උසස් පෙල සාමාන්‍ය සාමාර්ත 3 කින් දොස්තර වෙන්න පුලුවන් වෙයි කියලාය. අදාල ආයතනයේ ඉගැන්වීම නියමාකාරයෙන් සිදු නොවේ කියා කණ්ඩායමක් පවසති(රෝහල් වලට ඇතුලුවීමටවත් මේ සිසුන්ට අවසර නොලැබෙන තත්වයක් තුල තත්වයෙන් උසස් දොස්තරලා බිහි වේ යැයි සිතිය නොහැක ). තවත් සමහරු පවසන්නේ මේ ඇරඹෙන්නේ නිදහස් අධ්‍යාපනය වැනසීමේ වැඩපිලිවෙල කියාය. එස්. බී. මීට මූලිකත්වය ගෙන කටයුතු කරන නිසා "එස්. බී කරන නිසා" විරුද්ධ කණ්ඩායමකුත් සිටිති. මේ හේතු එකින් එක ගෙන විස්තර කිරීමට මගේ බලාපොරොත්තුවක් නැත. 

නමුත් මෙහිදී මාවිසින් විශ්වාස කරන පරිදි නම් "පුද්ගලික සරසවි ලංකාවේ බිහිකල යුතුය, එමෙන්ම රජයේ විශ්ව විද්‍යාල මගින්ද මුදල් අයකරගෙන කරනු ලබන බාහිර උපාධි වැඩසටහන් වඩා විධිමත් කල යුතුය." එසේ කියන්නට හේතු ගනනාවක් මාහට සිතේ. 

අන්තරේ පෝස්ටර් වල ලියා ඇති පරිදි, "උපාධි කඩ" බවට මේවා පත් වේවිද?මුදල් තිබූ පමණින් කඩෙන් ගොස් පරිප්පු කිලෝ එකක් ගන්නා ලෙසට උපාධි ගන්නට බැරි බව නම් පැහැදිලිය.කොපමණ මුදල් ගෙවූවත්, විභාග සමත් විය යුතුය.(රජයේ සරසවි "උපාධි දන්සැල්" නොවන්නේද එහි ආ පමනින් උපාදියක් ගන්නට නොහැකි නිසාය,සරසවියක කටු කෑ ඕනෑම අයෙක් මේ බව දන්නවා ඇත.) උසස් පෙලට එස් 3ක් ගත්තද ඔහුට අදාල විෂය කරුනු අවබෝධකරගෙන සරසවියේ විභාග (ප්‍රායෝගික පරීක්ෂණද ඇතුලුව )  සමත් වීමට හැකිනම් ඔහු වෛද්‍යවරයෙකු වීමේ වැරැද්ද කුමක්ද?
නමුත් අදාල ආයතනයේ නිසි පරිදි අධ්‍යාපන කටයුතු සිදු වනවාද කියා සොයා බැලිය යුතුය. එය රාජ්‍ය මැදිහත්වීමෙන් අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. දැනට රජයේ සරසවි වල පමනක් ක්‍රියාත්මක තත්ව පාලන වැඩසටහන අදාල සරසවි තුලටත් ව්‍යාප්ත කරවා එහි ගුණ දොස් සොයා බැලිය යුතුය.අපේ මේ උද්ඝෝෂකයින් අවධානය යොමු කල යුත්තේ ඒ වෙතය. නමුත් එවැන්නක් වෙනුවෙන් බල කර සිටීම පෞද්ගලික සරසවි වල ඉගෙනගන්නා සිසුන්ට කරන උදව්වක් බැවින් එවැනි පරහිත කාමී සටනක් අද අපිට දැක ගත් නොහැක.  

පෞද්ගලික සරසවි පිහිටුවීමේ සහ නිදහස් අධ්‍යාපනය විනාස වීමේ සෘජු සම්බන්ධයක් නොපෙනුනත් වක්‍රාකාර සම්බන්ධයක් නම් පෙන්නුම් කරයි.එනිසා අපි අරගල කල යුත්තේ පෞද්ගලික සරසවි පිහිටුවීම ට නොව කිසියම් වූ ක්‍රමයකින් නිදහස් අධ්‍යාපනයට එනු ලබන බාධක විනාශ කිරීමටය.

 මෙලෙස කියන මට නම් කිසි දිනක එවැනි සරසවියක ඉගෙනගැනීමට වරම් නොලැබුණි. එක් හේතුවක් වූයේ රජයේ සරසවියකට තේරීමට තරම් වාසනාවන්ත වීමයි. අනිත් හේතුව රජයේ සේවකයෙකු වූ මාගේ පියාට නම් කිසි දිනක මෙවැන් සරසවියකට අපව යවන්නට නොහැකි වන බව දැන සිටීමයි. 

නමුත්.... රජයේ සරසවියට තේරීමට තරම් වාසනාව අඩුවන අපේම සොයුරු/ සොයුරියන්ට ඒ නිසාවෙන්ම උසස් අධ්‍යාපන සිහිනය සුනු විසුනු කර දැමිය යුතුද? ඔවුන්ට මුදල් තිබුනත් , නැතත් ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා නැති කිරීම අප කිසිදා නොකල යුතුය. සතියේ දවස් 5 තිස්සේ රැකියාව කර, ඒ වැටුපෙන්  සති අන්තයේ පෞද්ගලික උපාධි හදාරන මිතුරන් ඕනෑ තරම් අපිට හමු වී තිබේ. ඔවුන් මහා ධන කුවේරයින්ගේ දරුවෝ නොවේ. ඔවුන්ටද ඇත්තේ මහන්සි වී ඉගෙනගෙන හොඳ රැකියාවක් කිරීමේ ආශාවයි. දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් වැය කිරීමට මුදල් තිබේ නම්, ඔවුන්ට ඉගෙන ගන්නට පරිසරයක් ඇති කිරීම රජයේ යුතුකමක් යැයි මට සිතේ.ඔවුන්ද උගතුන් වූ විට ඒ බුද්ධිය යෙදවෙන්නේද මේ රටේ දියුනුවට බව අමතක නොකල යුතුයි.ඔවුන් නිසි පරිදි අධ්‍යාපනයක් නොලදහොත් ඔවුන් මේ රටට බරක් වන බවද අපි මතකයේ තබාගත යුතුයි.විදෙස් රටක ඉගෙනගන්නට නම් වැයකලයුතු මුදල අති මහත්ය. එපමණ මුදලක් සෑම කෙනෙක්ටම වැයකිරීම කල නොහැක්කකි. නමුත් එසේ බොහෝ දෙනෙක් පිට රට යන්නේ අප රට තුල ඉගෙනුම් අවස්ථා නොමැති නිසාය. එලෙසින් කිසියම්ම හෝ මුදලක් අපේ රටට ඉතුරු වේ යැයි සිතිය හැක.කිව යුතු තවත් කරුනක් නම් එලෙස පිටරටින් ඉගෙන ගෙන පැමිණෙන සිසුන්ට ඇති අවස්තාවක් වත් අපේ රටේ ඉගෙනගන්නා වෛද්‍ය සිසුන්ට ලබානොදීමට/නොලැබීමට හේතුව අපිට නම් අපැහැදිලිය.    

මේ ලිපිය තවත් දිගු වන බැවින්, තවත් හේතු දැක්වීම මදකට පමා කරමි. අවසන් වශයෙන් පවසන්නට ඇත්තේ, රටේ අනාගතය වෙනුවෙන් පෞද්ගලික සරසවි ඇතිකිරීම අත්‍යාවශ්‍යම කරුනක් බවත්, නිදහස් අධ්‍යාපනය වැනසීමක් මීට සෘජුව සම්බන්ධ වන්නේ කෙසේද යන්න මා තවමත් සොයමින් සිටින බවත්ය.                    

Friday, September 16, 2011

මහ බෝඩිමේ ආරම්භකයාගේ නික්ම යාමෙන් දෙවසරකට පසු....



අදනම් අප්‍රිකානු ජීවිතේ ගැන ලියන එක පැත්තකින් තියල කට්ටියටම ලියන්න යන්නේ දුක් බර කතාවක්... 

මම සරසවියෙ හිටපු කාලේ බෝඩිමක හිටපු වග මම ඉස්සර සටහන් වල ලියල තිබුනනේ... ඔන්න මම පලවෙනි වසරේ මුල් කාලයේ ගෙදර ඉඳන්ම බොරැල්ලේ තිබ්බ අපේ ෆැකල්ටියට ආවට මට එක සෙමිස්ටර් එකකින්ම ඒ ජීවිතේ එපා උනා... ඔන්න ඉතින් මමත් බෝඩිමක් හෙව්වේ මේ අතරේ තමයි. අපේ මුලු කොල්ලො කට්ටියම ඒ වෙද්දි හිටියේ බෝඩිම් දෙකක... ඒකෙන් එකක් "මහ බෝඩිම" කියල තමයි කට්ටියම නම් තියල තිබුනේ. ඔන්න ඉතින් මමත් සෙට් උනා මහ බෝඩිමට.... මහ බෝඩිමේ කට්ටිය 9 දෙනයි. ඉස් ඉස්සෙල්ලාම මේ බෝඩිම හොයා ගත්තේ අපේ නයන. ඒ කියන්නේ මම මේ කියන්න යන කතාවේ කතා නායකයා. නයන ඉතින් හා හා පුරා කියල හොයා ගත්ත බෝඩිමට තමයි අපි කට්ටියම සෙට් උනේ. එකම බැජ් එකේ කොල්ලෝ 9ක් ඉන්න බෝඩිමක වෙන දේවල් ගැන ඉතින් කාටවත් අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ.. සමහර දාට බැජ් එකේ අනික් උනුත් එන්නේ මහ බෝඩිමට. අපි කුප්පි දැම්මේත් බෝඩිමේ.. (මොකෝ අපේ ෆැකල්ටියේ ඒ වගේ දේකටවත් ඉඩක් තිබ්බේ නෑ...) කට්ටිය ප්‍රොජෙක්ට් කරන්න ආවෙත් බෝඩිමට... ඔන්න ඔය විදිහට අපි හැමෝම එකම පවුලක් කලේ අපේ නයන මුලින්ම හොයා ගත්ත බෝඩිම තමයි... ඔන්න බොරැල්ලෙන් මොරටුවට ආවට පස්සේත් කට්ටියම එකම බෝඩිමේ.. ඒ කියන්නේ මහ බෝඩිමේ සෙට් එක එකටමයි හිටියේ...

ඔය සෙට් එක අතරින් නයන කියන්නේ අමුතුම චරිතයක්.... කැම්පස් එන්නත් කලින් නෙට්වර්ක් එකක් සෙට් කරන හැටි දැනන් හිටපු එකම එකා... නයන සමහර විෂය කරුනු ගැන වැඩිය තකන්නේ නෑ.. විභාග රිපීට් උනත් ගානක් නෑ.. ඒත් නයන හැම දේම කිසියම්ම වූ ආකාරයකින් ඉගෙනගත්තා. අපි හැමෝටම කුප්පි දාල එක රැයින් විභාග ගොඩ දාල දුන්න කොල්ලෙක්. ඔහුගේ හැකියාවන් පුදුමාකාරයි... උපාධිය අරන් නයන රැකියාවට ගොස් ඔහුගේ දස්කම් මනාව පෙන්නුම් කලා... ඔහු ඉතා කෙටි කාලයකින් රැකියා ස්ථානයේ තරුවක් උනා.. ඔහුගේ දැනුම, බුද්ධිය අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්න පටන් ගත්තා විතරයි.... 
  
මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ල, සැප්තැම්බර් මාසේ 14 වෙනිදා උදේ පාන්දර අපේ මහ බෝඩිමේ සගයෙක් මහ කාලකණ්නි ආරංචියක් අපිට කියුව.. "අපේ නයන ඇක්සිඩන්ට් වෙලාලු.. තත්වේ බරපතලයි ලු..." ඊට පස්සේ අපි හැමෝම එකතු උනේ රෝහලේ දැඩි සත්කාර ඒකකය ලගට... අපිට නයනගේ මූනවත් දකින්න ලැබුනේ නෑ... ඒ වෙද්දිත් ශල්‍ය කර්ම කීපයකටම ලක් කරල හිටපු අපේ මිත්‍රයා... යන්ත්‍රයක ආධාරයෙන් තමයි ජීවත් උනේ... 

අපේ නයන වෙනුවෙන් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ... මොහොතකින් හැමෝම තීරණය කලා බෝධි පූජාවක් තියමු කියල... කට්ටියම ගංගාරාමයට එක්වුනේ නයනට ඉක්මන් සුවය පතන්න.... අපි දවස් කීපයක් ම මේ විදිහට බෝධි පූජ තිබ්බේ නයනට ඉක්මන් සුවය පතල....

ඒත් අපේ පින් වලින් නයනට යලිත් ජීවය දෙන්න ලැබුනේ නෑ.... හරියටම දවස් 7කින් නයන අපෙන් සදහටම සමු ගත්තා...  

අනුරාධපුරයේ ඉඳල කොළඹ ඇවිත් අපි එක්ක මහ බෝබිමේ එකට හිටපු - එක බැජ් එකේ එකට කුප්පි දාපු - එක බත් පත බෙදාගෙන කාපු - සමහර වෙලාවට එකට බැනගත්තු අපේ නයන නොයෙන්නම අපිව අතහැරල ගිහින් තිබ්බේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා...ඒ කියන්නේ මේ සැප්තැම්බරයට - නයන නැතුව අවුරුදු 2ක්.

නයන ගෙනාපු ආයුෂ ඉවරවෙලා නයන අපිව අතහැරල ගියත් අපිට ලොකු පාඩම් ගනනාවක් කියල දීලයි නයන යන්න ගියේ... ඔහුගේ වැඩ කිරීමේ ක්‍රමය අපි හැමෝටම ආදර්ශයක් උනා... විභාග ඉලක්ක නොකර වැඩ කරපු ඔහු දැනුම ඉලක්ක කරගෙන වැඩ කලා. එනිසාවෙන්ම ඔහු රැකියාවෙන් කෙටි කාලයකදි ලබපු පැසසුම් බොහොමයි... !!! සෑම සති අන්තයකම ආදරණීය දෙමාපියන් බලන්නට ඔහු අනුරාධපුරයට ගියා... ඔහු දෙමාපියන් සමග ජීවත් වන්න ආස  කලා... ඔහු සොයාගත්ත බෝඩිමට අපි හැමෝටම ආරාධනා කරල, අපි අතරේ අති විශාල බැම්මක් ඇති කරන්නට අඩි තාලම දැම්මෙත් ආදරණීය නයන.... ඒත්.... නයනට වැරදුනු පුංචි දෙයක් තිබුන... නයන ජීවිතයට, පරිඝනකයට වගේම මධුවිතටත් ආදරය කලා... අපි කවුරුත් බලා පොරොත්තු නොවුනු විදිහට, පිපී ආ සුවඳ පුෂ්පය ලෝකයට සුවඳ විහිදන්නට මත්තෙන් මුකුලිත වෙන්න ඔහුගේ මේ පුංචි වැරදීම හේතුවක් උනා.... 

නයන ගැන තව ගොඩක් දේවල් ලියන්න පුලුවන් උනත් කෙටියෙන් නයන ගැන මතකය අවදි කලේ බ්ලොග් කියවන අපි හැමෝටම නයනගේ ජීවිතෙන් ගන්න පුලුවන් පාඩම් ගැනත් කියන්න එක්කම,.... අපේ ආදරණීය මිතුරා.... මහ බෝඩිමේ ආරම්භකයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් එක්කයි..... ඒත් මගේ නම් පැතුම.... නිවන් දකින්නට පෙර එක ආත්මයකදී හරි අපිත් එක්කම ඉපදිලා අපේම මිතුරෙක් වෙන්න කියලයි...... !!! 

නුඹේ අඩුව හැමදාමත් අපිට දැනෙනව.... මචන්....!!!
   
  

Sunday, September 11, 2011

අප්‍රිකානු ගෝතික කෑමක රස බැලූයෙමි...


අධික ලෙස කාර්ය බහුල සතියක් උනත් මේ සතියෙත් නදුන් උයනේ ලිපියක් ලියල යන්න හිතුනේ, පාලුවට ගිය නඳුන් උයන දැන් දැන් කුරුල්ලො- කිරිල්ලියො ටිකක් යන එන තැනක් බවට පත් වෙලා තියන බව තේරුන හන්දමයි.  පසුගිය බ්ලොග් සටහනට ගොඩක් දෙනෙක් සටහනක් දාල ගිහිනුත් තිබුන... හැම දෙනාටම ස්තූති වන්ත වෙන්න ඕනේ.. ඒ වගේම චාරිකා සටහන් ගැන ගොඩක් උනන්දුවෙන් සටහන් තබපු සියලුම දෙනාට විශේෂ ස්තූතියක් හිමියි. 

ඔන්න ඉතින් අදත් ලියන්න යන්නේ මගේ අප්‍රිකානු ජීවිතේ ගැනම තමයි.
මේ ළඟදි දවසක වෙච්ච සිද්දියක්. මගෙත් එක්ක ඉන්න මිත්‍රයෙක්ට ටැන්සානියාවේ සංචාරයකට වාසනාව උදා උනා. අපි හැමෝගෙම තියනවනේ අර රට ගිහින් එද්දි මොනව හරි රස කැවිල්ලක් ගේන සිරිතක්.
ඔන්න අපේ යාලුවත් අපිට ගෙනාව අමුතුම ආකාරයේ කෑමක්... 
මේ කෑම හරියට අර පුන්චි ඉස්සො බැදල අරන් වගේ... (අර බයිට් එකට ගන්න හදන්නේ.. ) ඒත් ඉතින් ඉස්සන්ගේ තියන රසත් නෙමෙයි එන්නේ. ඉස්ස වගේ මස් පිරිච්ච ගතියකුත් නෑ... මෙන්න අපිත් දැන් මේ අලුත් කෑම කන්න පටන් ගත්ත. අපිත් හැඩ බල බල කනව. මේ පුන්චි සතා ඉස්සගේ වගේ කියල තීරනය කරන්න තිබුනේ සාක්ෂි 2යි. එකක් මුගේ පෙනුම සහ ප්‍රමානය. අනික තමයි, අර ඉස්සගේ ඔලුව වගේ මේකගේ ඔලුවෙත් පුංචියට කලු තිතක් වගේ තියනව ඇස් දෙක. ඒත් ඉතින් ඉස්සගේ ඔලුව කන්නේ නැති හන්ද මේ සතාගෙත් ඔලුව අයින් කරල එහෙම ඔන්න අපි කාල බැලුව... රස ගැන කියනවනම් එහෙම, අර පෙරේත වෙලා කන්න තරම් සුවිශේෂී රසක් මට දැනුනේ නැතත් අලුත්ම කෑමක් කියන නිසාවෙන් අපි මේ පුන්චි ඉස්සෝ 3- 4ක් ම අහාරයට ගත්ත.... කාල ඉවර වෙනකන්ම අපිත් අහනව මොකක්ද මේ බයිට් එක කියල... අපේ යාලුවගෙනුත් නෑ කිසිම පිලිතුරක්..මේ කෑම ටැංසානියාවේ ප්‍රසිද්ද කෑමක් කියල තමයි යාලුව කියන්නේ... 

ඔන්න අපි කාල ඉවර උනහම අපේ යාලුව කියපි.... "ඒ තමයි මචන් තණකොල පෙත්තෝ" කියල. හිකිස්... මෙච්චර වෙලා අපි කාල තියෙන්නේ "ග්‍රිල් කරපු තණකොල පෙත්තෝ"


තණකොල පෙත්තෝ ග්‍රිල් කරල කන එක අප්‍රිකාවේ ගොඩක් රටවල් වලට ආවේනික ආහාරයක් ලු.. අපි ඉන්න කෙන්යාවේ බහුලව නැති උනත් ටැංසානියාවේ සහ උගන්ඩාවේ බහුලවම තිබෙනවාලු. අර ලංකාවේ පාර අය්නේ කඩල විකුනනව වගේ මෙහේ විකුණන්නේ විවිද ආකාරයෙන් සකස් කරපු "තණ කොල පෙත්තොලු... " වැඩිපුරම මෙයාලව ආහාරයට ගන්නේ මත් පැන් එක්ක බයිට් එකටලු.. අපේ රටේ වගේම මේ බිස්නස් එකත් වැඩිපුරම කාන්තාවන් සහ පොඩි ලමයි තමයි ලු කරන්නේ කියල මම සොයාගත්තේ අන්තර් ජාලයෙන්.
ග්‍රිල් කිරීමට අමතරව තවත් ආකාර වලට මේ තණකොල පෙත්තෝ ආහාරයට සකස් කරන බව තමයි මම දැන ගත්තේ...   
ඔන්න ඉතින් අද වැඩිපුර විස්තර ලියන්න යන්නේ නෑ... මේ බලන්නකෝ පින්තූර ටික... (අන්තර්ජාලයෙන් තමයි අදත්... )